බෞද්ධ දර්ශනය ගැඹුරින් අධ්‍යයනය කිරීමේ සුවිශේෂී හැකියාවක් දරන භික්ෂූන් වහන්සේලා ලෙස
"ටිබෙට් භික්ෂුන් වහන්සේලා" හඳුනා ගත හැකිය. සාමාන්‍යයෙන් ටිබෙට් භික්ෂු ආශ්රමයක භික්ෂූන් වහන්සේලා 300 - 400 අතර ප්‍රමාණයක් වැඩ වාසය කරන අතර ඉන්දියාවේ විශාල ටිබෙට් ආශ්රමයන්හි භික්ෂුන් වහන්සේලා 1000- 2000 අතර ප්‍රමාණයක් වැඩ වාසය කරති.
ටිබෙට් භික්ෂූන් වහන්සේලා ඉන්දියාවට සංක්‍රමණය වූයේ 1959 දී ය. එම වසරේ ටිබෙට් හි චීනය විසින් සිදු කරන්නට යෙදුණු අමානුෂීය ආක්‍රමණය හේතුවෙන් ඉන් පිටත් වූ නූතන විශ්වීය කරුණාවේ මුද්‍රාව වශයෙන් හැඳින්වෙන 14වැනි ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේ සමඟ ටිබෙට් භික්ෂූන් වහන්සේලා දහස් ගණනක් ආරක්ෂාව පතා ඉන්දියාවට සංක්‍රමණය වූහ. අනතුරුව උන්වහන්සේලා උදෙසා ඉන්දියාවේ ආරාම ඉදිකරන ලදී. වර්තමානය වන විට එම ආරාමවල සිටින ටිබෙට භික්ෂූන් වහන්සේලා ලෝකයට සිදු කරන්නේ ඉමහත් සේවයක් ය.
ටිබෙට් භික්ෂුන් වහන්සේලාගේ දෛනික දින චර්යාව ඉතාමත් ආදර්ශමත් හා ප්‍රායෝගික බවකින් යුක්ත වේ. සෑම ටිබෙට් භික්ෂුවක්ම අළුයම 4.30 - 5.00 අතර වේලාවක දී අවදි වන අතර ඉන්පසු එම භික්ෂුන් වහන්සේලා බෝධිචිත්ත වැඩිය යුතු වේ.
බෝධිචිත්ත යනු, "සියල්ලන්ටම මෛත්‍රිය වැඩීමයි". මෙය උදා වූ දිනය ගුණාත්මක හා පරාර්ථකාමි ගුණයෙන් පරිපූර්ණ කරගනිමින් මනසේ සාමය මැනවින් සුරක්ෂිත කර ගැනීමට උපයෝගි කරගත හැකි සරල ක්රමවේදයකි.
ටිබෙට් භික්ෂුන් වහන්සේලා උදා වූ දිනයේ තමන් වහන්සේගේ දෛනික ධාර්මික දිවියේ ඉලක්ක සාධනයට අවශ්‍ය සැලසුමක් නිර්මාණය කරගනු ලබයි. එය සෑම භික්ෂුන් වහන්සේ නමක්ම කුඩා සාමණේර අවධියේ සිට ප්‍රගුණ කරන්නාවු සුවිශේෂි ගුණාංගයකි.
සියලුම භික්ෂුන් වහන්සේලා බුදුන් වහන්සේට පැන් පුජා කර අනතුරුව බුද්ධ වන්දනාව ආරම්භ කරනු ලබයි. උදෑසන 5.00 පළමුවන වන්දනාව ආරම්භ කරනු ලබන අතර ඒ සඳහා විශාල ශබ්දයක් ඇති " Gonk" ය නාද කරනු ලබයි. ආශ්රමයේ ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලා අළුයම 3.00 ට අවදි වී බුදුන් වහන්සේට පැන් පුජා කොට බුද්ධ වන්දනාව සිදුකරනු ලබයි. සෑම දිනකම මෙම බුද්ධ වන්දනාව උදෑසන 8.30 වනතුරු ක්‍රියාත්මක වේ. ඇතැම් අවස්ථාවල භික්ෂුන් වහන්සේලා ගාථා සජ්ඣායනා කරමින් දීර්ඝව වන්දනාමාන කටයුතු සිදුකරන අතර එවැනි දිනවල උදෑසන 11.00 පමණ වන තුරු වත් පිළිවෙත් ක්‍රියාත්මක වේ.
