- වසර 23ක් නිසි ලෙස ක්‍රියාත්මක නොකළ පනතක්
- මහජන උපයෝගිතා කොමිෂන් සභාව අමාත්‍යවරයාට ඉහළින්
- වසර දෙකකදී ලං.වී.ම. රුපියල් බිලියන 277කට වඩා ලාභ ලබයි
- පාර්ලිමේන්තුව අසමත්;රට පෙළන අමුතු මිල සූත්‍රයට ඉඩ
බංකොලොත් රටට වහාම සහනයක් දීමට අවස්ථාවක් ඇත. ඒ නිත්‍යානුකුල බලය හිමි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවටයි.
ජාතික ජන බලවේගය (ජාජබ) රජය වහාම සිදුවිය යුතු විදුලිබිල සංශෝධනය ‘අතුරුදන්’ කිරීමට කළ යෝජනාව නොසලකා ඍජු තීරණයක් ගැනීමට අදාළ කොමිෂන් සභාවට ශක්තිය තිබිය යුතුය. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත්කළ පස්දෙනෙකු ගෙන් සමන්විත එම කොමිෂන් සහාවේ සාමාජිකයින් වන්නේ මහාචාර්ය කේ. පී. එල්. චන්ද්‍රලාල්, මහාචාර්ය ඩබ්ලිව්. බී. ඒ. රොඩ්රිගෝ, ආචාර්ය එම් . පී. එස්. ප්‍රනාන්දු, පී. හෙන්නායක සහ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි. මීට පෙර කොමිෂන් සභා විදුලිබල මණ්ඩලයේ පදයට නැටුවේ නැති බව ගෞරවයෙන් සඳහන් කළ යුතුය.
2024 මාර්තුවල තිබූ අය ක්‍රම අවස්ථාවේ දී විදුලිබල මණ්ඩලය විදුලි බිල අඩුකළ හැකි උපරිමය 3.4%ක් බව අවධාරණය කළා. නමුත් මහජන උපයෝගීතා කොමිසම 21.93%ක සහනයක් ජනතාවට ලබාදුන්නා. ජූලි 2024 අය ක්‍රමය සංශෝධනය කරන අවස්ථාවේ ලංකා විදුලිබල මණ්ඩලය 4.63%ක සහනයක් යෝජනා කළා. නමුත් මහජන උපයෝගීතා කොමිසම 22.49%ක සහනයක් ජනතාවට දුන්නා. ලංකා විදුලිබල මණ්ඩලය 2024 දී ඉදිරිපත් කළ ඉලක්කම් අනුව පාඩු සිදු වූයේ නැහැ. හිටපු විදුලිබල අමාත්‍යවරයකු වූ ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මෑතක දී අවධාරණය කළේ විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන බොරු කරමින් 2024 අවුරුද්දේ ජනවාරි 24 ඉඳන් දෙසැම්බර් 24 රු. බි. 140.59ක ලාභයක් වාර්තා කළ බවයි. ඒ කාලය ඇතුළත ක්ෂය වීම හරහා ලැබිච්ච මුදල බිලියන 37ක් බව ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඒ වසරේ ලාභය පමණක් රුපියල් බිලියන 177.6ක් බවයි. රණවක ප්‍රකාශ කළ පරිදි 2023ත් මේ ආකාරයටම බිලියන හැටතුනක ලාභයක් ලබා ඇත. ක්ෂය වීම හරහා ලැබුණ අගයත් සමග එම වසරේ ආසන්න වශයෙන් බිලියන 100ක් එකතු කරගනු ලැබූ බව ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුව අසාර්ථක බව අමුතුවෙන් කිවයුතු නැත. එම අවාසනාවන්ත තත්ත්වය අවධාරණය කරන්නේ මැති සබය නියෝජනය කරන දේශපාලන පක්ෂවල අසාර්ථකත්වයයි. නව නීති සම්පාදනය, සංශෝධන හඳුන්වා දීම සහ මූල්‍ය විනය පවත්වා ගැනීමට පාර්ලිමේන්තුව අසමත් වී ඇත. ඊට නොබියව දියහැකි අපූරු උදාහරණයක් ඇත. ඒ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත හරහා පිහිටුවූ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාත්මක කළ ආකාරයයි. නැතහොත් එම කොමිෂන් සභාව ක්‍රියාත්මක නොකළ ආකාරයයි.
