තුනෙන් දෙකේ ජන වරමක් ඇති, විධායක ජනාධිපති ධූරය හිමිව ඇති මාලිමා රජයේ ආණ්ඩුකරණය,
පාර්ලිමේන්තුවට එන්නට තරම්වත් ජන වරමක් හිමි නොවූ එහෙත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ලංකාවේ විකල්ප ජනාධිපති තනතුර බාරගත් රනිල් වික්‍රමසිංහ පාලනයෙන් වෙනස් වන්නේ කෙසේද?
බියෙන්, සැකයෙන්, අවිශ්වාසයෙන් හා ඒ හා බැඳුනු දැඩි ආතතියෙන් මාලිමාවේ ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුකරණයට සහභාගී වන සියලුම මැති ඇමතිවරුන් පසුවන්නේ වරදක් කළ හෝ කොයි මොහොතේ හෝ වරදක් වියහැකිය යන දෙගිඩියාව මතය.
මෙසේ ආණ්ඩුකරණය කිරීම කිසිසේත් කළ නොහැක්කකි.
ඊයේ පාර්ලිමේන්තුවේ දී බදුල්ල මන්ත්‍රී චාමර සම්පත් ගෙන ආ චෝදනාවෙන් උගත යුතු පණිවුඩය එයය.
මෙසේ නිරන්තරයෙන් සැකයෙන් හා සමාජ මාධ්‍යයේ පළවන දෑ සම්බන්ධයෙන් ආතතියෙන් සිටින්නේ කුමක් නිසාද?
ඊයේ පෙරේදා එක්වූ දකුණේ කඳවුරට අයත් 'පුරවැසි වේදිකාව' යැයි තනාගත් සංවිධානය නම් මේ ගැන කියන්නේ වත්මන් NPP ආණ්ඩුව බලයට පත්වීම “අරගලයේ මැතිවරණ ප්‍රතිඵලයක්” ලෙසයි.
මේ නිසා ඔවුන් සිතන්නේ අරගලයේ රැල්ල අරගලය විසින්ම යළි බිම හෙළනු ඇතැයි කියා විය හැකිය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආතතියට හේතුවත් එයමද?
මන්ද, ලංකාව පවතින ආර්ථික අර්බූධයෙන් තවමත් මිදී නැත.
ණය හා පොලී වාරික ගෙවීමට සිදුවීම ඉදිරියේදී අනීවාර්ය සාධකයකි.
ඒ අතර තමන් බලයට පත්කරගත් රාජ්‍ය සේවකයින් වැටුප් වැඩිවීමක්, බදු අඩුකිරීමක් බලාපොරොත්තුවෙන් සිටින්නේය.
සාමාන්‍ය පුරවැසියන් ඉන්ධන, ආහාරපාන, ඖෂධ වල මිල අඩුකරන තෙක් බලාසිටින්නේය.
ඒ අතර හාල් අර්බූධ, විදුලිබලය සම්බන්ධ ප්‍රශ්න, අධ්‍යාපනයේ අක්‍රමිකතා, පොහොර සහන යනාදී ගැටලු අතු ඉති ලමින් කඩිනමින් වැඩෙන්නේය.
සියල්ලටමත් වඩා නිදහසේ අදහස් ප්‍රකාශ කරන්නට බියෙන් පසුවන මාලිමා මැති ඇමතිවරුන් ඉඳහිට හෝ කට ඇරි සැනින් එය මාතෘකාවක් බවට පත්වන තත්වයක් ද පැන නැගී ඇත.
ඊයේ චාමර සම්පත් මන්ත්‍රීවරයාට පිළිතුරු දෙන්නට මාලිමාවන් අද දවසේ පෙළ ගැසෙන්නේ එනිසාය.
ඊට නිසි පිළිතුරු පෙළ ගස්වා ගත්තද චාමර සම්පත්ගේ කඳවුරට අවශ්‍ය දේ ඒ වනවිටත් ඉටුවී හමාරය.
මේ අසීමිත ජනතා බලයක් ලබාගත් මාලිමා ආණ්ඩුව කුඩුවී විනාශවී යා හැක්කේ මෙන්න මේ තමාගෙන් පිටත මෙන්ම තම සගයින් අතර පවා ඇතිකරගෙන සිටින සැකය හා අවිශ්වාසයන් නිසාය.
දේශපාලන ව්‍යාපාරයක විනයක් තිබිය යුතුය.
එහෙත් බයෙන් සැකෙන් අවිශ්වාසයෙන් දෙගිඩියාවෙන් පවත්වාගෙන යනු ලබන විනය විහිලුවකි.
විශාල ජන වරමක් ලබාගෙන තිබියදීත් කොයි මොහොතේ හෝ බලය ගැලවේයැයි සිතමින් හෝ තම ව්‍යාපාරයේ සුජාතභාවය ගිලිහී යාවී යැයි සිතා හෝ දෙගිඩියාවෙන් සහ ආතතියෙන් සිටීම වාමාංශික නැඹුරුතාවක් සහිතව ව්‍යුත්පන්න වූ දේශපාලන පක්ෂයකින් බිහිවූ ව්‍යාපාරයකින් නොවිය යුත්තකි.
එවන් ව්‍යාපාරයක් අභිමුව හරි නම් බිය විය යුත්තේ පිටත සමාජයය.
කෙසේ වුවද මේ සැකය, අවිශ්වාසය ජවිපෙ දේශපාලනයේ මෙන්ම එල්ටීටීඊය වැනි සංවිධානයන්හී ද පැවති අවාසනාවන්ත තත්වයකි.
ගෙවී ගිය යුගයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයට පාන්දරම ගොස් මැදියම් රැය වනතුරුත්, සතිය පුරාම දිවා රෑ නොබලා වැඩකරද්දී, වික්‍රමසිංහ ජනාධිපතිවරයා දවස් දෙක තුනක් වැඩ කරන්නට කාර්යාලයට ගොස් සෑම සති අන්තයේදීම නුවරඑළියේ විවේක සුවයෙන් ඉන්නට කටයුතු කළේය.
මේ මොහොතේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තම නිවසට, නවාතැනට හෝ පැලවත්තට හෝ නොගොස් ජනාධිපති කාර්යාලයේම රැය පහන් කරන්නට පෙළැඹීමද අප කියවා ගත යුත්තේ කිනම් ආකාරයකටද?
@සමාරා පරණවිතාන