වත්මන් ආණ්ඩුවට එරෙහිව සමාජ මාධ්‍ය ඇතුලු විපක්ෂ කතිකාව බලවත් වෙමින්
විවිධ විරෝධතා සහ මඩ ගැසීම් සිදුවද්දී ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී වෙන්ව ගිය කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුතු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජවිපෙ ආරක්ෂා කිරීමට ඉදිරිපත්ව තිබීම විශේෂත්වයකි.
පසුගිය කාලය තුළ ජවිපෙ විරෝධී ආස්ථානයක් ගත් පෙසපය මෙවැනි තීරණකට පැමිණ ඇත්තේ ඔවුන් පවසන පරිදි විපක්ෂයේ මෙහෙයවීමෙන් සිදුවන විරෝධතාව යළිත් රනිල් රාජපක්ෂ කඳවුර බලයට පැමිණීමේ ක්රියාවිලයක් බවත් එනිසා මෙම ලැබුනු ජන වරම ආරක්ෂා කරගත යුතු බවත් ය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පසුගිය දා සිදුකළ ප්‍රකාශයන් පහත වේ.
මේ දකුණේ කඳවුර යළි සංවිධානය වීම පිළිබඳව බීබීසී සිංහල සේවය පළකල ලිපියකි.
අනුරගේ ආණ්ඩුවට එරෙහිව රනිල් - සජිත් සන්ධානයක් හැදෙයි ද?
ශ්‍රී ලංකාවේ විශාලතම තනි දේශපාලන පක්ෂය ලෙස හැඳින්වූ එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජන බලවේගය පිහිටුවනු ලැබුවේ 2020 වසරේදී ය.
දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධව ඇතිව තිබූ මත ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙසේ එම පක්ෂයෙන් බහුතර පිරිසක් වෙන් වී සමගි ජන බලවේගය නමින් පක්ෂය නිර්මාණය කළේ ය.
එජාපය සමග අත්වැල් බැඳගෙන සිටි තවත් පක්ෂ කිහිපයක් ද මෙම වෙන්වීමේදී සජබ සමග සන්ධාන ගත විය.
සජිත් ප්‍රේමදාස ප්‍රථම වරට 2019 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජය වීමෙන් පසුව එජාපයෙන් තවත් විශාල පිරිසක් සමග ඉවත් වී සජබ පක්ෂය පිහිටුවූ අතර එම පක්ෂය 2020 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙස තේරී පත්විය.
සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කළ ද ආර්ථික අර්බුදය සමයේදී හෝ අරගලයෙන් පසුව පැවති ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයෙන් රාජ්‍ය බලය ලබා ගැනීමට අසමත් විය.
2024 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හවුලේ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවට දෙපක්ෂයෙන් ම යෝජනා ඉදිරිපත්ව තිබිණි.
එම සාකච්ඡා අසාර්ථක වී දෙපාර්ශවය තනි තනිව මැතිවරණයට තරග කළේ ය.
'මුලින් සජිත් විරුද්ධ වෙලා තියෙනවා'
වෙන් වෙන්ව තරග කර දෙපාර්ශවය ම ලැබු දරුණු පරාජයත් සමග නැවතත් එක් විය යුතු බවට පක්ෂ දෙකෙන් ම යෝජනා වී ඇති අතර එම සාකච්ඡා ගැන මෙන් ම පක්ෂ දෙකෙහි සන්ධානගත වීම සම්බන්ධව බීබීසී සිංහල තොරතුරු විමසා බැලීය.
"මුලින් සජිත් විරුද්ධ වෙලා තියෙනවා. නමුත් මේගොල්ලෝ ඔක්කොම කියලා තියෙනවා එක්කහු වෙන්න ඕන කියලා. ඒ අනුව සජිත් එකඟ වෙලා තියෙනවා," යැයි එජාප පාර්ශවයෙන් හවුල වෙනුවෙන් මැදිහත් වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසි සිංහල වෙත පැවසීය.
