- ‘අනුර හරිනි ආණ්ඩුවේ ලයිට් බද්ද’ ගැන පාඨලීගෙන් චෝදනාවක්.
- නව බදු ක්‍රමයෙන් ජනතාවට විශාල බරක්.
- රාජ්‍ය සේවයට සුනාමියක් ගේන්න යන ලාල් කාන්තලට මේක බොල්ෂෙවික්කරණය කරන්න ඉඩක් නෑ.
- ජනතාව මුලා කරන ආණ්ඩුවේ ඉලක්කම් සෙල්ලම මොකක්ද?
ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් පැටවීමට හේතු වී ඇති අතර, එය රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.
ඔහු මේ බව පෙන්වා දුන්නේ ඊයේ (02) පෙරවරුවේ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති ‘ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය සහ නව වසරේ ආර්ථිකය’ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව සමග එක්වෙමිනි.
එහිදී පාඨලී ප්‍රධාන වශයෙන් පෙන්වා දුන්නේ ආණ්ඩුව විසින් හඳුන්වා දී ඇති නව බදු ක්රමයේ ප්‍රතිපලයක් ලෙස ජනතාවට විශාල බරක් පැටවී ඇති බවය.
නව බදු ක්රමයේ බොහෝ අංග හිටපු රනිල් වික්‍රමසිංහ යෝජනා කළ ක්‍රමයට සමාන බවත්, එය නව ආණ්ඩුවේ මුල් නිර්මාණයක් නොවන බවත් පෙන්වා දෙන පාඨලී රණවක වෘත්තිකයන්ට පනවා ඇති නව බදු මගින් ඔවුන්ට විශාල බරක් පැටවී ඇති බවත්, එය රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවත් ප්‍රකාශ කරයි.
“පුද්ගලික ආදායම් බදු අඩු වෙලා, උපයන විට ගෙවීමේ බද්ද වැඩි වුණාට වැඩක් නෑ. සමස්තයක් හැටියට බදු ආදායම වැඩි වෙන් නැත්තං වෘත්තීයවේදීන් පීඩනයට ලක්වීම විතරයි වෙන්නේ.”
නව බදු ක්‍රමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම මත ක්‍රියාත්මක කරන අතර, එමගින් රටේ ආර්ථිකයට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරන බවද පාඨලී පවසයි.
“හැබැයි මැතිවරණයට පෙර ආණ්ඩුවේ ආර්ථික උපදේශකයන් කියන අය, ආණ්ඩුවේ ප්‍රකාශකයින් අගමැතිතුමිය මේ හැමෝම කිව්වේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක රටට වාසිදායක වෙන ආකාරයේ කොන්දේසි සාකච්ඡා කරනවා. මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳව තියෙන සූත්‍රය අපි වෙනස් කරනවා කියන එක ලිඛිතව එතුමන්ලා ඉදිරිපත් කළා. එතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්රකාශනයෙන්, දැන් ඒ ගැන ජනාධිපතිතුමිය හෝ අගමැතිතුමිය කිසිම සද්දයක් නැහැ. දැන් අර රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එතනත් දීලා තිබිච්ච ඒ සූත්‍ර පාඨය අනුව ගමන් කරනවා.”
