පසුගිය ආණ්ඩුව හා සම්බන්ධ වුනු මහා පරිමාණ වීමෝල් හිමියන් තිදෙනකු
ගොවීන්ගේ වී අස්වැන්න තුට්ටු දෙකට මිලට ගෙන ඇතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ සඳහන් කරයි.
ඒ හේතුවෙන් ගොවීන්ට විශාල වශයෙන් පාඩු සිදුව ඇති බවත් එනිසා වත්මන් ආණ්ඩුව යටතේ ගොවීන්ගේ වී මිලදී කියන සඳහා විශාල මුදලක් යෙදවීමට තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
උත්සව සභාවක් අමතමින් අදහස් පළකල අමාත්‍යවරයා එසේ ආරක්ෂිත තොගයක් රජය සතුව පැවතීම මත මහා පරිමාණ මෝල් හිමියන්ට පාරිභෝගිකයා හෝ රජය පීඩාවට පත් කිරීමට හැකියාව නොලැබෙන බවද කියා සිටියේය.
පසුගිය රජයේ අවසාන භාගයේ මහා පරිමාණ සහල් හිමියෙකු නව රජය බලයට පැමිණියහොත් සහල් අඩු මිළට වෙළඳපොලට නිකුත් කරන බවට ප්‍රකාශ නිකුත් කර තිබූ අතර විචාරකයින් පැවසූයේ එම හේතුව නිසා වී මිල පහත වැටෙතැයි බිය වූ ගොවීන් රුපියල් දහදාහට විකුණූ වී මිටි අටදහස බැගින් විකුණා දැමුනු බවයි. එහිදී සහල් හිමියන් බිලියන ගණනක ලාභයක් උපයා ගන්නා ලදැයි පැවසෙන අතර එම සහල් හිමියා ද මෑතකදී ජනාධිපතිවරයා සමග පැවති හමුවට සහභාගී වී තිබුණි.
බොහෝ දේශපාලන හා ආර්ථික විචාරකයින් පවසන්නේ ඉහළ පාලන මිලක් ස්ථාපිත කිරීමට මෙම සහල් හිමියන් ජනාධිපතිවරයා නොමග යැවූ බවය.
සමහර මාධ්‍ය වාර්තා කර තිබුණේ සහල් හිමියන්ගේ උපක්රමයට වත්මන් ජනාධිපතිවරයා හසුවූ බවය.
කෙසේ වෙතත් වෙළඳපොලේ පවතින සහල් හිඟයට පිළිතුරක් ලෙස මේ වනවිට රජය විසින් පිටරටින් සහල් ආනයනය කිරීමට මේ වනවිට පියවර ගෙන ඇත.