එජාප - සජබ හවුල් වීමට විරුද්ධ වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මේ වන විට නැවත එකතු වන ලෙසට බලපෑම් එල්ල වෙමින් පවතින බව ද හිටපු අමාත්‍යවරයා කියා සිටියේ ය.
විපක්ෂයේ සියලු පක්ෂ පොදු ලාංඡනයකින්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දුරකතනය ලකුණින් සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අලියා ලකුණින් ඉදිරි මැතිවරණවලට තරග කිරිමට යෝජනා කර තිබේ.
"මේ දෙක ම නැතුව එක පොදු ලාංඡනයකින් විපක්ෂයේ සියලු කොටස් එකතු කරලා එක කණ්ඩායමක් විදියට තරග කරන්න එකඟ කරගන්න කියලා අපේ පැත්ත කියලා තියෙනවා. ඒගොල්ලොත් එතන බලපෑම් කරලා ඒ විදිහට කරන්නම් කියලා තියෙනවා එතන ඉන්න අනිත් පක්ෂ."
පොදු විපක්ෂය ජයගත් සමූපකාර ඡන්ද
විපක්ෂයේ පක්ෂ එකතු වී තරග කළ සමූපකාර ඡන්දවලදී ආණ්ඩු පාර්ශවය පරාජය කර බලය හිමි කර ගැනීමට හැකි වූ බව ද රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සඳහන් කළේය.
"බේරුවල අපි ඔක්කොම එක කණ්ඩායමක් විදියට තරග කළා, හැම තැනකටම වගේ එතකොට JVP එකට ඉතුරු වුණේ 30%යි. අනිත් ඔක්කොම ආවේ ඒකාබද්ධ විපක්ෂයට. ඒ වගේ ම බියගමත් එහෙමයි හෝමගමත් එහෙමයි ඒ හැම තැනක ම එකට එක්කහු වෙලා දැම්මාම අපි ජයග්‍රහණය කරනවා."
මේ සතියේ ආරම්භ වන සාකච්ඡා
එජාප - සජබ සන්ධානගත වීම සම්බන්ධව බීබීසී සිංහල සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගෙන් ද විමසුවේ ය.
"අපි මේ සතියේ සාකච්ඡා පටන් ගන්නවා," යැයි සාකච්ඡා ඇරඹීම ගැන අදහස් දක්වමින් මහ ලේකම්වරයා කියා සිටියේය.
පක්ෂයේ කැමැත්ත ද ඒ සඳහා ඇති බව ඔහු සඳහන් කළේ ය.
සාකච්ඡා ආරම්භ කරන කරනතුරු වැඩිදුර යමක් ප්‍රකාශ කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.
'රනිල් තමයි ඉතුරු වෙන්නේ රට බේරගන්න'
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරිමට එජාප සහ සජබ හවුල් වීමේd සාකච්ඡා බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් ලෙස මාධ්‍ය සඳහන් කර තිබුණේ සජබ පාර්ශවයෙන් කරන ලද ඉල්ලීමකි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීම ප්‍රධාන කොන්දේසියක් ලෙස ඉදිරිපත් වු බව එම වාර්තාවල දැක්විණි.
මෙවර සාකච්ඡා සඳහා ද එම කොන්දේසිය වලංගු දැයි බීබීසි සිංහල දෙපාර්ශවයෙන් ම විමසීය.
"එහෙම කොන්දේසියක් දාලා නැහැ අපි," යැයි සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේය.
"අද මුළු රටේ කට්ටිය කියන්නේ රනිල් තමයි ඉතුරු වෙන්නේ රට බේරගන්න කියලා. අපිට දැන් මේ වෙලාවේ තෝරන්න තියෙන්නේ ජනප්‍රිය නායකයෝ නෙමෙයි නේ. රට බේරගන්න පුළුවන් නායකයෙක් නේ ඕනේ," යැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඊට පිළිතුරු දුන්නේ ය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සෙසු පක්ෂ සන්ධානගත වීම ගැන සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
BBC