ඉතා බරපතල කාරණා දෙකක් හෙළිදරව් වීමත් සමග ඒ පිළිබඳව
ආණ්ඩුවේ දැඩි අවධානය යොමු විය යුතුයැයි මාධ්‍යවේදී පෝද්දල ජයන්ත තම මුහුණු පොතේ සටහනක් පළකරමින් කියා ඇත.
ඒ සුදත්ත තිලකසිරිගේ යූ ටියුබ් නාලිකාවත් මගින් සිදුකළ සාකච්ඡාවකදී හෙළිවූ අපරාධයක් සම්බන්ධ කරුණු ඉදිරිපත් කරමිනි.
ඔහු පවසන්නේ බරපතල කාරණා දෙක හෙළිදරව්වේදී එහි දෙවැනි කාරණයට අදාළ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක ඩී.ඩී.එල්. රණවීර ගැන කර ඇති තොරතුරු සත්‍ය නම්, ඔහු තවදුරටත් එම අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් දරන්නේ නම්, ඒ පිළිබඳව ජනතාවගේ අවධානය යොමු විය යුතු බවය.
ඊට අදාල ලිපිය පහත පළවේ.
යූ ටියුබ මාධ්‍යවේදී සුදත්ත තිලකසිරි ගේ SUDA CREATION වෙතින් රාජපක්ෂවරුන්ගේ පාලන සමයේදී මෙරට සිදුවූ ආන්දෝලනාත්මක අපරාධයක් පිළිබඳව හෙළිදරව් කිරීමක් කර තිබේ.
මේ හෙළිදරව් කිරීම කර ඇත්තේ මාධ්‍යවේදී සුදත්ත තිලකසිරි හා සම්බන්ධ වූ දැනට විදේශගතව සිටින හිටපු නාවුක හමුදා කාර්මික නාවුක සෙබළෙකි.ඔහු නමින් ප්‍රිය ශාන්තය.
ප්‍රිය ශාන්ත නම් වූ මේ හිටපු නාවුක සෙබළා එම වැඩසටහනේදී පවසා ඇත්තේ මාධ්‍යවේදී ප්‍රගීත් පැහැර ගෙන මඩකලපුවේදී මරා බපලෝ දූපතේ වලලා දැමූ බවය. තමන් එම ඝාතන කණ්ඩායමට සම්බන්ධ වූයේ අහම්බෙන් බවද ඔහු පවසයි. ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කිරීමට ගෙන යන අවස්ථාවේ ඔහුගේ අනන්‍යතාව තමන් නොදැන සිටි බවත් පසුව ඒ බව දැන ගත් බව පවසන ප්‍රිය ශාන්ත ඔහු ඝාතනය කරන ලද්දේ සෙකට්‍රිගේ ඕඩරයකට බව එම ඝාතකයෙක් තමන්ට එදින පැවසූ බවත් කියා සිටී. ප්‍රගීත් ඝාතනය කිරීම සදහා හිසට වෙඩි තුනක් තබා තිබූ බව ප්‍රිය ශාන්ත දුටු බවද ඔහු මෙහිදී අනාවරණය කරයි.
රිල්වාන් නම් එම ඝාතකයා පසු කාලයකදී අබිරහස් ලෙස ඝාතනය වී තිබේ. එසේම මෙම ඝාතනයේ ප්‍රධානියා වූ නාවුක හමුදා නිළධාරියකු බව පැවසෙන කොත්තු ප්‍රියන්ත නැමැත්තාද සැක සහිත ආකාරයට රිය අනතුරකින් ඝාතනය වූ බවද ප්‍රියශාන්ත කියයි. කෙසේ වෙතත් ප්‍රගීත් එක්නැලිගොඩ හඳුනා නොගත් සන්නද්ධ කණ්ඩායමක් පැහැර ගොස් අතුරුදන් කළ බවට මෙතෙක් කල් සමාජයේ සාකච්ඡා වුවද ඔහු මරා දමන ලද බවට අනාවරණය වූ ප්‍රථම සාක්ෂිය මෙය වේ.
(උපුටනය අවසන්)
ජනරාල් සරත් ෆොන්සේකා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජනපතිවරණයේදී එහි ප්රචාරක කටයුතු සඳහා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විසින් පවුල් ගස නම් කෘතියක් සකස් කළ නිසා ඔහු පැහැර ගත් බව වාර්තා වී තිබුණි.
ඒ දිනවල එම මුද්‍රිත කෘතිය අත් අඩංගුවට ගැනීම සඳහා එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ ප්‍රධානියා වූ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.එල්.ආර්.රණවීර පෞද්ගලිකවම අධිකරණය වෙත ඉදිරිපත් වී සෝදිසි වරෙන්තු අටක් ලබා ගෙන තිබුණි. ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු අධිකරණය වෙත කරුණු දක්වා සෝදිසි වරෙන්තු අටක් ලබා ගැනීම මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූවක් බව පැවසේ.
කෙසේ වෙතත් මෙම සෝදිසි වරෙන්තු සමග සිරිකොත පරීක්ෂා කිරීමට ගිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට එහි ඇතුළට යාම පාක්ෂිකයන් විසින් වැලක්වූ බව ඒ දිනවල වාර්තා විය. එම සෝදිසි වරෙන්තු අට නිකුත් කරන ලද විනිසුරුවරයා වූයේ මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේය.
කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂවරයා ලෙස රාජකාරී කරමින් සිටියදී ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රණවීර තාජුඩීන් ඝාතනය වසන් කිරීමට උත්සාහ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වරයාට කරුණු වාර්තා කිරීමක් පවා කර තිබේ.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2016 ජුනි මස 23 වන දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් වෙත තාජඩීන් ඝාතනය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ එම අපරාධය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාශය පැවැත්වන ලද විමර්ශන නවතා එය මාරක රිය අනතුරකින් සිදු වූවක් බවට වාර්තා කර ඇති බවය. එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂ ඡෙ.පො.අධිකාරී රණවීරගේ උපදෙස් පරිදි තමන් විසින් තාජුඩීන් ගේ 0777354500 දරණ දුරකථන අංකයේ ඇමතුම් වාර්තාවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ වන විටත් විභාග වූ 6802/1/11 දරණ මංකොල්ල නඩුව හා සම්බන්ධ කරගනිමින් ලබා ගත් බව හිටපු පොලිස් පරීක්ෂක සමුද්‍ර සුදේශ් විජේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර ලබා දී ඇති බවද අධිකරණයට වාර්තා කර ඇත.
එවකට ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරකු වූ ඩී.ඩී.එල්.රණවීර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය අතර වර්තමානයේදී ඔහු නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකයා වේ.
@ලිව්වේ මහාලේනා කිත්ති.
#පෝද්දල ජයන්ත ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගති.