ජනාධිපති අනුර කුමාර දිසානායක සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ
චීනය බලා පිටත්ව ගියේය. ඔහු සමඟ විජිත හේරත් සහ බිමල් රත්නායක යන අමාත්‍යවරු ද එක්ව සිටියහ.
චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරේ. මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළේ සිට සාමාන්‍ය මගී ගුවන් යානයක් වන චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් හි MU-232 ගුවන් යානයෙන් රාත්‍රී 8:20 ට ෂැංහයි බලා පිටත්ව ගියහ.
ජනාධිපතිවරයා සිය සංචාරය අවසන් කර සිකුරාදා (17) නැවත පැමිණීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මෙම චීන සංචාරය දෙස කලාපයේ බලවතා මෙන්ම ලෝක බලවතුන්ද මේ වනවිට සිය අවදානය යොමු කර ඇත.
මේ ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ සටහනකි.
ජනපතිගේ චීන නිල සංචාරය: කලාපයේ බලවතාගේ ඇස ශ්‍රී ලංකාව දෙසට
ජනපති හමුවීමට නියමිත චීන ප්‍රධානින් කවුද ?
මෙම සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින් පිං සමග අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සංචාරයේදී චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලීජි ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ද හමුවීමට නියමිත යි.
එමෙන්ම මෙම චීන සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, තාක්ෂණික හා කෘෂිකාර්මික සංවර්ධනය මෙන්ම දිළිඳුකම පිටුදැකීම ආදී අරමුණු පෙරටු කරගත් ක්ෂේත්‍ර චාරිකා කිහිපයකට සහභාගි වීමට නියමිත අතර ඉහළ පෙළේ ව්‍යාපාරික හමු කිහිපයකට එක්වීමට ද සැලසුම් කර තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂය සමග ඇති සබඳතා මෙන්ම චීන ආයෝජකයින්ට සිත් ඇදගන්නා සුළු ආයෝජන අවස්ථා ලබාදීම හරහා ජනාධිපති අනුර කුමාර දිසානායකට චීනය සමග හොඳ ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමට හැකි වනු ඇති බව ජාත්‍යන්තර සබඳතා පර්යේෂක සහ උපදේශක ආචාර්ය හසිත් කන්දඋඩහේවා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.
''මගේ පෞද්ගලික මතය තමයි ගොඩක් වෙලාවට පක්ෂයක් හැටියට ඔවුන් චීන කොමියුනිස්ට් පක්ෂය සමග හොඳ සබඳතාවයක් තියෙනවා. මෙතැනදී ජනාධිපතිවරයා උත්සාහ කළ යුත්තේ පක්ෂ දෙක අතර තියෙන සබඳතාවය යොදාගෙන දෙරට අතර සබඳතාව වැඩිදියුණු කරගන්න. දෙවැනි අවස්ථාව තමයි සමාන ආයෝජන අවස්ථාවන් වගේම චීන ආයෝජකයින්ට සිත් ඇදගන්නා සුළු ආයෝජන අවස්ථා ලබාදීම තුළින් චීනය සමග හොද ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න පුළුවන් ජනාධිපතිවරයාට. තුන්වෙනි කාරණාව තමයි ජනාධිපතිවරයා තමන්ගේ චීන සංචාරයේදී ව්‍යාපාරිකයින් රැගෙන යන්න අවශ්‍යයි. ඒ හරහා සබඳතා ශක්තිමත් කර ගන්න හැකියි.''
ජාතික ජනබල වේගයේ මුල් පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික දේශපාලනයට නැඹුරුතාවයක් දක්වයි
'එක් චීනයක් ප්‍රතිපත්තිය' අඛණ්ඩව අනුගමනය කරන්න තීරණයක්
මේ අතර ශ්‍රී ලංකාව 'එක් චීනයක් ප්‍රතිපත්තිය' අඛණ්ඩව අනුගමනය කරන බව රජය නිවේදනය කර ඇත. ඊට අදාළව කැබිනට් පත්‍රිකාවක් ද සම්මත කරගෙන තිබේ.
ඉදිරිපත් කර තිබු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඒ පිළිබඳව මෙසේ සඳහන් වී තිබිණි,
"ශ්‍රී ලංකා රජය 'එක් චීනයක් ප්‍රතිපත්තිය' අඛණ්ඩව අනුගමනය කර ඇති අතර, එමඟින් නීත්‍යානුකූල චීනය ලෙස මහජන චීන සමූහාණ්ඩුව පමණක් පිළිගන්නා බවත්, තායිවානය චීනයේ එක් පළාතක් ලෙස පමණක් පිළිගන්නා බවත් අදහස් කරනු ලබයි. ශ්‍රී ලංකා රජයේ එකී ප්‍රතිපත්තිය ඒ අයුරින්ම තවදුරටත් අනුගමනය කරමින් ඊට අනුගතව කටයුතු කරනු ලබන බවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී."