එම කොමිෂන් සහාවේ මුඛ්‍ය වගකීම වූයේ මෙරට විදුලිබල, ජල සේවා සහ ඛනිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීමයි. එමගින් ජනතාවට සහන සැලසීමයි.
විදුලිබල කර්මාන්තයේ නියාමන බලතල එම කොමිෂන් සභාවට පැවරීමට වසර අටක් ගතවිය. මහින්ද රාජපක්ෂ රජය 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් අදාළ බලතල එම කොමිෂන් සභාවට ලබාදුන්නේය. නමුත් ජල සේවා සහ ඛනිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීමට අවශ්‍ය පනත් තවමත් පාර්ලිමේන්තුව සම්මත කර නැත. එසේ කිරීමට වුවමනාවක් තිබෙන බවට ඉඟියක්වත් නැත.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත සම්මත කර වසර 23කට පසුවත්/පසුවවත් එම කොමිසම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වාතාවරණය ඇති නොකිරීම ඇත්ත වශයෙන්ම ඛේදවාචකයකි. බදු ගෙවන ජනතාවට කරන නිග්රහයකි.
ලිහිසි තෙල් කර්මාන්තයේ ඡායා නියාමන ආයතනය ලෙස කටයුතු කරන්නේ ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. ඊට අදාළ පනත ද තවමත් සංශෝධන තත්ත්වයේ පවතී.
පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, කොමිෂන් සභාවේ ප්‍රධානම අරමුණයි. නමුත් එම කොමිෂන් සභාව නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පීඩාවට පත්වන්නේ ජනතාවයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ජාතික ජන බලවේගය (ජාජබ) ආණ්ඩුවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට හැකිය. පාර්ලිමේන්තුවේ අසමසම 2/3ක බලයක් හිමි ජාජබ ආණ්ඩුවට ජල සේවා සහ ඛනිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීමට අවශ්‍ය පනත් හඳුන්වාදිය හැකිය. මෙම පනත් දෙක තව දුරටත් ප්‍රමාද කිරීමට කිසිසේත්ම නොහැකිය. එලෙසම ලිහිසි තෙල් කර්මාන්තයට අදාළ පනත ද පාර්ලිමේන්තුවට වහාම ඉදිරිපත් කළ හැකිය. මොනයම්ම තත්ත්වයක් යටතේදීවත් ජාජබ රජයට නිදහසට කරුණු දැක්විය නොහැකිය.
නොවැම්බර් 21 වැනි දින පැවැත්වූ මහ ඡන්දයේ දී පක්ෂ 13කින් මන්ත්‍රීවරු පත්විය. ඒ අතර ජාජබ ට ආසන 159ක් හිමිවූ අතර ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට (සජබ) ආසන 40ක් හිමිවිය. ආසන අටක් ලබා ඉලන්කෙයි තමිල් අරසු කච්චි තුන්වන ස්ථානය හිමිකර ගත්තේය. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට (රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන්) සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට (පොහොට්ටු පක්ෂයට) පිළිවෙළින් ආසන පහක් සහ තුනක් ලැබිණි.
ලොකු කුඩා පක්ෂ සියල්ලම මහජන උපයෝගිතා කොමිෂන් සභාව 100%ක් ක්‍රියාත්මක කිරීමට වහාම සම්මුතියකට පැමිණිය යුතු නොවේද? එවැනි එකඟතාවකයක අවශ්‍යතාවය පක්ෂ නායකයන්ට දැනෙන්නේ නැතිද? එසේත් නොමැතිනම් තෙල් -ඛනිජ ‘මාෆියාවට’ අවශ්‍ය ලෙස රට හසුරුවන්නට ඉඩ දෙනවා ද?
