SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔබ ජීවත් වන්නේ ඇයි?” යන ප්‍රශ්නය නොයෙක් අවස්ථාවන්හි දී නොයෙක් දෙනාගෙන් අසා තිබේ.

සිංහල, දෙමළ, ඉන්දියන් ආදී නොයෙක් ජාතිවලට අන්තර්ගත වන අය ද බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු ආදි නොයෙක් ආගම්වල අය ද දුප්පත් – පොහොසත්, උගත්, නූගත්, උස් – පහත්, සිල් ඇති – සිල් නැති, ගිහි – පැවිදි ආදි වශයෙන් නොයෙක් තරාතිරම්වල අය ද ඔවුනතරෙහි වූහ.

 

 

මගේ ප්‍රශ්නයට සෑහෙන පිළිතුරක් ඒ කිසිවකුගෙන් අද වනතුරු මට ලැබී නොමැත.

 

බොහෝදෙනකුගෙන් පිළිතුරු ලැබුණේ එවැනි දාර්ශනික ප්‍රශ්න ගැන සිතීමට තමන්ට කාලයක් නොමැති බවය.

 

එවැනි ප්‍රශ්නයක් ඇසීම ගැන මා සිනහවට ලක්කරමින් තවත් සමහරෙක් පිළිතුරු දුන්හ.

 

මනුෂ්‍යයා ජීවත් වන්නේ ජීවත්වීමේ තේරුමක් නොදැන, ඒ ගැන කල්පනා කිරීමට සිත නොවෙහෙසෙමින්, කල්පනා කරන අයත් උපහාසයට ලක්කරමින් බව මෙයින් පෙනී යයි.

 

ජීවත්වන සෑම මනුෂ්‍යයකු විසින්ම මෙම ප්‍රශ්නය තමාගෙන් ඇසිය යුතුය.

 

 

තමා විසින්ම ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කළ යුතුය. ජීවිතය පිළිබඳව අපේ සෑම ගැටලුවක්ම ඇතිවී තිබෙන්නේ මෙම ප්‍රශ්නය අප විසින් විසඳාගෙන නැති බැවින්ය. මේ එක ප්‍රශ්නය විසඳුණොත් අනික් ප්‍රශ්න සියල්ල විසඳෙනවා ඇත. අද අප ජීවත් වන්නේ ජීවිතය පිළිබඳ එක අංශයකට හෝ දෙකකට හෝ ප්‍රමාණය ඉක්මවූ තැනක් දී ජීවිතය පිළිබඳ අනික් අංශයන් නොසලකා හරිමින්ය.

 

 

මෙය සිදුවන ආකාරය ගැන මොහොතක් සිත යොමු කර බලමු.

 

 

අද මනුෂ්‍ය සමාජය සකස්වී පවත්නා හැටියට මුදල් නොමැතිව කෙනකුට වුවමනා කරන දේ සපයා ගැනීමට නුපුළුවන. ජීවත්වීමට එක්තරා ප්‍රමාණයක් මුදල් වුවමනා වේ. ඒ ප්‍රමාණයට වැඩියෙන් උපයන මුදල ජීවත්වීමට ප්‍රයෝජනවත් නොවේ. එහෙත් ජීවත් වන්නේ කුමක් පිණිස දැයි නොදන්න තැනැත්තා ධනය සපය සපයා රැස්කිරීම ජීවිතයේ පරමාර්ථයක් යැයි වරදවා ගෙන ධනය සැපයීම සඳහා ජීවිතය කැප කරයි.

 

එසේ කිරීමෙන් තමා වෙහෙසට පත් වෙනවා පමණක් නොව ධනය සැපයීමට වුවමනා කරන නොයෙකුත් කෛරාටිකකම් නිසා ඔහු අනුන් ද විපතට පත් කරයි. මුදලට දිය යුතු තැන නොදී, ඊට වඩා බෙහෙවින් ම වැදගත් තැනක් මුදලට දෙනු ලබන්නේ ජීවත් වන්නේ කුමක් නිසා දැයි නොදන්නා බැවින්ය. එය කුමක් නිසා දැයි සොයා බැලීමට සිත නොයොදවන බැවින් ය. භාෂාව මනුෂ්‍යයාට වුවමනා කරන දෙයකි. තමාගේ ඕනෑ එපාකම් වෙන කෙනකුට දැන්වීමට සහ අදහස් හුවමාරු කිරීමට භාෂාව අවශ්‍ය වේ. භාෂාවට නිසි තැනක් තිබේ. භාෂාව පවත්නේ මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයටය. එහෙත් ජීවත් වන්නේ කුමක් නිසා දැයි නොදන්න තැනැත්තා භාෂාවට දිය යුතු තැන දෙනවා වෙනුවට භාෂාව වෙනුවෙන් ජීවිතය කැප කිරීමට සිතයි. භාෂාව වෙනුවෙන් ජීවිතය පිදීමට අදහස් කරයි. භාෂාව වෙනුවෙන් මිනිසුන් මැරීමට පවා ඉදිරිපත් වෙයි.