භික්ෂුන් වහන්සේලා උදෑසන 11.00 ට උදෑසන ආහාරය ලබා ගන්නා අතර , උදෑසන ආහාරය ගැනීමෙන් පසු ආශ්රමයේ සියළුම භික්ෂුන් වහන්සේලා කෙටි විවේකයක් පස්වරු 2.00 වන තෙක් ලබා ගනි. ටිබේට් භික්ෂුන් වහන්සේලා සෑම විටම නිදහස් මනසකින් හා වඩාත් නීරෝගි බවින් පොහොසත් වන්නට හේතු වන්නේ උන්වහසේලා මෙලෙස ප්‍රමාණාත්මක විවේකයක් ලබාගන්නා බැවිනි.
ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනය වඩාත් සුවිශේෂි වුවකි. සෑම භික්ෂුවක්ම හරවත් වු බොහෝ විෂයන් ඉගෙනගනු ලබයි.
ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා පාසල් ආරම්භ වන්නේ උදෑසන 9.00 ටය. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විසින් නූතන අධ්‍යාපනය, භාෂාවන්, දර්ශනය, බෞද්ධ දර්ශනය, තර්ක ශාස්ත්‍රය ආදි විෂයන් පිළිබඳව අධ්‍යන කටයුතු කරනු ලබයි.
විශේෂයෙන්ම පුජාවන් නොමැති සාමාන්‍ය දවස් වලදී ටිබෙට් භික්ෂුන් වහන්සේලා උදෑසන 6.00 ට උදේ ආහාරය ලබා ගනු ලබයි . සියලුම භික්ෂුන් වහන්සේලා ආහාර ගනු ලබන්නේ පොදු භෝජන ශාලාවක් තුළ වේ.
සමානාත්මතාවය රැක ගැනීමේ සංකේතයක් ලෙස එය හඳුනා ගත හැකි වේ. එසේම වන්දනාමාන කටයුතු අවසන් විමෙන් පසු නැවතත් උදෑසන 11.00 ට භික්ෂුන් වහන්සේලා ආහාර ගනු ලබයි.
ශ්‍රි ලංකාවේ බෞද්ධ සංස්කෘතිය තුළ භික්ෂුන් වහන්සේලාගේ ආහාරයට " දානය " යැයි පවසන අතර ටිබෙට් බෞද්ධ සංස්කෘතිය තුළ භාවිතා වන්නේ " සිංයම් " යන වචනය වේ. එසේම ට්බෙට් භික්ෂුන් වහන්සේලා ද පිණ්ඩපාතය සඳහා වඬින අතර නමුත් උන්වහන්සේලා ආශ්‍රම පරිසරය ඇතුළත පිණ්ඩපාතය සඳහා වඬින්නේ නැත. ආශ්රමයේ සිටින සියලුම භික්ෂුන් වහන්සේලා සාමාන්‍ය පරිදි ආහාර ගනු ලබයි.
දහවල් 1.30 ට නැවතත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපන කටයුතු ආරම්භ වන අතර පස්වරු 4.30 ට පාසල් කටයුතු අවසන් වේ. සවස ආහාරය භික්ෂුන් වහන්සේලා පස්වරු 4. 30 ට ලබා ගන්නා අතර ඇතැම් භික්ෂුන් වහන්සේලා ආහාර අනුභයෙන් තොරව තේ පමණක් පානය කරනු ලබයි.
ආශ්රමයට ගිහියන් පැමිණ සිටියහොත් ඔවුන්ගේ පුජා හා වන්දනාමාන කටයුතු සඳහා පස්වරු 5.00 සිට 6. 00 වන තුරු භික්ෂුන් වහන්සේලා සහභාගී වේ. ගිහියන් සහ ටිබෙට් භික්ෂුන් වහන්සේලා අතර ඉතා යහපත් සබැඳියාවක් පවති. එබැවින් ගිහියන්ට අවශ්‍ය උපදෙස්, අවවාද , මඟපෙන්වීම් මෙන්ම වන්දනාමාන හා පුදපුජා මැනවින් ඉටුකර දීම ටිබෙට් භික්ෂුන්ගෙන් නොමදව සිදු වේ.