2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සබා පනත සම්මත කළ අවස්ථාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධුරය දැරීය. ඊට පසුව මහින්ද රාජපක්ෂ (2005-2014), මෛත්‍රිපාල සිරිසේන (2014-2019), ගෝඨාභය රාජපක්ෂ (2019-2022) සහ රනිල් වික්‍රමසිංහ (2022-2024) ජනාධිපති ධුරයට පත්විය. මහජන උපයෝගිතා කොමිෂන් සභාව පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටියේය. දේශපාලන අවශ්‍යතාවයන්ට සහ පෞද්ගලික වුවමනාවන්ට 2022 ජනාධිපතිවරණයට පෙර ව්‍යවස්ථා සංශෝධන සහ නීති, පනත් ක්‍රියාත්මක කළ කිසිදු දේශපාලන පක්ෂයට මහජන උපයෝගිතා කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැත.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ජනතාවට දැනෙන වෙනසක් කිරීමට දෛවෝපගත අවස්ථාවක් ඇත. වසර 2002 සිට විදුලිබල, ජල සේවා සහ ඛනිජ තෙල් විෂයන් භාරව සිටි සියලුම අමාත්‍යවරු තමන්ගේ වගකීම පැහැර හැර ඇත. තම පක්ෂ නියෝජනය කළ වෘත්තීය සමිතිවල අවශ්‍යතාවයන්ට රටේ අවශ්‍යතාවයන් යට වුවාද? ඒ පිළිබඳව සැකයක් නැත.
වෘත්තීය සමිති අදාළ පනත 100%ක් ක්‍රියාත්මක කිරීමට කිසිම අවස්ථාවක කිසිදු රජයකට බලපෑම් කළේ නැත. විපක්ෂය නියෝජනය කරනු ලබන යම් වෘත්තීය සමිති ඉඳහිට අදාළ කොමිෂන් සභාව නිසියාකාරයෙන් බලගැන්වීම පිළිබඳව සඳහන් කර ඇත. නමුත් තිත්ත ඇත්ත විධායකය මැති සභය තුළ නියෝජනය කරන කිසිදු අමාත්‍යවරයෙකුට තම බලතල මෙම කොමිෂන් සභාවට පැවරීමට අවශ්‍ය නැත. නිවැරදි තීන්දු තීරණ ගැනීමට අමාත්‍යවරු බැඳී සිටිති. 2020 මහ මැතිවරණයේදී ආසන තුනක් හිමිකර ගත් ජාජබ ඊට වසර පහකට පසුව ජාතික ලැයිස්තු ආසන 18ක් සමග ආසන 159ක ජයග්‍රහණය කිරීම අවධාරණය කළේ ඊට පෙර අමාත්‍ය මණ්ඩලවල අසාර්ථකත්වයයි.
ජාජබ බලශක්ති අමාත්‍ය අචාර්ය කුමාර ජයකොඩි ජනවාරි 09 වැනි දින ඉතාමත් ආන්දෝලානාත්මක ප්‍රකාශයක් කළේය. විදුලි බිල හදිසියේ අඩු කළ නොහැකි බවත් රජයට අවශ්‍ය ඉලක්කය කරා යෑමට වසර තුනක කාලයක් වුවමනා බව අවධාරණය කළ අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ජාජබය එවැනි පොරොන්දුවක් ජනතාවට දී නොමැති බවයි. අනුර කුමාර දිසානායක ජාජබ ජනාධිපති අපේක්ෂක ලෙස සහ ජනාධිපති ලෙස විදුලි බිල අඩු කිරීමට පොරොන්දු වූ බව සියලුම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි වාර්තා කළේය. විදුලි බිල පමණක් නොව, ඩීසල් සහ පෙට්‍රල් මිල ද සැලකිය යුතු ලෙස අඩු කිරීමට ද ජාජබ සහ ජවිපෙ නායකයා පොරොන්දු විය. දේශපාලන පොරොන්දු ඉටු නොකිරීම පුදුමයට හේතුවක් නොවේ. නමුත් තම නායකයා වේදිකාවේ දුන් ප්‍රධාන පොරොන්දුවක් අමාත්‍යවරයා නොදැන සිටීමට නොහැකිය.
නමුත් ඒ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතට අනුව විදුලි බිල තීරණය කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පමණක් සතු සුවිශේෂී බලයකි. එම බලයට අභියෝග කිරීමට විධායකයට හෝ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන අමාත්‍යවරයෙකුට නොහැකිය. අදාළ පනත් දෙකට අභියෝග කිරීමට රජයට නොහැකිය. අවශ්‍යනම් තමන්ට ගැළපෙන පරිදි සංශෝධනය කළ හැකිය.
ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබාදෙනු ලබන යෝජනා මෙහිදී සැලකිල්ලට ගනු ලබන අතර ඕනෑම පුද්ගලයෙකුට සහ සංවිධානයකට විදුලි බිල තීරණය කිරීම සම්බන්ධයෙන් අදාළ කොමිෂන් සභාව ඉදිරියේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත. ඒ සඳහා 2002 සහ 2009 පනත් දෙක ජනතාවට අවස්ථාව දී ඇත. අවශ්‍යනම් අමාත්‍යවරයාට හෝ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට මහජන අදහස් දැක්වීමට දී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගතහැකිය.
අදාළ පනත් දෙක ප්‍රකාරව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට විදුලි බිල අඩු/වැඩි සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිත දිනය ජනවාරි 17 වැනිදා ය. මෙම ලිපිය සම්පාදනය කරන අවස්ථාවේදී අදාළ කොමිෂන් සභාව විදුලි බිල 10%-20%ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි බවට නිගමනයකට පැමිණි ඇති බවට යම් ආරංචි මාර්ග පැවසුවත් තත්ත්වය අවසන් මොහොතේ පවා වෙනස් විය හැකිය.
බලශක්ති අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ලංකා විදුලිබල මණ්ඩලය කළ නවතම යෝජනාව වූයේ විදුලි ගාස්තු සංශෝධනය 2025 ජනවාරි සිට ජුනි දක්වා අත්හිටු වියයුතු බවයි. නමුත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉදිරියේ හිටපු බලශක්ති අමාත්‍ය එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක සහ සමගි වෘත්තීය ප්‍රධානියෙකු වන ආනන්ද පාලිත විදුලි බිල සැලකිය යුතු ලෙස අඩු කිරීම කොමිෂන් සභාවේ වගකීම බව දැඩිව අවධාරණය කර ඇත. ඔවුන් දෙදෙනා ජනතාව ඉදිරියේ ඇති කරුණු කාරණා සමස්ත රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති කරන්නේ පිළිකුලකි.
නොයෙකුත් ආකාරයෙන් විදුලි බිල උපරිම ලෙස පවත්වා ගෙන යෑමට සහ බිල අඩු කිරීම අවම කිරීමට විදුලි බල මණ්ඩලය දිගින් දිගටම ගත් ක්‍රියාමාර්ග අදහ ගැනීමට නොහැකිය. ඕනෑම රජයක් යටතේ තමන්ට වුවමනා ආකාරයට මණ්ඩලය කටයුතු කර ඇත. තවමත් එම තත්ත්වයේ කිසිදු වෙනසක් නොමැත. වසර තුළ එනම් 2023 සහ 2024 රුපියල් බිලියන 277 ලාභ ලබාඇති මණ්ඩලය 2024 ඔක්තෝබර් මාසයේ සිට රජය නියම කර ඇති පරිදි වසරකට හතර වතාවක් මිල සංශෝධනය නොකිරීම ජනතාව දැඩි ලෙස පෙළීමකි.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉදිරියේ හිටපු අමාත්‍ය රණවක කළ ප්‍රකාශය අවධාරණය කළේ ජනතාවට විදුලිබල මණ්ඩලය දීර්ඝ කාලයක් තිස්සේ ආයතනයට අවශ්‍ය ආකාරයට ක්‍රියාකර ඇති බවයි. නැතහොත් එසේ උත්සහ කර ඇති බවයි. තමන් 2015 මාසයේදී විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස විදුලිබල මණ්ඩලයට පැමිණි අවස්ථාවේදී එහි ප්‍රධානීන් කළ ප්‍රකාශයක් එතුමා හෙළිදරව් කළේය. 2015 වසරේ දී රුපියල් බිලියන 45ක අලාභයක් ලැබෙන බවට ඇස්තමේන්තු කර ඇති බැවින් විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසිය නොහැකි බව අවධාරණය කළ බවයි. රණවක එදා විදුලි බල මණ්ඩලයේ ක්‍රියාකලාපය වර්තමාන අමාත්‍යවරයා කළ ප්‍රකාශය සමග සැසඳීය.