“2025 වසරේ ආසන්න වශයෙන් රු. බි. 4300 - 4400 අතර ආදායම් ඉලක්කයක් ළඟා කරගත යුතුයි. මේක සංසන්දනය කළොත් ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයත් එක්ක ගෝඨාභය පාලන කාලය 2020 අපේ බදු ආදායම තිබුණේ බිලියන 1300 ක් වගේ අමතර වැඩි මනත් වශයෙන් මේ වසරේදී බිලියන 3000 ක් පමණ හොයාගන්න ඕනේ. වෙන වචන වලින් කියනවා නම් හැම පුද්ගලයෙක්ගෙන්ම ආසන්නයෙන් රු. 136,000 ක්, 2020 ට සාපේක්ෂව මේ වසරේ වැඩි මනත් වශයෙන් බදු අයකර ගත යුතුයි. ඒක තමයි ඉලක්කය. ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ඒ වගේම ආණ්ඩුවට ප්‍රාග්ධන වියදම් ඇතුළු වියදම් පාලනය කරන්න සිද්ධ වෙනවා. ඇතැම්විට අපි ඇහෙනවා ආණ්ඩුවේ උපදේශකයින්ගෙන් රාජ්‍ය සේවකයින්ගෙන් හයලක්ෂයක් ගෙදර යවන්න ඕනේ කියලා. අපි දන්නේ නැහැ මොකක්ද කරන්න යන්නේ කියලා.”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියමයන් යටතේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට රුපියල් බිලියන 657ක ප්‍රාථමික ශේෂයක් ධන අගයක පවත්වා ගැනීමට සිදුව ඇත. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය විසින් නව බදු පනවා ඇති අතර පවතින බදු වැඩි කර ඇත. මෙම තත්ත්වය ශ්‍රී ලාංකික ජනතාවට බරපතල බලපෑමක් ඇති කර තිබේ. පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ, බැංකු තැන්පතු මත අය කරන රඳවා ගැනීමේ බද්ද 5% සිට 10%ය දක්වා වැඩි කිරීම බැංකු තැන්පතුකරුවන්ට විශාල අභියෝගයක් වී ඇති බව ය. බොහෝ දෙනා තම තැන්පතු ආපසු ගෙන වෙනත් ආයෝජන වෙත යොමු වීම නිසා කොටස් වෙළඳපොළේ විශාල වර්ධනයක් දක්නට ලැබේ. මෙම තීරණය බැංකු පද්ධතියට දැඩි බලපෑමක් ඇති කර ඇති අතර ආර්ථික ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි බවට ද, රණවක මහතා අනතුරු අඟවයි. රජය පවසන පරිදි සේවා අපනයනය සඳහා කිසිදු බද්දක් නොතිබුණද, නව බදු පද්ධතිය යටතේ සේවා අපනයනය කරන වෘත්තිකයන්ට 15% ක බද්දක් අය කිරීමට යෝජනා වී ඇත.
ඩිජිටල් සේවා සඳහා වැට් බද්දක් පැනවීමට ද යෝජනා වී ඇති අතර මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විශාල අභියෝගයක් වනු ඇත. දැනටමත් දැන්වීම්කරණය හරහා ආදායම් උපයන පුද්ගලයින් 22%ක් පමණ බදු ගෙවයි. මෙම නව බද්ද ඊට අමතරව පැනවීම බරක් බවත් රණවක මහතා ප්‍රකාශ කරයි. මෙම නව බද්ද හේතුවෙන් අවසානයේදී බර පැටවෙන්නේ පාරිභෝගිකයා මත බවත්, එමගින් ජීවන වියදම ඉහළ යන බවත් පෙන්වා දෙන එක්සත් ජනරජ පෙරමුණේ නායකයා; මෙම බද්ද රජය ඉංජිනේරුවන් හා තාක්ෂණවේදීන්ට දී ඇති පොරොන්දු බිඳ දැමීමක් බව ද පෙන්වා දෙයි. මෙම බද්ද හේතුවෙන් ආයෝජකයින් ධෛර්යය වීමට ඉඩක් නැත. මෙම නව බද්ද හේතුවෙන් ද්විත්ව බදුකරණයක් සිදුවීමේ අවදානමක් පවතින අතර, රජය මෙම බද්ද කෙසේ අය කරන බවට පැහැදිලි ප්‍රකාශයක් නොදී සිටීම ගැටළුවකි. මෙම බද්ද සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කිරීමේ වගකීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ජනාධිපතිවරයා සහ අගමැතිවරිය සතු බව ද හෙතෙම පෙන්වා දෙයි.
“ඩිජිටල් සේවා බද්දට වැට් බද්ද ගේන්න තීරණය කරලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් අනෙක් රටවලත් ක්‍රියාත්මකයි. ඉන්දියාවේ එහෙමයි කියලා. ප්‍රශ්නෙ තියෙන්නේ මේ බද්ද ගැන අපිත් සාකච්ඡා කළා පාර්ලිමේන්තුවේදී. මේ ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වහාම ප්‍රකාශයක් කළ යුතුයි. මොකද ඔවුන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා මෙවැනි බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් ඔවුන්ට නැති බව. උදාහරණයක් හැටියට මේක කතා කරපු දෙයක් තමයි පික් මී සහ ඌබර්. ඌබර් එකට බදු නෑ, පික්මී එකට වැට් බදු තියෙනවා. එතකොට ඌබර් එකෙන් බදු අය කරගන්නේ කොහොමද කියලා කිව්වම, ඌබර් එකෙන් බදු අය කරගන්න අපිට බෑ කිව්වා. ඒ මොකද, ඒක ඩිජිටල් සේවාවක් හැටියට කෙලින්ම නෙදර්ලන්තයේ බැංකුවක් එක්ක කරන ගනුදෙනුවක් කියලා. ඒ නිසා දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ජනාධිපතිවරයා විසින් පැහැදිලි කරන්න ඕනේ”
මීට අමතරව, මුද්දර බද්ද, කැසිනෝ සූදු, දුම්කොළ සහ සුරා බදු වැඩි කිරීමෙන් සහ වාහන ආනයනයට ඉඩ දීමෙන් ද රජය ආදායම් ඉලක්කය සපුරා ගැනීමට බලාපොරොත්තු වන බව රණවක මහතා ප්‍රකාශ කළේ ය.
