ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාය. තරමක අවුල් නූල් බෝලයක් ඔහුට භාර වී ඇත.
විශේෂයෙන් ආසියාවේ ක්‍රිකට් බලවතා නොව ලෝකයේම ක්‍රිකට් බලවතා ඉන්දියාවය. ඉන්දියාවේ සහ පකිස්තානයේ දීර්ඝකාලීන නොහොදකම නිසා ආසියාවේ වැඩ කිරීම මෙන්ම ලෝකයට වැඩ කිරීම ද පහසු නැත. ඔවුන් මේ වන විටත් තරගාවලි දෙකක් වෙනුවෙන් අනෙක් රටට පා නොතබන තීරණයක සිටගෙන යම් අවුලකට පත්ව ඇත.
මේ තත්ත්වය මත දෙරටට අයත් නොවන සභාපතිවරයෙකු ලෙස ශම්මි සිල්වාට මැඳින් සිට එම අර්බූදයට විසඳුමක් ලබා දීමේ වගකීම ද ඉටු කරන්නට සිඳුවනු ඇත.යම් ආකාරයකින් දෙරට දේශ සීමා පැන අනෙකාගේ රටේ තරග පිටියකට පා තබන තත්ත්වයට පත් කර ගන්නට ශම්මිට හැකි වුවහොත්,ජාත්‍යන්තරය එය ක්‍රිකට් පිටියට පමණක් සීමා නොවුණු කාරණයක් හැටියට නොගන්නවා ඇත.එය රාජ්‍යයන් දෙකක සුහදතාවය වෙනුවෙන් ක්‍රීඩාව යොදා ගැනීමේ දැවන්ත කාර්යයක් වනු සැක නැත.
එසේම ආසියාවේ ක්‍රිකට්වලට ඇති සමාජමය ප්‍රශ්න වැඩිය. ඒ බොහෝ දේවල් නොදියුණු සිතුවිලි මත ගොඩ නැඟුණු ආගමික බලහත්කාරය පදනම් කර ගත් සිඳුවීම් සමඟ බැඳී ඇත. ඒ අතර ඇෆ්ගනිස්තානය ප්‍රමුඛය. ලෝක ක්‍රීඩා සංවිධාන බොහොමයක් මේ වන විට ඇෆ්ගනිස්තානය කාන්තාවන්ගේ ක්‍රීඩා අයිතීන් අහෝසි කර දැමීමට එරෙහිව සිය විරෝධය දක්වමින් ඇත. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඉන් ප්‍රධාන තැනක් ගන්නේය. ඔවුන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද භූමියක් අහිමි ක්‍රීඩාවන් සහ එම දක්ෂතා ආරක්ෂා කිරීම සඳහා පෙළ ගැසී සිටින තත්ත්වයක ආසියානු ක්‍රිකට් පරිපාලනයට එම කරුණ සැළකිල්ල දැක්විය යුතු කරුණක් ලෙස තමන්ගේ ඇස්වල වඳින්න වැඩි දවසක් නැත.
ඒ නිසා මේ මොහොතේ ශම්මි සිල්වාට ලැබී ඇති වගකීම ක්‍රීඩාවකට පමණක් සම්බන්ධ වැඩ සටහනක් නොවේය. එහි රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සමඟ ගැටෙමින් උපායශීලීව ආසියාවේ ක්‍රිකට් ඉදිරියට ගෙන යාමේ වගකීමක්ය. අයිසීසි ය තමන්ගේ න්‍යාය පත්‍රයේ ආසියානු කොටස හැටියට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ප්‍රශ්නය විසඳාලීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයට වගකීම පවරනු ඇත.
විශේෂයෙන් මැද පෙරදිග රටවල් මේ වන විට කාන්තා ක්‍රිකට් කෙරෙහි ආකර්ශණය වෙමින් ඇත. මෙවර කාන්තා 19 න් පහළ තරගාවලිය පැවත්වූයේ ද මැලේසියාවේය. මේ තත්ත්වය ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රිකට් ස්ථාපිත කිරීම සඳහා නිදසුන් ලෙස යොදා ගත හැකී පෙළඹීම්ය. එසේම ඇෆ්ගනිස්තානය හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක නියැලුණ ද,එහි උසස් ක්‍රීඩාංගණ නැත. ඒ පහසුකම් සැපයීම සඳහා ආසියානු ක්‍රිකට් දරණ උත්සාහයන් ද,ඇෆ්ගනිස්තානයේ දැඩි සිත් මෙලෙක් කිරීමට හේතුවක් විය හැකිය.
බොහෝ රටවල් සමඟ ගණුදෙනු කිරීමේදී ඔවුන්ගේ අන්තවාදි අදහස්වලින් ක්‍රිකට් නිදහස් කර ගැනීම ගැන කල්පනාකාරී විය යුතුව ඇත. එසේම ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් සුරැකෙන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් සහ එහි සීමාව අන්තවාදයෙන් මෙපිට රඳවා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ දේශපාලනමය වගකීම ආසියානු ක්‍රිකට් සභාපතිවරයාගේ අත ඇති සූක්ෂම කාර්ය භාරයකි.
ක්‍රිකට් වඩාත් තදින් විකාශය කළ හැකි පසුබිමක් ආසියාව සතු වන්නේය. ඒ අතරින් ද දකුණු ආසියාව සුවිශේෂී වන අතර මේ වන විට ක්‍රිකට්මය සමාජ පදනමක් නැති රටක් හැටියට දකුණු ආසියාවේ ඇත්තේ භූතානය පමණි.ආසියාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින ක්‍රිකට් සම්බන්ධයෙන් වන පිබිදීම පුළුල් කරන්නට ශම්මි සිල්වාගේ නායකත්වයට හැකි විය යුතුය. ජපානය සමඟ ද්වීපාර්ශිවිකව එරට ක්‍රිකට් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිල මැදිහත්වීමක් මේ වන විටත් ශම්මිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරම්භ කර ඇත.
එවැනි ප්‍රබලයන් සහ දුබලයන් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ හඳුනාගෙන එකතු කරන්නන් ක්‍රිකට් පිටියෙන් පිටත ආර්ථික,සමාජීය හා දේශපාලන කේෂ්ත්‍ර ගත් විට වෙනස්ය.එම කාරණාවල පිහිටා ශ්‍රී ලංකාව සහ ජපානය සළකා බැලුවහොත් ජපානය සිටින්නේ බොහෝ ඉදිරියෙන් වුව ද,ක්‍රිකට්මය අතින් ඔවුන්ට ශ්‍රී ලංකාවේ උපදෙස් සහ මග පෙන්වීම අවශ්‍යය වන්නේය. ආසියාව ඇතුළත මෙවැනි දේ ගැන අවධානය යොමු කර ක්‍රිකට් දෙරටක් අතර මිත්‍රත්වයට මෙන්ම විවිධ මානයේ හාදකම් සහ හුවමාරුවලට මැදිහත් කළ හැකි වගකීමක් ගත හැකිනම් ආසියානු ක්‍රිකට් තුළ සදාකාලික වටිනාකමක් ශම්මි ට හිමිවනු නිසැකය.
ශ්‍රී ලංකාවේ කිකට් සම්බන්ධයෙන් නිතර ඇසෙන කතා අතර තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක අඩුව ගැන පැවසෙන්නේය. සිඳුවෙමින් පවතින යාපා පටුනේ ක්‍රිකට් පිබිදීම ද සැළකිල්ලට ගෙන එම ක්‍රීඩාංගණය යාපනය ආශ්‍රිතව ඉදි වුවහොත්,ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවට දිගු කළ මිත්‍රශීලී අතට දැවන්ත සවියක් වනු ඇත.ඒ සමඟ ඇතිවන වෙනස්කම් මත පලාලි ගුවන් තොටුපළ තිබෙන තත්ත්වයට වඩා උසස් මට්ටමට ගෙන ඒම නොකර බැරි වනු ඇත. ඒ අතරට ගොඩබිම මාර්ගයෙන් ද සම්බන්ධයක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිඳු වුවහොත් සංස්කෘතික මිත්‍රත්වයට එහා ගොස් ආර්ථිකමය වශයෙන් ද ශ්‍රී ලංකාවේ බොහෝ දේවල් ආනයනය කළ හැකි පහසු මාර්ගද සැකසෙනු ඇත.
