සීනි ප්‍රධාන අපනයන භෝගය වන කියුබාවේ ජනාධිපති ධුරය සඳහා
1925 වසරේදී “ජෙරාඩෝ මචාඩෝට් තේරී පත්වන අතර 1933 වසරේදී කියුබානු හමුදාවේ නිලධාරියෙකු වන “ෆුල්ජෙන්සියෝ බැසිස්ටා” හමුදා කුමන්ත්රණයකින් බලය අල්ලා ගනු ලබයි.
බැසිස්ටා ඇමෙරිකානු ආශීර්වාදය සහිතව කියුබාව තුළ ඒකාධිපති පාලනයක් ගෙන යන අතර තරුණ නීතිඥයෙකු වූ “පිදෙල් කැස්ත්‍රෝ” කියුබාවේ පාලන බලය ලබා ගැනීමේ අරමුණින් දේශපාලන ව්‍යාපාරයක නියැළෙමින් සිටියේය.
සන්නද්ධ ප්‍රහාරයක් මගින් බලය අල්ලා ගැනීමේ අරමුණින් “පිදෙල් කැස්ත්‍රෝ” සහ ඔහුගේ බාල සොහොයුරු “රාවුල් කැස්ත්‍රෝ” ඇතුළු පිරිසක් විසින් 1953 ජූලි 26 වන දින කියුබාවේ “සන්තියාගෝ”හි පිහිටි “මොන්කාඩෝ” හමුදා කඳවුරු සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල කරන ලද නමුත් එය පරාජයට පත්කිරීමට බැසිස්ටාගේ හමුදාවන්ට හැකියාව ලැබුනි. පිදෙල් සහ රාවුල් පැන යෑමට සමත් වූ නමුත් පසුව අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදි. සිරගත කිරීම හේතුවෙන් විප්ලවවාදී නායකයෙකු ලෙස පිදෙල් කස්ත්‍රෝ ගේ කීර්තිනාමය වේගයෙන් වර්ධනය වූ අතර එය ජන පදනමක් සහිත නායකයෙකු ලෙස පිදෙල් කස්ත්‍රෝගේ නැගී ඒමට ප්‍රබල ලෙස හේතු කාරක විය. 1955 දී ලැබුන පොදු සමාවක් මත නිදහස ලැබූ පිදෙල් සහ රාවුල් ඇතුළු පිරිස මෙක්සිකෝවට සංක්‍රමණය වී මොන්කාඩෝ ප්‍රහාරය එල්ල කළ දිනය වූ ජූලි 26 දිනය පදනම්කර ගනිමින් “ජූලි 26 ව්‍යාපාරය” නම් සංවිධානයක් ගොඩනැගීමට රහසිගතව කටයුතු කරමින් සිටින ලදි.
1956 නොවැම්බර් මාසයේදී ජූලි 26 ව්‍යාපාරය නියෝජනය කරමින් සන්නද්ධ සටන්කරුවන් 82 ක් සහිත “ග්‍රැන්මා” නෞකාව කියුබාව බලා යාත්‍රා කරන නමුත් පිදෙල් කස්ත්‍රෝ ඇතුළු සටන්කාමීන්ගේ ආගමනය පිළිබඳව පැසිස්ටාගේ හමුදාවන්ට කල්තියා තොරතුරු ලැබී තිබුණි. 1956 දෙසැම්බර් 02 වන දින නැගෙනහිර කියුබාවේ වෙරළ තීරයට ගොඩ බසින පිදෙල් ඇතුළු කණ්ඩායම බැසිස්ටාගේ හමුදාවන්ට එරෙහිව සැඟවී සිට පහර දෙමින් ගරිල්ලා සටනක නිරත වුවද මෙම සටන් වලින් කණ්ඩායමේ සාමාජිකයන් වැඩි පිරිසක් මිය යන ලදි. පිදෙල් රාවුල් සහ විප්ලවවාදීන්ගේ සදාතනික වීරයා වන “අර්නස්ටෝ චේ ගුවේරා” ඇතුළු 20 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් දිවි බේරාගෙන කඳුකරයට පලා යෑමට සමත් වේ.
