ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ආසන්නම හේතුව
කුප්‍රකට මිග් 27 ගනුදෙනුව හෙළිදරව් කිරීම බව රටට නොරහසකි. දැන් ඒ අපරාධයට වසර දහසයකි.
වර්ෂ 2015 දී මෛත්‍රීපාල, රනිල් ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව බලයට පත්වූයේ මේ අපරාධයට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව සපථ කරමිනි. එහෙත් ඒ මල ඉලව් ආණ්ඩුව කරපු කෙංගෙඩියක් නැත.
නැවත වරක් අපරාධ කාරයෝ බලයට පත්වූහ. උන්ගේ නිල කාලය හමාර කරන්නට පෙර රටේ ජනතාව පෙරට විත් උන් අණසක පතුරුවා ගෙන සිටි මාළිගාවලින් පවා එළවා දැමූහ. දිවි බේරා ගැනීමට උනුනුන් පළා ගියේ පිළිකණුවලිනි. මහජන විරෝධය හමුවේ පළාගිය චෞරයන්ගේ හිඩැස පිරවීමට ආ අනුප්‍රාප්තිකයා වසර දෙකහමාරක් තුළ ඉටු කළේ ඉහත අපරාධ කාරයන්ගේ ඕනෑ එපෑකම් ඉටු කිරීම මිස අන් යමක් නොවේ.
අලුත් ආණ්ඩුවේ සිටින රනිල් පත්කළ 'නීතිපති' උන්නැහේගේ කෙරුවාව......!
ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර දහසයකි. රනිල් වික්‍රමසිංහ වත්මන් නීතිපති පාරින්ද රණසිංහ එම තනතුරට පත් කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු මගහැර ගොසිනි. ඒ තෙවැන්නා ගෙන් කරගත හැකි වැඩ කිඩ මගහැර ගිය දෙදෙනා ගෙන් කරගත නොහැකි නිසා ය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සත්‍ය වසන් කිරීමට දායක වූ දෙදෙනකුත් , ඒ සත්‍යය තහවුරු කිරීමට ඉවහල්වන ප්‍රබල සාක්ෂි කරුවෙකුත් වශයෙන් චූදිතයන් තිදෙනෙකු නඩුවෙන් නිදහස් කිරීමට ක්‍රියා කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. (අදාළ ලිපිය පිංතූර ගොනුවේ ඇත) නීතිපතිවරයා නිර්දේශ කර ඇති ලසන්ත ඝාතන නඩුවේ චූදිතයන් තිදෙනා කව්ද ? නඩුවට ඇති ඔවුන්ගේ සහ සම්බන්ධය කුමක් ද ? යන්න සනත් බාලසූරිය ලිපියේ පහත ලින්කුවෙන් කියවා ගන්න.
https://www.facebook.com/share/p/1BS9rozgw8/
නීතිපති මේ තීන්දුව ගත්තේ කවර පදනමකින් ද?
වසර දහසයක් තිස්සේ නිසි ලෙස විමර්ශනය නොවුණු සහ ප්‍රබල සාක්ෂි වසන් කිරීමට භාජනය වූ පුද්ගල ඝාතන නඩුවක චූදිතයන් තිදෙනෙකු එම නඩුවෙන් ගලවා දැමීමට නීතිපති ක්‍රියාකර ඇත්තේ කවර පදනමකින් ද ? රටේ මහජන බදු මුදලින් පවත්වා ගෙන යන නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපති තනතුර තමන්ට හිතූ මනාපයේ තීන්දු තීරණ ගත හැකි ද? ඔවුන් වගවිය යුත්තේ රටේ මහජනතාවට නොවේ ද?
රාජපක්ෂ වනචර දශකය.......!
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තට්ටුමාරු පාලනයන් තුළ "වනචර දශකය" ලෙස නම්කර ඇත්තේ 2005 - 2015 පාලන කාලය යි. මේ කියන රාජපක්ෂ "වනචර" දශකය තුළ සිදුවූ සහාසික අපරාධවලට තවත් දශකයක් ගෙවී ගියද , මෙතෙක් යුක්තිය ඉටුවී නැත. රටේ ජනතාව 2024 නොවැම්බරයේ අනුර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ ඉහත "වනචර දශකයේ" වූ එම සහාසික අපරාධවලට යුක්තිය ඉටුකරවා ගැනීම අංක එකේ තබා ගෙන ය.
දැන් ඒ ආණ්ඩුවේ සිටින රනිල් රාජපක්ෂ පත්කළ නීතිපති පාරින්ද රණසිංහගේ කෙරුවාව කුමක්ද ? ලසන්ත ඝාතනයේ ප්‍රධාන චූදිතයන් තිදෙනෙකු නිදහස් කිරීමට තීරණය කළේ කෙසේ ද ? යන්න ඔහු රටට කිව යුතු ය. ඔහු නිහඩ නම් ආණ්ඩුව ඔහුගෙන් කරුණු විමසා රටට කිව යුතු ය. ශ්‍රී ලංකාව පාරින්ද රණසිංහලාට ගිය කාරයන්ට දෝතින්ම දණ්ඩ මුක්තිය පිදෙන "අපරාධ වර්ධක" රාජ්‍යයක් ද ?
@ පෝද්දල ජයන්ත