“2015 ජනවාරි 15 වැනිදා මං ලංකා විදුලිබල මණ්ඩලයට ගියා. මට කිව්වෙත් ඕකයි. ඒ අවුරුද්දේ බිලියන් 45ක් පාඩු වෙනවා කියලා. ඒ නිසා fuel adjustment charge එක අයින් කරන්න කිව්වට අයින් කරන්න කැමැති වූයේ නැහැ. නමුත් අපි එය අයින් කළා. රුපියල් 16.20ට තිබුණු ඒකකය රු. 15ට ගෙනාවා. ඒ අවුරුද්දේ ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය බිලියන් 20යි. හැබැයි කිව්වේ බිලියන් 45ක පාඩුවක් වෙනවා කියලා. අපිට තාම මතකයි ඇතැම් වෘත්තීය සමිති අද ආණ්ඩු බලය උසුලන අයගේ වෘත්තීය සමිති ලංකා විදුලිබල මණ්ඩලයේ පඩියෙ වාඩිවෙලා අපට විරෝධය දැක්වුවා.”
මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඛනිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීමට බලය නොදීම තුළ රජයට පූර්ණ අයිතිය ඇති එම ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩලයට ජනතාව අසාධාරණයට ලක් කිරීමට අවශ්‍ය වාතාවරණය ආණ්ඩුව සලසා ඇත. කවුරු බලයේ සිටියත් මෙම තත්ත්වයේ වෙනසක් නැත. ඛනිජ තෙල් කර්මාන්තය නියාමනය කිරීමට අවශ්‍ය බලය අදාළ කොමිසමට ලැබෙන තුරු මෙම ගසා කෑම නොනවත්වා සිදු වෙනු ඇත.
මිල අධික තාප විදුලි ජනනයට විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් සංස්ථාව සිල්ලර පාරිභෝගිකයාට අලෙවි කරන මිලට ම ලබාගැනීම අදහාගත නොහැකි තත්ත්වයකි. විදුලි බල පනතේ 30 වන වගන්තිය අනුව විදුලි ගාස්තු තීරණය කිරීම සාධාරණ පිරිවැය මත පදනම් විය යුතුය. විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් ලබාගැනීම ඉන්ධන පිරවුම් හල් හරහා සිදු නොකරන බැවින් වාෂ්පීකරණය, ප්‍රවාහනය හා නියෝජිත ගාස්තු වැනි පිරිවැය ඊට අදාළ නොවේ. නමුත් විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් ලබාදෙන්නේ ඒ ඉතාමත් අසාධාරණ මිල සූත්‍රය යටතේය.
සියලු ආණ්ඩු තම වගකීම ඉටු නොකර ඇති තත්ත්වයක් තුළ තාප විදුලිය ජනනය කරන අවස්ථාවේදී විදුලි බල මණ්ඩලය හරහා රුපියල් බිලියන ගණනක් ඛනිජ තෙල් සංස්ථාව උපයයි. විදුලිබල මණ්ඩලයට ප්‍රශ්නයක් නැත. තම ආයතනය ඛනිජ තෙල් සංස්ථාවට කරන අනවශ්‍ය ගෙවීම අහිංසක පාරිභෝගිකයින්ගෙන් අයකර ගනී. තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩලය ජයග්රහකයෝය. විදුලි පාරිභෝගිකයින් වන අප පරාජිතයෝය.