මේ අතර ආචාර්ය හසිත් කන්දඋඩහේවා බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ 'එක් චීනයක් ප්‍රතිපත්තිය' ශ්‍රී ලංකාව කාලාන්තරයක් පුරා පිළිගෙන තිබු බව යි.
"එක් චීනයක් ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව කලින් ඉඳලම පිළිඅරගෙන තිබ්බේ. ඒක නැවත වතාවක් ශ්‍රී ලංකාව පිළිඅරන් තියෙන්නේ කැබිනට් තීරණය හරහා. මෙතන ගැටලුව තියන්නේ ටිබෙටය සම්බන්ධයෙන් චීනයේ තියෙන ප්‍රතිපත්තිය ගැන. එතකොට අපි පිළිගන්නවා ටිබෙටයත් චීනයේම කොටසක් කියලා.''
''ඇත්තටම ටිබෙටය විශේෂ ස්වාධින පාලන තන්ත්රයකින් චීනය යටතේ පවතින්නේ. ඉතින් මේක ඉන්දියාවට බලපාන්නේ ටිබෙටය සහ ඉන්දීයාව අතර පවතින භූගෝලීය සමිපභාවය නිසා. මේ නිසා ඉන්දියාවේ ඊසාන දෙසින් චීන දේශසීමාව සමග යම් ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්."
ආචාර්ය හසිත් කන්දඋඩහේවා පෙන්වා දුන්නේය.
'එක් චීන ප්‍රතිපත්තියක්' පිළිගන්නා බව දැක්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ පත්‍රිකාව
චීනයේ ගිවිසුම් ගැන ඉන්දියාව අවධානයෙන්
ශ්‍රී ලංකාව සහ චීනය අතර චීනය සමග ගිවිසුම් කිහිපයකට හා හදිසි මානුෂීය ආධාර භාරදීමේ සහතිකයකට අත්සන් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉකුත් ජනවාරි මස 07 වැනිදා දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.
එහිදී චීන මාධ්‍ය සමූහය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක්, චීන වෙළෙඳපොළට කුකුළු මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය සඳහා අදාළ වන ගිවිසුම, ශ්‍රී ලංකාවට හදිසි මානුෂිය ආධාර සැපයීම පිළිබඳ ව්‍යාපෘතිය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ චීන සමුහාණ්ඩුවේ ආයතන අතර අවබෝධතා සහ සහයෝගීතා ගිවිසුම් වලට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව ඇති අතර එහිදී 'පළමු තැන ඉන්දියාවට' යන සංකල්පයට ශ්‍රී ලංකාව නැඹුරු කිරීමේ උත්සාහයක නිරත වනු ඇති බව ආචාර්ය හසිත කන්දඋඩහේවා පැවසුවේය.
''මේ අවුරුද්දේදී ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවට නිවේදනය කර සිටියා. ඒ හරහා ඉන්දියාව උත්සාහ කරනවා 2007 ඉදලා 2019 දක්වා ශ්‍රී ලංකාවේ තිබුණු චීන නැඹුරුතාවය ඉන්දියාව දෙසට හරවා ගන්න. එහිදී 'ඉන්දියාව පළමු තැන' කියන ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව යොමු කරවා ගන්න ඉන්දීයාව නරේන්ද්‍ර මෝදී අගමැතිවරයාගේ සංචාරයේදී උත්සහා කරයි.''
''මේ නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී ඇතිකරගන්නා වෙළෙඳ ගිවිසුම්, හම්බන්තොට වරාය වගේම කොළඹ වරාය නගරය ගැන මොන වගේ දේවල් ඇතිවේද යන්න ගැන මෙහිදී ඉන්දියාව වැඩි අවධානයක් යොමු කරයි කියලා විශ්වාස කරන්න පුළුවන්."
ආචාර්ය හසිත කන්දඋඩහේවා පැවසුවේය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මෙම වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව සඳහන්
ට්‍රම්ප් - චීන ගැටලුව ශ්‍රී ලංකාවට බලපායි ද?
ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධූර කාලය සඳහා දිවුරුම් දීමෙන් අනතුරුව චීනය සහ ඇමෙරිකාව අතර ඇතිවිය හැකි වෙළඳ යුද්ධයෙන් ශ්‍රී ලංකාවට වාසි සහ අවාසි ඇතිවිය හැකි බව ආචාර්ය හසිත කන්දඋඩහේවා මෙහිදී පැවසුවේය.