“මේ ජනාධිපතිට, මේ අගමැතිතුමියට ඒක පැහැදිලි කර ගැනීමේ හැකියාවක් නැති බව අපි දන්නවා. ඒ නිසා, මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිස් මේවට කටයුතු කළ යුතුයි.”
වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුව තෙල් බදු අඩු කරන බවට පොරොන්දු වුවද, තෙල් මිල ඉහළ යාමට බදු ප්‍රධාන හේතුවක් බවය. විශේෂයෙන්ම පෙට්‍රල් සහ ඩීසල් මත ඉතා ඉහළ බදු අය කරන බවත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු සමාගම් ලාභ ලබන බවත් ඔහු චෝදනා කරයි.
“තෙල් මිල ගැන ජනාධිපතිවරයා, අගමැතිතුමිය, විදේශ ඇමති තුමා ඇතුළු මේ සියලුම දෙනා තෙල් වලට බදු ගහනවද, බදු වලට තෙල් ගහනවද කිය කිය, මේ රටේ ජනතාවට විශාල පොරොන්දු ප්‍රමාණයක් දුන්නා. ඒ තෙල් බදු ඉවත් කරන බව කිව්වා. නමුත් එක තඹයකින් තෙල් බදු ඉවත් කරලා නෑ. රු. 118 ට ගේන පෙට්රල්වලට රු. 109 ක බද්දක් තියෙනවා. ඊට අමතරව තව වියදම් ගණනාවක් තියෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු තෙල් බෙදාහැරීමේ ආයතනවල 14% ක ලාභයක් එක්කත් බෙදුම්කරුවන්ට 3% ක අතිරේක වට්ටමක් එක්කත් මේක යනවා. මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම අතරමං වෙලා තියෙන මේ ඩීසල් මිලත් එක්ක. පොදු ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය ගොඩකට බලපාලා තියෙන්නේ ඩීසල්. ඒකේ රු. 136 ට නොවැම්බර් මාසේ ඩීසල් රු. 86 ක බද්දක් තියෙනවා. 14% ක ලාභාංශ තියෙනවා. ඒ නිසා තවත් ළඳ බොළඳ කතා කියන්න එපා. ගිවිසුම් ගහලා තියෙනවා සමාගම් එක්ක අපිට අඩු කරන්න බැහැ කියලා. අපි අභියෝග කරනවා ඒ ගිවිසුම මොකක්ද? ඒ කොහොමද ඒක වෙලා තියෙන්නේ කියලා පෙන්නන්න කියලා. ඇත්ත කතාව නම් මේ බදුත් ලාභාංශයන් නිසා තමයි මිල අඩු කරගන්න බැරි. රට අනුරට කියලා බෝඩ් ගහ ගත්ත අපගේ ත්ර්වීලි සහෝදරවරුන්ට අපි කියන්න ඕනේ. 109 ක් ඔබෙන් බදු ගන්නවා ලීටරයකට. ඒ වගේම බස් රථ, ට්‍රක් රථ, ට්‍රැක්ටර් මේ සියල්ලෙම ඩීසල් ලීටරයකට රු. 86 ක බද්දක් ගන්නවා. ඒ නිසා මේ තෙල් බද්ද මේ ආණ්ඩුවේ බද්දක් ඒක මතක තබා ගත යුතුයි. ඒ වගේම මේ ගැන ඒගොල්ලන්ගේ වෙබ් අඩවියේම තියෙනවා. ඒ වෙබ් අඩවියට මේගොල්ලෝ දාපු එකක් නෙමෙයි. ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම නිසා ගිය වසරේ ඉඳන් වෙබ් අඩවියේ මේක පවත්වාගෙන යනවා.”