අලුත් විශාල ඉදිකිරීමක් සහ ඊට ඇති ජාත්‍යන්තර වටිනාකම යන කාරණාවලදී නිරන්තරයෙන් ඒ අවට මිනිසුන්ගේ සංස්කෘතික වෙනස්කමක් සමඟ ආර්ථිකමය වශයෙන් යහපත් මට්ටමක් ඇති වන අන්දමේ අලුත් ජීවනෝපාය මාර්ගද නිර්මාණය වන්නේය. ඒ නිසා ආසියාවේ එවැනි තත්ත්වයක් නිර්මාණය කිරිම ගැන සළකා බැලීම වටින්නේය. ඒ වටිනාකම ශ්‍රී ලංකාවට ද ලබා දීම වැදගත්ය.
මෙහිදී ශම්මි සිල්වා ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය නොකළ ද,ජාතික මට්ටමේ දැවන්තයන් වූ සමකාලීනයන් සමඟ කරට කර ක්‍රීඩා කර ඉතිහාසයක් ඇති අයෙකු යන්න අමතක කළ නොහැකිය. එසේම මලල ක්‍රීඩාව සහ ස්කෝෂ ක්‍රීඩාවෙන්ද කැපී පෙණුන ඉතිහාසයක් ඇති අයෙකි. ඒ නිසාම පිට්ටනියේ සහ ක්‍රීඩාවේ ගැටළු ගැන මානයන් කිහිපයක් ඔස්සේ සිතීමේ හැකියාව ඇති පුද්ගලයෙක්ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් වැටුප් ගෙවා ගත නොහැකි තැනට ආර්ථික වශයෙන් බිංදුවට වට්ටවා සිට අතුරු පාළනයන්ගෙන් පසුව බලයට එන ශම්මි,එම වැරදි ගැන කියා ඇවිදීමට වඩා අවධානය සහ කාලය යොමු කළේ තමන්ට පැවරුණු වැහැරුණු යෝධයා යළිත් ශක්තිමත් කර කෙළින් කරන්නටය. එහි ප්‍රතිපලයක් ලෙස අද වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩාවන්වලට මෙන්ම ජාතික වගකීම්වලට ආධාර උපකාර දෙන හිතවතෙක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් පත්ව ඇත.කුමන තත්ත්වයකදී වුව එවැනි තත්ත්වයකට ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙනවාට ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ කැමති වන්නේ නැත.
මේ සියල්ල ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ඔහුව තෝරා ගැනීම කෙරෙහි සෙසු රටවල් සළකා බලන්නට ඇත. ලෝක කුසලානයක් කර, හිඟන මට්ටමට වැටුණු, එම ගිණුම් තිබූ පරිගණක පවා හොරකම් කෙරූ බවට චෝදනා ඇති, ක්‍රිකට් පරිපාලනයක්, වැටුණු රටක අවශ්‍යයතාවලට ද වියදම් කරමින්, පහළ සිට ඉහළට කාන්තා සහ පිරිමි දෙ‘අංශයෙන්ම ලංකාව පුරා දක්ෂයන් හදුනාගන්නා වැඩි පිළිවෙලක් ද සහිතව නඟා සිටුවීම එහිදී සෙසු රටවල් ශම්මි ගැන විශ්වාසයේදී ඉහළින්ම සළකා බලන්නට ඇතැයි සිතිය හැකිය.
ඒ සියලු විශ්වාසයන් හී පල භුක්ති විදීමේ අපේක්ෂාව ද ශම්මිට වගකීම පැවරීමේදී ආසියානු ක්‍රිකට් රටවල් බලාපොරොත්තුවෙන් සිටින බව ද ඇත්තය.ඒ ඇත්ත දක්වා යන්න ගන්නා ලබන ක්‍රියාමාර්ග ආසියාවට පමණක් නොවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ද බෙහෙවින් බලපානු ඇත. ලාංකිකයෙක් හැටියට ඔහු කරන යහපත් දේ ගැන ලංකාවටම සතුටු විය හැකිය. එසේ නොවුණොත් ඇතිවන අවුල් සහගත තත්ත්වයද ලංකාවට බල නොපාන්නේ නැත. ඉතාම ගැටළු බහුල සමාජ දේශපාලනික ව්‍යහුයක් සහිත ආසියාවේ ක්‍රිකට් පාලනය යනු දැලි පිහියෙන් කිරි කෑම වැනි සූක්ෂම මෙන්ම සියුම් විය යුතු වැඩ ක්‍රියාවලියක්ය. ශම්මි ඒත් පිහිය අල්ලාගන්න පැත්ත වරද්දා නොගනු ඇතැයි අපි සිතන්නෙමු.!
@ සටහන – නිශ්මං රණසිංහ