"බොහෝ දෙනා මත පළකර සිටිනවා ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධයක් ඇති වෙනු ඇති කියලා. මේකෙන් ශ්‍රී ලංකාවට වාසි අවාසි ඇතිවෙන්න පුළුවන්.''
''අවාසිදායක තත්ත්වය තමයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා චීනය ශ්‍රී ලංකාවේ දේශීය වශයෙන් විශාල ආයෝජනයන් සිදුකරයි කියලා. එහිදී ඉරණමඩු සහ හම්බන්තොට ආයෝජන කළාපයන්වල චීනය විශාල ආයෝජනයන් සිදුකරයි කියලා. මෙන්න මේ චීන ආයෝජනයන් ලංකාවට ලැබීම ගැන ඇමෙරිකාව විරුද්ධ වෙන්න පුළුවන්.''
''ඒ විරුද්ධවීම හරහා ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයට බදු පැනවීමක් සිදුකලොත් ඒ හරහා විශාල මුදලක් අහිමි වෙන්න පුළුවන්. එක පැත්තකින් චීනයෙන් වාසියක් ලැබෙද්දී ඇමෙරිකාවෙන් ආදායම් අඩුවීමෙන් අවාසියක් ඇතිවෙන්න පුළුවන්.''
''ඒ වගේම ඇමෙරිකාවෙයි චිනයෙයි වෙළඳ යුද්ධයෙන් ශ්‍රී ලංකාවට වාසි සහගත වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි ඒක ශ්‍රී ලංකාවට කර ගන්න පුළුවන්නම්.''
''චීනය මත බදු පැනවීම නිසා ඇමෙරිකාවට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සැපයීමට ශ්‍රී ලංකාවට හැකිවෙනවානම් අන්න එතනදී ශ්‍රී ලංකාවට යම් වාසියක් අත්කර ගන්න හැකියාව තියෙනවා.''
''දැනට තියෙන තත්ත්වය අනුව විශාල ගැටලුවක් ඇතිවෙන්න පුළුවන් කියල විශ්වාස කරනවා. මොකද ඇමෙරිකාවේ අසල්වැසි රටවල් දෙකක් වන කැනඩාවට සහ මෙක්සිකෝවට බලපෑම් එල්ල වී තියෙනවා."
ඔහු පැවසුවේය.
ජනපති අනුරගේ සංචාරය ගැන චීනයෙන් නිවේදනයක්
මේ අතර ජනවාරි මස 10 වැනිදා පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ග්වා ජීයාකුන් (Guo Jiakun) ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදුකළේය.
"එළඹෙන සංචාරය ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් පසු සිදුකරන පළමු චීන සංචාරය වන අතර එය චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට ඉතා වැදගත් වේ.''
''මෙම සංචාරයේදී ජනාධිපති ෂී ජින්පින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ අගමැති ලී ච්‍යං සහ සභාපති ජාඕ ලීජි පිළිවෙළින් ඔහු හමුවනු ඇත.''
''චීනය සහ ශ්‍රී ලංකාව බොහෝ කලක සිට එකිනෙකාගේ මිත්‍රත්වය සහ සමීප අසල්වැසියන් වී ඇත. 1957 දී අප දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගත් දා සිට, ද්විපාර්ශ්වික සබඳතාව වෙනස් වන ජාත්‍යන්තර භූ දර්ශනයේ පරීක්ෂණයට ලක් වූ අතර, සෑම විටම හොඳ සහ ස්ථාවර වර්ධනයක් පවත්වා ගෙන යන අතර, ප්‍රමාණයෙන් වෙනස් රටවල් අතර මිත්‍ර සබඳතා සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව සඳහා කදිම උදාහරණයක් සපයයි.''
''අපගේ කාලානුරූපී මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමටත්, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීමටත්, උසස් තත්ත්වයේ තීරය සහ මාර්ග සහයෝගීතාව පුළුල් කිරීමටත්, චීනයේ අඛණ්ඩ නව ප්‍රගතිය සඳහා විවිධ ක්ෂේත්රවල ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමටත් එළඹෙන සංචාරය තුළින් ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් වේ. ශ්‍රී ලංකා උපායමාර්ගික සමුපකාර හවුල්කාරිත්වය අවංකභාවය, අනෝන්‍ය සහයෝගය සහ සදාකාලික මිත්‍රත්වය මෙන්ම දෙරට සඳහා වැඩි ප්රතිලාභ ඇතුලත්."
හෙතෙම කියා සිටියේය.
දිනුක් හේවාවිතාරණ
@ BBC