විදුලි බිල අඩු කරන බවට දී තිබූ පොරොන්දුව ලබා නොදීම සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබා ගන්නා ලාභ ගැන ද පාඨලී චම්පික රණවක ප්‍රශ්න කරයි. එමෙන්ම ජනතාව වෙනුවෙන් ගෙවන බදු මුදල් පොදු උපයෝගිතා සේවා සඳහා යොදවන්නේ නැති බවට ද හෙතෙම චෝදනා කරයි.
“ඊළඟට ලොකුවට කතා කරපු එකක් තමයි විදුලි බිල අඩු කිරීම ගැන. අපිට මතකයි වසන්ත සමරසිංහ මහත්තයා, නලින්ද ජයතිස්ස මහත්තයා අපිත් එක්කම මහජන උපයෝගිතා කොමිසමට ගිහිල්ලා කිව්වා 30%කින් විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා. විදුලි බිල අඩු කරලා නෑ. ඒ වෙනුවට ලබන අවුරුද්දේ ව්‍යාජ පාඩුවක් පෙන්නලා තියෙනවා ලංකා විදුලිබල මණ්ඩලය. අපිට මේක කියන්න වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ‘අනුර හරිනි ආණ්ඩුවේ ලයිට් බද්ද’ කියලා. 2023, 2024 ලාභය ඒවා ක්ෂය වීම් ආදිය සියල්ල එකතු කළාට පස්සේ 2023 බිලියන 66කුත්, 2024 බිලියන එකසිය හැත්තෑ හතකත් ලාභ මුදල්, ක්ෂයවීම් එක්ක මුදල් ලංකා විදුලිබල මණ්ඩලයට එකතු වෙලා තියෙනවා. ඒ අතරේ බිලියන 300 කට අධික විදුලිබල මණ්ඩලය නොගෙවපු බිල් ආදිය මේ රටේ බදු ගෙවන ජනතාව, භාණ්ඩාගාරය හරහා උකහාගෙන තියෙනවා.”
ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව විසින් ජනතාවට ලබා දෙන තොරතුරුවල විශ්වාසදායක බව පිළිබඳ සැකයක් මතුවන බව පෙන්වා දෙන රණවක මහතා විශේෂයෙන්ම, තෙල්, විදුලිබල සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පිළිබඳව ආණ්ඩුව ඉදිරිපත් කරන දත්තවල විශ්වාසදායක බව පිළිබඳව බරපතළ සැකයක් මතු කරයි. විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලාභ හා පාඩු පිළිබඳ දත්ත වල විශ්වාසදායක බව ප්‍රශ්න කරන ඔහු පවසන්නේ තමන්ගේ පාලන කාලය තුළ විදුලි බිල අඩු කරමින් ලාභ ලබා ගත් බවත්, වත්මන් ආණ්ඩුව බොරු ඉලක්කම් ඉදිරිපත් කරමින් ජනතාව රැවටීමට උත්සාහ කරන බවත්ය. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සහ ඒවා මත අය කරන බදු පිළිබඳව විශාල විෂමතාවයක් පවතින බවයි. ඔහු පවසන්නේ ආණ්ඩුව මේ පිළිබඳව අවංකව ජනතාවට තොරතුරු ලබා නොදෙන බවයි. ආණ්ඩුවේ තීරණ ජාත්‍යන්තර බලවේගවල බලපෑමට ලක්ව ඇති බවට ද, රණවක මහතා චෝදනා කරයි.
මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනරජ පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක;
ප්රශ්නය:
අපි දැක්කා රාජ්‍ය සේවයටත් සුනාමියක් ආ යුතුයි කියලා කියනවා. එච්චර ලොකු දෙයක් කරන්න අවශ්‍යයිද?