එවැනි තත්ත්වයක් තුළ බිල ගෙවාගැනීමට නොහැකිව විදුලිය විසන්ධි කරන අතර එය නැවත සැපයීමට දඬුවම් ගාස්තුවක් ගෙවීමට ද සිදුවේ.
ඇත්තවශයෙන්ම කිසිදු දේශපාලන පක්ෂයකට ජනතාව එදිනෙදා මුහුණදෙන අභියෝග පිළිබඳව අවබෝධයක් නොමැත. තමන්ගේ පක්ෂය නිසිලෙස හසුරුවා ගැනීමට නොහැකි දේශපාලන නායකත්වයෙන් ජනතාව සහන බලාපොරොත්තු වීම ද නිෂ්ඵලය. පෞද්ගලික බස්රථවල අලංකාර ගැලවීමට පෙර ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතු බොහෝ ප්‍රශ්න සහ ගැටලු ඇත. විදුලිබල සහ ඛනිජ තෙල් ‘මාෆියාව’ රජයේ ප්රමුඛත්ව ලැයිස්තුවට ඇතුළත් විය යුතුය. අවාසනාවකට එම ක්ෂේත්රය මුදා නොගත් ප්‍රදේශයක තිබෙනවාදෝ කියා හිතෙන තරමට තත්ත්වය නරකය.
විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට ලක්වෙන ආයතන බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් මුළු රටට ම කරන වංචාව පාර්ලිමේන්තුව දකින්නේ නැත. පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක මෙම ආයතන දෙක සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට බලය ඇති කමිටුව අක්‍රියය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් කළ විමසීමකදී ආනන්ද පාලිත හිත කකියවන හෙළිදරව්වක් කළේය. ලියුම්කරුට එය හෙළිදරව්වක් වූවාට අමාත්‍යාංශයට, විදුලිබල මණ්ඩලයට, ඛනිජ තෙල් සංස්ථාවට, වෘත්තීය සමිති සහ දේශපාලන අධිකාරියට එය රහසක් නොවේ. ඇත්තටම පාර්ලිමේන්තුවේ බලය කුමන පක්ෂයට හිමිවුවත් මිල සූත්‍රය ජනතාව රවටන සෙල්ලමකි. එය කිසිදා සාධාරණ පිරිවැය මත පදනම් නොවේ. ආනන්ද පාලිත ප්‍රකාශ කළ ආකාරයට ඩීසල්, දැවිතෙල්, නැප්තා අලෙවිය හරහා රට ම සූරාකෑම අහස පොළොව නුහුලන අපරාධයකි. ජයග්‍රාහකයෝ දෙදෙනෙකි. ඒ කවුරුද කියා ඔබ දනියි.
නැප්තා සහ දැවිතෙල් සඳහා නිෂ්පාදන (පිරිපහදු) පිරිවැය 2022 දී පිළිවෙළින් ලීටරය රුපියල් 137ක් සහ රුපියල් 150කි. නමුත් විදුලිබල මණ්ඩලය නැප්තා සහ දැවිතෙල් එම වසරේ දී මිලට ගෙන ඇත්තේ පිළිවෙළින් රුපියල් 164කට සහ රුපියල් 419කටය. රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වී ඇති නමුත් ඉන්ධන සාධාරණ මිලකට ලබාදෙන්නෙම නැත. මෙය වැහි නැති හෙණ පාත් වියහැකි තත්ත්වයකි. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරිය 2022 අරගලය ක්‍රියාත්මකවූ රට අන්ත අසරණ වූ අවස්ථාවක රාජ්‍ය අංශය ක්‍රියාකළ ආකාරයයි.
වර්තමානයේ ඩීසල් ලීටරය රුපියල් 235කට විදුලිබල මණ්ඩලයට ලබාදිය හැකි නමුත් සිල්ලර පාරිභෝගිකයා ගෙවන රුපියල් 286 අය කරයි. ආනන්ද පාලිත අවධාරණය කළේ මේ කරන අසාධාරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත පැටවිය නොහැකි බවයි.
@ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