ධර්මාවබෝදයේ පහසුව හා ධර්මය සුරක්ෂිත කරගැනිම සඳහාත් පරිපූර්ණ භික්ෂුවක් නිර්මාණය කරගැනිමේ පරමාර්ථය උදෙසා සෑම දිනකම සවස 6.00 ටිබෙට් භික්ෂුන් වහන්සේලා අතර ධර්ම වාද විවාදයන් ආරම්භ වේ. ටිබෙට් භික්ෂුන් වහන්සේලාගේ මෙම ධර්ම විවාදයන් ද්වී පුද්ගල හා කණ්ඩායම් වශයෙන් ක්‍රියාත්මක වේ. පළමු විවාද සැසියේ භික්ෂුන් වහන්සේලා දෙදෙනෙක් අතර ධර්මය සම්බන්ධ විවාදයක් ක්‍රියාත්මක වේ. එය පස්වරු 7. 00 දක්වා ක්‍රියාත්මක වේ. කණ්ඩායම් විවාදය 7.00 සිට 7.30 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ. දහම් කරුණු පිළිබඳ සකච්ඡා කරමින්, තර්ක කරමින් මනාව විශ්ලේෂණය කිරීමක් මෙහිදි සිදුවේ.
මෙලෙස ධර්ම විවාදයන් සිදු කිරීම තුළින් භික්ෂුන් වහන්සේලා තුළ,
- මතකය අලුත් වීම.
- ධර්ම කරුණු සම්බන්ධයෙන් පැවති අපැහැදිලි තත්ත්වයන් පැහැදිලිව අවබෝධ කරගැනීමට හැකි වීම.
- තර්කන හා විශ්ලේෂි හැකියාව වර්ධනය වීම.
- ධර්මයේ ගැඹුරු සිද්ධාන්තයන් න්‍යායාත්මකව හා වඩාත් ප්‍රායෝගිකව අධ්‍යනයට හැකි වීම.
- එක් එක් භික්ෂුන් වහන්සේලාගේ ධර්මයේ දාර්ශනික කියවීම අවබෝධකර ගත හැකිවීම හා ඒ තුළින් අත්දැකීම් ලැබීමට හැකි වීම.
- අන්යාගමිකයෙක් බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් යම් පැනයක් විමසුවහොත් ඒ සඳහා පැහැදිලි නිරවුල් අවබෝධාත්මක පිළිතුරක් ලබා දීමට හැකි වීම.
ආදී විශාල ධනාත්මක පරිවර්තනයක් භික්ෂුන් වහන්සේලා තුළ සිදු වේ.
සියළුම භික්ෂුන් වහන්සේලා රාත්‍රි 7.30 සිට 9.30 දක්වා එළිමහනට පැමිණ පෙර ඉගෙන ගත් සුත්‍ර දේශනා නැවත නැවත කියවමින් කටපාඩම් කරනු ලබයි. ඉන්පසු 9.30 ට පමණ උන්වහන්සේලාගේ කුටි වලට පැමිණෙයි.
සෑම ටිබෙට් ආශ්රමයකම ක්‍රියාත්මක වන්නේ මෙම ප්‍රායෝගික ක්රමවේදයයි. බුදුන්වහන්සේ පෙන්වා දුන් ඒ උතුම් වු බෞද්ධ දර්ශනය සුරක්ෂිත කරගැනිම හා එම බෞද්ධ දැකිම ජිවිතයට ඒකාබද්ධ කරගැනීම උදෙසා වඩාත් සරල, වටිනා ක්‍රමවේදයක් ටිබෙට් භික්ෂුන් වහන්සේලා සතුවේ.
ටිබෙට් භික්ෂුන් වහන්සේලාගේ සාමාන්‍ය දින චර්යාව පිළිබඳ අධ්‍යනය කිරීමෙන් පැහැදිලි වන්නේ, උන්වහන්සේලා ඉතාමත් කාර්යක්ෂම පෞරුෂයකින්, පරිපූර්ණ දැනුමෙන් මෙන්ම මනා දැකීමකින් යුතු ආකල්පයන්ගෙන් පොහොසත් බවයි.
එමෙන්ම ටිබෙට් භික්ෂුන් වහන්සේ නමක් සතුව ඉහළ හැසිරීම් සංවර්ධනයක්, මානසික සංවර්ධනයක්, බුද්ධිමය සංවර්ධනයක් සෑම විටම හඳුනා ගත හැකිවන්නේ මෙම දින චර්යාවේ ගුණාත්මක බව නිසාම ය.
කාලය මැනවින් කළමණාකරණය කරගමින් තම ධාර්මික ශාසනික දිවිය වඩාත් ඵලදායි අයුරින් ගෙවන ටිබෙට් භික්ෂුන් වහන්සේලා සමස්ත බෞද්ධ ලෝකයටම ආදර්ශයකි.