පිළිතුර:
මම දැක්කා අපේ ලාල්කාන්ත ඇමතිතුමා කියලා තිබුණා, සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමා කියලා තිබුණා, රාජ්‍ය සේවයේ නිලධාරීන් වැඩ කරන්න දෙන්නේ නැහැ වගේ කතාවක්. හැබැයි ලාල්කාන්ත මහත්මයාගේ කතාව ටිකක් බරපතලයි. එතුමා රාජ්‍ය සේවයට සුනාමියක් ගේනවා අපි කියලා. රාජ්‍ය සේවයට කියලා කිව්වේ. රාජ්‍ය සේවයේ දූෂිතයෝ ඉන්නවා, අකාර්යක්ෂම කට්ටිය ඉන්නවා. කම්මැලියෝ ඉන්නවා. ඒ ගැන නෙමෙයි මේ කිව්වේ. සමස්ත රාජ්‍ය සේවය ගැන මේ කිව්වේ. මේකේ තියෙන්න පුළුවන් පැති කීපයක්. එකක්. මේ අයට තමන්ගේ අමාත්‍යාංශ කටයුතු කරගෙන යාමේදී මේගොල්ලෝ ජීවත් වුණේ අර පූර්ණකාලික ජවිපෙ කාඩරයක් හැටියට. දැන් ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්න වෙලා තියෙනවා රාජ්‍ය යන්ත්‍රය ඇතුලේ. කලින් පොඩි මාලු ටැංකියක හිටියේ. දැන් විශාල විලකට වැටිලා තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම අපහසුතා එනවා. අර මාළු ටැංකියේ තිබිච්ච නීති රීති නෙවෙයි දැන් තියෙන්නේ. රාජ්‍ය සේවය තියෙන්නේ පරිපාලන රෙගුලාසි, මූල්‍ය රෙගුලාසි. ඒවා පක්ෂ විනයට අයත් නැහැ. ඉතින් ඒවාට අනුව කටයුතු කරන්න නොහැකි වීම නිසා තමන්ට දැන් යම් යම් දේවල් පෙන්න ගන්න බැහැ. කරගන්න බැහැ. එතකොට පහසුම දේ තමයි ඕක හැම ආණ්ඩුවක්ම කියපු එක නිලධාරීන්ට දොස් කියන එක. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ සංස්කෘතිය කවුද මේ රටට ගෙනාවේ? මේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මේ පහුගිය අවුරුදු හැටේ මේ රටේ රාජ්‍ය සේවයට වැඩ වර්ජන කර කර පරිපාලනය අභියෝග කරන මේ සම්ප්රදාය ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණමයි. දැන් මට මතකයි අපි තෙල් සංස්ථාවට ගිය වෙලාවේ තෙල් සංස්ථාවේ මේ පිරිපහදුව නවීකරණය කිරීම සඳහා ඒ සඳහා මෝටිවේෂනල් කණ්ඩායමක් ගෙනල්ලා ඒ තෙල් පිරිපහදුවේ නිලධාරීන් ප්‍රබෝධමත් කරන්න ආවහම ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයා කළේ කැරම් ගගහා හිටපු එක. ලංකා විදුලිබල මණ්ඩලයේ ගිලගෙන තිබිච්ච ඩීසල් මාෆියාවට අයිති බලාගාර පහ වැහුවහම මොකද කළේ? අපට යන්න නොදී හිටගත්තා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය ගිහිල්ලා පඩිපෙලේ. ඒ විදියට තමයි ඇමතිවරුන්ට වැඩ කරන්න මේ බාධා කරන්න පුරුදු කළේ. මම කියන්නේ නැහැ විස්තර. අපි නම් පොලිසි ගිහිල්ලා නැහැ. ඕවා බලපෑම් කලයි කියලා. සී අයි ඩී යට ගිහිල්ලා පැමිණිලි කරලත් නැහැ. මේ රටේ සංස්කෘතියක් ඇති කළා විශ්වවිද්‍යාලවල ඉදන්ම වැඩ නොකර ඉන්න, වැඩ වර්ජනය කරන්න. ඒකේ ප්‍රධානියා අපේ ලාල්කාන්ත