කියුබාවේ “සියෙරා මස්ට්රා” කඳුකරයේ රැඳී සිටිමින් නැවත පිරිස් සංවිධානය කර ගැනීමට පිදෙල් ඇතුළු පිරිස කටයුතු කරන අතර ගොවි ජනතාව සහ කම්කරුවන් විශාල ලෙස ආකර්ෂණය කර ගැනීමට ඔවුන් සමත් වේ. බැසිස්ටාගේ ආඥාදායක පීඩාකාරී පාලනය හමුවේ පීඩාවට පත්ව සිටි ජනයා ඒකරාශී කර ගනිමින් කෙටි කලෙකින් සැලකිය යුතු පිරිස් බලයක් වර්ධනය කර ගැනීමට පිදෙල් ඇතුළු පිරිස සමත් වේ. 1958 ගිම්හානයේඳි කැරලිකරුවන් තීරණාත්මක ලෙස පරාජයට පත්කිරීම සඳහා බැසිස්ටාගේ හමුදාවන් සියෙරා මස්ට්රා කඳුකරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන ලද නමුත් එය ප්‍රබල ප්‍රති ප්‍රහාරයක් මගින් ආපසු හැරවීමට කැරලිකරුවන් සමත් වීම සටනේ තීරණාත්මක හැරවුම් ලකුණක් විය.
1958 දෙසැම්බර් මස කැරලිකරුවන් චේ ගුවේරගේ නායකත්වයෙන් යුතුව දියත් කළ “සැන්ටා ක්ලාරා” ප්‍රහාරය කියුබානු විප්ලවයේ තීරණාත්මක ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූ අතර කැරලිකරුවන් බැසිස්ටාගේ හමුදා සංකීර්ණයක් පරාජය කරමින් ආයුධ සහ පතොරම් විශාල ප්‍රමාණයක් සහිත දුම්රියක් සිය භාරයට ගැනීමටද සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ඔද වැඩුනු කැරලිකාර හමුදාවන් 1959 ජනවාරි 01 වන දින කියුබාවේ අගනුවර වන හවානා වෙත ඇතුළු වන විට සටනකින් තොරවම පරාජය භාරගත් ආඥාදායක බැසිස්ටා අසල්වැසි “ඩොමිනිකන් ජනරජය”ට පලා යාමට කටයුතු කරන ලදි. 1959 ජනවාරි 09 වන ඳින හවානා වෙත පැමිණි පිදෙල් කැස්ත්‍රෝ විප්ලවයේ විජයග්‍රහණය ප්‍රකාශයට පත් කරමින් පාලනය භාර ගන්නා ලදි.
ඉහතින් දක්වන ලද පුළුල් ජන අරගල තුළින් සමස්ත මානව සංහතියට දිනා දුන් ජයග්‍රහණ අසීමිතය. එයට අමතරව මෙම අරගල තුළ පෘථුල දේශපාලනික, සමාජ සහ ජීවිත පාඩම් රාශියක් අන්තර්ගත බව සැලකිල්ලෙන් අධ්‍යයනය කරන විට පෙනී යයි. වාස්තවික සහ මනෝමූල තත්ත්වයන් නිවැරදි අර්ථයෙන් අවබෝධ කර ගැනීම, නිසි අවස්ථාව එලඹෙන තෙක් කල් මැරීම, නිසි අවස්ථාව ග්‍රහණය කර ගැනීම මෙන්ම අවස්ථා නිර්මාණය කර ගැනීමත්, ජයග්රහණයෙන් මෙන්ම පරාජයෙන්ද නිසි පාඩම් ඉගෙන ගැනීමත් ආදී පාඩම් මේවායේ අන්තර්ගතය. මෙම එකදු අරගලයක්වත් අනෙකට වඩා වැදගත් හෝ විශිෂ්ට වන්නේ යයි සැලකිය හැකි නොවේ. මන්ද සිදුවීම් කාලයට සාපේක්ෂ බැවිනි. සියල්ල ඒ ඒ අවස්ථාවන්ට සාපේක්ෂව විශිෂ්ට සහ අසමසම වෑයම් ලෙස සැලකීම වඩා තාර්කික බව සිහිතබා ගත යුතුය. ගෝල්ෆේස් අරගලය දෙස අවධානය යොමු කළ යුත්තේද එම අර්ථයෙනි. කියුබානු මොඩලයේ සන්නද්ධ අරගලයන් ප්‍රායෝගික යථාර්ථයන් නොවන වර්තමාන ලෝකයට අත්‍යවශ්‍ය සහ කාලානුරූප “අරගල මොඩලයක්” ගෝල්ෆේස් අරගලය තුළ නිර්මාණය කර තිබෙන බව පිළිගැනීම වඩා සාධාරණ සහ තාර්කික බව අවසන් වශයෙන් සටහන් කර තැබිය යුතුය.
උපුටා පළකරන ලදී.