 

අද පවත්නා මනුෂ්‍ය සමාජයට දේශපාලනය අවශ්‍ය වේ. දේශපාලනයෙන් බලාපොරොත්තු වන්නේ සමාජය ඊයේ තිබුණාට වඩා හොඳින්, මනුෂ්‍යයාගේ සැප පහසුවට, වඩා ප්‍රයෝජනවත් වන අන්දමින් අද සකස් කිරීමට ය. අද තිබෙනවාට වඩා හොඳින් හෙට සකස් කිරීමටය. එහෙයින් දේශපාලනය පවත්නේ මනුෂ්‍යයාගේ මනා ජීවිතයට ආධාරයක් වශයෙන්ය.

 

මනුෂ්‍යයා ජීවත් වන්නේ දේශපාලන පක්ෂවලට කැප කරන ලද පූජා භාණ්ඩයක් වශයෙන් නොවේ. එහෙත් තමා ජීවත් වන්නේ කුමක් නිසා දැයි නොසොයන තැනැත්තා, ඉදින් ඔහු දේශපාලනයට නැමුණු සිත් ඇත්තෙක් නම්, දේශපාලනයට දිය යුතු තැන ඉක්මවා දේශපාලන අදහස් වෙනුවෙන් මිනිසුන් බිල්ලට දීමට පසුබට නොවෙයි. මෑතකදී ඇති වූ ලොකු කුඩා යුද්ධ සියල්ලම ඇතිවීමටත්, ඒ මගින් මිනිසුන් කෝටි ගණනකගේ ජීවිත විනාශවීමටත් ප්‍රධාන හේතුවක් වශයෙන් මෙම කාරණය සැලකිය හැකිය.

 

 

අධ්‍යාපනය තවත් හොඳ නිදර්ශනයකි. පුරාණ කාලවලදී කෙසේ වෙතත් ඉගෙන නොගෙන රැකීරක්ෂාවක් කිරීමට අද මනුෂ්‍යයාට නුපුළුවන. අධ්‍යාපනයට තැනක් මනුෂ්‍ය ජීවිතයෙහි තිබේ. නියම තැන නියම විදියෙන් ඇති කරන ලද අධ්‍යාපනය මනුෂ්‍යයාට ආධාරයකි. එහෙත් අද අධ්‍යාපනය නිසා බොහෝ සෙයින් සිදුවී තිබෙන්නේ පන්ති භේදය, රක්ෂා හිඟය, මනුෂ්‍ය ඝාතනය සඳහා වැඩි වැඩියෙන් උද්‍යෝගී වන අවි ආයුධ නිපදවීම ආදිය ඇතිවීමකි. මිනිසා ඉගෙන ගන්නේ ජීවත්වීමටය. එහෙත් ජීවත්වන්නේ කුමකටදැයි නොදන්නවා නම් ඉගැන්වීම, පරමාර්ථයක් නැති, ඉලක්කයක් නැති, ක්‍රියාවක් වන්නේය. අද අධ්‍යාපනය නොවිසඳිය හැකි අවුලක් වී තිබෙන්නේ මේ හේතුවෙන්ය.

 

 

මෙය එක ප්‍රදේශයකට, එක රටකට, සීමාවූවක් නොවේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් අද මුළු ලෝකයෙහි ම ඇති වී තිබෙන්නේ අවුලකි. අලුත් විෂයයන් ඉගැන්වීමෙන් වත්, ඉගැන්වීමේ ක්‍රම වෙනස් කිරීමෙන් වත් මේ අවුල නිරවුල් කළ හැකි නොවේ. ජීවත්වන්නේ කුමකට දැයි මිනිසා යම්තාක් කල් නොදනියි ද, දැනගැනීමට උත්සාහයක් නොකරයි ද ඒ තාක් කල් මෙම අවුල මෙසේ පවතිනවා ඇත.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!
©️ Buddhist Brotherhood

නවතම ලිපි