මහත්තයා. එයා ප්‍රධානියෙක් වැඩ නොකර ඉන්න. රට යුද්ධෙක තියෙන වෙලාවෙත් 2007 සමස්ත මහා වැඩ වර්ජනයක් කැඳෙව්වා. යුද්ධයක රට නියැලිලා ඉන්න එක එල්. ටී. ටී. ඊ. ය පරාජය කරන එක. ඒ නිසා ඒ තමන් හදපු සංස්කෘතිය තමයි අද එතුමන්ලා මුහුණ දෙන්නේ. ඊට වඩා භයානක යටි පෙළක් තියෙනවා. මොකක්ද? අපි අනතුරු අඟවපු දෙයක්. මේ හදන්නේ මේ රාජ්‍ය ආයතනවල තමන්ට හිතවත් අය පමණක් තියාගෙන රාජ්‍ය ආයතන දේශපාලනකරණය කරන්නද? මොකද අපිට වාර්තා වෙලා තියෙනවා මේ කොමසාරිස්වරු, මාරු කරන්න පූල් එකට යවන්න තමන්ගේ අණ අහන්නේ නැති අයව ගෙදර යවන්න එහෙම පෙළඹවීමක් තියෙනවා කියලා. එතකොට මේ හදන්නේ ඒකටද? රාජ්‍යය අල්ලාගන්නද? බොහොම පැහැදිලිව අපි කියනවා අනුර දිසානායක මැතිතුමාටත් හරිනි අමරසූරිය මැතිනියටත් ජනවරම දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවත්, ඒ වගේම අපගේ පරිපාලන රෙගුලාසි හා මූලය රෙගුලාසි අනුව රාජ්‍ය කරවන්න මිසක් බෝල්ෂෙවික් පක්ෂයකට රාජ්‍යය අත්පත් කරගන්න වරමක් දීලා නැහැ. ඒක මතක තියාගත යුතුයි. බෝල්ෂෙවික් පක්ෂයක් තියෙන්න පුළුවන් පැලවත්තේ. ඒක රටේ ජනාධිපති කාර්යාලයට, අග්‍රාමාත්‍ය කාර්යාලයට සහ රටේ අනෙකුත් කාර්යාලවලට ගෙන ඒමේ උත්සාහයක් තියෙන බව අපිට පේනවා. රාජ්‍ය සේවයේ අය 80% ක් විතර මෙතුමන්ලාට ඡන්දේ දුන්නේ. ඒ ඡන්දේ දීම ඇතුලේ ගොඩක් විශ්වාසයක් තිබුණා. ස්වාධීනව වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. වෘත්තීයවේදීන් මේ ආයතනවල ඡන්දය දුන්නේ, වෘත්තීයවේදීන්ට යම් ස්වාධීනත්වයක් තියෙනවා කියලා හිතාගෙන. හැබැයි දැන් අපිට පේනවා නම් ඒක වෙනස් මගක යනවා කියලා, ඒක භයානක තත්වයක්. කරුණාකරලා ඒක වළක්වා ගැනීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතුයි. ඔය ලාල්කාන්ත මහත්තයා ඉඳහිට කරන ඔය ප්‍රකාශ ව්‍යාජ කතා හෝ එයා මෙයට කට වැරදීමෙන් සිද්ධ වෙච්ච ඒවා නෙමෙයි. ඒවා බොහොම සංවිධානාත්මකව එතුමන්ලාගේ අනාගත සැලසුම තමයි මේ එළියට දාන්නේ. මහජනයා දූෂිත දේශපාලනය අයින් කරලා තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු තෝරගෙන තියෙනවා නම්, ඒක කරගෙන යන්න හැබැයි රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව මගහරින්න, ඒක කරන්න ඔබට අයිතිය තියෙනවා. හැබැයි මේ පරිපාලන රෙගුලාසි, මූල්‍ය රෙගුලාසි වෙනුවට, බෝල්ෂෙවික් රෙගුලාසි ගෙනල්ලා රාජ්‍ය සේවය බෝල්ශවික්කරණය කරන්න, ජවිපකරණය කරන්න ඉඩක් ඔබට වරමක් දීලා නැහැ. ඒකට මේ රටේ ඉඩකඩ ලැබෙන්නෙත් නැති බව කියන්න ඕන.
ප්රශ්නය:
අමාත්‍යවරුන්ම කියනවා දැන් මාස තුනෙන් රට ස්ථාවර කළා කියලා. මොකෙන්ද දැනට ස්ථාවර කරලා තියෙන්නේ?
පිළිතුර:
දැන් මං දැක්කා නලින්ද ජයතිස්ස මහත්තයට තාම බෙහෙත් ටික ගෙන්න ගන්න බැරි වෙලා තියෙනවා. හාල් මිල, පොල් මිල පාලනය කරගන්න බැරිවෙලා තියෙනවා. අත්‍යවශ්‍ය සේවා පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. තෙල් තෙල් බද්ද අයින් කරගන්න බැරි වෙලා තියෙනවා. ලයිට් බද්ද අඩු කරගන්න බැරි වෙලා තියෙනවා. මේ රට ස්ථාවරකරණය කළේ මේ කවුරුවත් නෙවෙයි. අර අයි එම් එෆ් එකේ ප්‍රධානියා, ක්‍රිස්ටියානා ජෝජියාවා. අන්න එතුමිය තමයි මේක කළේ. එහෙම නැතුව මේ අනුර - හරිනි ආණ්ඩුව නෙමෙයි කළේ. ස්ථාවර කළේ. ප්‍රශ්නෙ තියෙන්නේ ඒක විවේචනය කරලා ආපු අය ඒක දිගටම කරගෙන යාම. ඒ වගේම දේශපාලන වශයෙන් ලංකාවේ අපි බොහොම පැහැදිලිව කියන්න ඕන. අද අකුරක්, ඇලපිල්ලක්, ඉස්පිල්ලක් නැතුව රනිල් වික්‍රමසිංහ මහතා කරගෙන ගිය ටිකමයි කරන්නේ. මහ බැංකු අධිපති වීරසිංහ මහත්මයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් සිරිවර්ධන මහත්තයා, ඒගොල්ලෝ තමයි මේක කරගෙන යන්නේ. ඒ හින්දා රට ස්ථාවර කිරීමේ ගෞරවයක් යනවා නම් ඒක යන්නේ අර ක්‍රිස්ටියානා ඇතුළු අයි. එම්. එෆ්. කණ්ඩායමට හා ලංකාව ඇතුලේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට, නන්දලාල් වීරසිංහට හා මහින්ද සිරිවර්ධනට මිසක් මේ අනුර දිසානායක, හරිනි අමරසූරියට නෙවෙයි.
ප්රශ්නය:
විපක්ෂයේ සමහරෙක් කියන්නෙ අවුරුදු දෙකක් දෙකහමාරක් ඇතුළතදී මේක දාලා යන්න විදිහට වැඩ සලස්වනවා කියන කතාව. එහෙම එකක් වෙයිද සාමාන්‍යයෙන්?
පිළිතුර:
නැහැ. මේ ආණ්ඩුවට ජනවරමක් තියෙනවානේ. මේ ආණ්ඩුව ඒ ජනවරම අනුව කටයුතු කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ හතරයි ඡන්ද තිබුණේ. ලක්ෂ හැට හතරක් පිටින් ඡන්ද දුන්නා. ඒ අය ඒ බව අවබෝධ කරගෙන කටයුතු කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ න්‍යාය පත්‍රය පැලවත්තේ න්‍යාය පත්‍රයට අනුව රට කරවන්නෙ නැතුව ගියොත් ඔවුන්ට රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් එහෙම කරයි කියලා. එහෙම නැතුව අපි හිතන්නෑ, අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ තව මාස හයකින් හරි, අවුරුද්දකින් හරි, අවුරුද්දකින් හරි රට වැටිලා, විපක්ෂයටයි කියලා. විපක්ෂයට තව කල් තියෙනවානේ. අවුරුදු පහකින් ඡන්දයක් තිබ්බහම ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැන විමසලා බලලා ඒ කටයුත්ත කරයි. අපි මේ කියන්නේ ධනාත්මක විවේචන තවත් ඡන්දෙට කලින් කියපු කතා වගේ මේ කටට එන එන ඒවා කියන්න යන්න එපා. වගකීමෙන් කටයුතු කරන්න.
ප්රශ්නය:
පහුගිය දවස්වල විභාග සම්බන්ධයෙන් යම් යම් ගැටළු ඇති වුණා. විශේෂයෙන් අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධයෙන් වැඩි ඉඩක් දෙනවා කියලා තමයි කිව්වේ. මේ යන ක්‍රමය විදිහට මේක පේනවද ඔබතුමන්ලාට?
පිළිතුර:
දැන් අධ්‍යාපනය ගැන ඉන්නේ අගමැතිතුමියනේ. එතුමියට සහ ආණ්ඩුකාරවරුන්ට ගැසට් එකක් ගහලා විසිහතර පැයක් තියාගන්න බැරිනම් පාසල් ගුරුවරුන්ගේ ඉතින් තව මොන කතාද? අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන හා රටේ අගමැතිතුමියට අධ්‍යාපන ඇමති හැටියට සහ අධ්‍යාපන සේවයේ හිටපු විශ්වවිද්‍යාල මහාචාර්යවරියක් හැටියට අත්දැකීම් බහුල කෙනෙක් හැටියට එතුමියටවත් මේ ගැසට් එක පවත්වගන්න බැරිනම් ගුරුවරුන්ගේ වෘත්තීය සමිති නම්, ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ නම් ඒක තීරණය කරන්නේ ඉතින් කොහොමද අධ්‍යාපනය ඉදිරියට ගෙනියන්නේ. අපට එහෙම දෙයක් පේන්න නෑ.
ප්රශ්නය:
දැන් ඔබ කියපු ආකාරයට මෙච්චර ගැටළු, ප්‍රශ්න තියෙනවා නම්, දැන් අපි දැක්කා පහුගිය කාලේ නම්, මේ වගේ තත්වයන් ඇති වෙනකොට මේ. මේවට විරුද්ධ වෙන්න, මේ ගැන කතා කරන්න කට්ටිය හිටියා. වෘත්තීය සමිති හිටියා. දැන් වෘත්තීය සමිති නැද්ද? දැන් අපිට පේන්නේ, ඒ කියන්නේ ඒ ප්‍රශ්නෙ ඉවර වෙලාද? ගොවි ගැටලු ඉවර වෙලා ද? ගොවියෝ නැහැ, වෘත්තීය සමිති නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැහැනේ වගේනේ පේන්නේ?
පිළිතුර:
ඇත්තටම ගොවියෝ දිගින් දිගටම සංවිධානය කරපු අය, වෘත්තීය සමිති දිගින් දිගටම සංවිධානය කරපු අය, ගෙවල් ඉස්සරහ ගිහිල්ලා උද්ඝෝෂණය කරපු අයට දැන් රාජ්‍ය බලය ලැබිලා තියෙනවා. ඉතින් ඒ රාජ්‍ය බලය ඒගොල්ලෝ පවත්වගෙන යයි. ජනතාව බලයි. ඊළඟ අයවැය දිහා, ඊළඟ කාරණා දිහා ඇත්තටම ඇත්ත වශයෙන්ම අසාධාරණයිනේ. දින සීයක් ඇතුළත ඔක්කොම දේවල් කරන්නෙයි කියන එක. ඉතින් එතුමන්ලාට කල් දෙන්න මං හිතන්නේ මිනිස්සු තීරණය කරලා තියෙනවා. ඉතින් එහෙම එතුමන්ලාගේ වගකීමක් තමයි ඒක කරන එක. හැබැයි ඉතින් අර ගොවියෝ උසි ගන්නපු අය, වෘත්තීය සමිති උසිගන්වපු අය දැන් රාජ්‍ය බලයේ ඉන්නවා. එච්චරයි.
මෙම මාධ්‍ය හමුවට එක්වූ එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර;
“ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වෙලා එතුමා විසින් දැනට ක්‍රියාත්මක යම් යම් බදු ක්‍රමවල සංශෝධනයක් ඒ පාර්ලිමේන්තු සැසිවාරයේ දී ප්‍රකාශයට පත් කළා. විශේෂයෙන් වෘත්තීයවේදීන් සම්බන්ධයෙන් අනුගමනය කරපු උපයන විට බද්ධ යම් සංශෝධනයකට ලක්වෙලා යම් සහනයක් ලබාදෙන බවට ප්‍රකාශ කළා. වැට් බදු සම්බන්ධයෙන් එතුමා ප්‍රකාශයක් සිදුකළා. ඒ වගේම නව බදු කිහිපයක් සම්බන්ධයෙනුත්. විශේෂයෙන් බැංකු ගිණුම් ඉතිරි කිරීමේ ගිණුම් අ සම්බන්ධයෙන් තිබුණු රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමටත් ඒ වගේම තවත් බදු යෝජනා රැසක් එතුමා විසින් ප්‍රකාශයට පත් කළා. ඇත්ත වශයෙන්ම ලංකාවේ මේ ආර්ථික අර්බුදයත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පැමිණි එකඟතාවයන් තවදුරටත් ඉදිරියට ගෙන යමින් එම ගිවිසුම් අනුව එම එකඟතාවයන් අනුව පනවන ලද ඒ බදු පිළිබඳව තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා කතා කළේ. නව ආණ්ඩුව එම වැඩපිළිවෙලම ඉදිරියට ගෙන යමින් සිටින අතර ජනතාවට බලපාන තවත් බදු කිහිපයක් හඳුන්වා තිබෙනවා.”
@මාධ්‍ය ඒකකය