ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් පිරිසෙන් අති බහුතරයක් මේ වන විට ණය වින්දිතයන් බවට
පත් වී තිබෙන නිසා සාධාරණ විසඳුමක් ලබා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ද මුදල් අමාත්‍යාංශයෙන් ද ඉල්ලා සිටින බව ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
මෙම ණය ක්‍රමය යටතේ විසි අටලක්ෂ අනූදහසකට ආසන්න පිරිසක් ණය ලබාගෙන තිබෙන බවත් මෙම පිරිසෙන් අති බහුතර ප්‍රමාණයක් විවිධ හේතු නිසා වින්දිතයන් බවට පත් වී තිබෙන බවත් එම සංගමයේ කැඳවුම්කරු නිරෝෂා ගුරුගේ සඳහන් කළාය.
මූල්‍ය ආයතන විසින් අධික පොලියක් අයකර ගැනීම, දඩ පොලී අයකර ගැනීම හා සතියකට වරක් ණය එකතු කර ගැනීම වැනි ක්‍රියා නිසා ලබාගත් මුදල මෙන් දෙගුණයක මුදලක් ගෙවා තිබෙන අවස්ථාවල පවා යම් යම් පිරිස් වින්දිතයන් බවට පත් වී තිබෙන බවද ඇය සඳහන් කළාය.
ණය ලබාගත් පිරිස් සැලකීමේ දී ලක්ෂ විසි හතරකට ආසන්න පිරිසක් කාන්තාවන් බවත්, ණය ලබා ගත් පිරිස් වින්දිතයන් බවට පත් වීමේ ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙස පසුගිය ආණ්ඩුවට යෝජනාවලියක් පවා ඉදිරිපත් කළ බවත්, ඇය පවසා සිටියාය.
වින්දිතයන් බවට පත් වූ පිරිස් සඳහා කිසිදු සහනයක් ලබා දී නොමැති නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගත් සියලු දෙනාගේ ණය අහෝසි කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ඇය සඳහන් කළාය. වැඩි දුරටත් අදහස් දැක්වූ නිරෝෂා ගුරුගේ මෙසේ ද පැවසුවාය.
“ණය එකතු කිරීම සතිපතා සිදුකරන නිසා සතියක් ණය වාරිකය ගෙවා ගැනීමට නොහැකි වුවහොත්, දඩ මුදල් එකතු කර සමස්ත මුදලටම පොලී අයකර ගන්නවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය යටතේ සියයට හැට පහත් සියයට හැත්තෑවත්් අතර පොලි මුදලක් අයකර ගන්නා අවස්ථා තිබෙනවා.
මේ නිසා රුපියල් පනස් දහසක ණය මුදලක් ලබා ගන්නා ඇතැම් පිරිස් රුපියල් එක් ලක්ෂ පනස් තුන් දහසක් ගෙවා ණය ගෙවීම අවසන් කර තිබෙනවා.
දුප්පත් ජනතාවට ස්වයං රැකියාවක් කිරීමට හෝ යම් කර්මාන්තයක් ආරම්භ කිරීම සඳහා අඩු පොලියට ණය ලබාදෙන වැඩපිළිවෙළක් නොමැතිවීම නිසා නිවෙස්වලට පැමිණ ණය ලබා දෙන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමට පෙළඹෙනවා.
ණය ලබා ගැනීමට අදාළ අයදුම්පත් බොහෝ විට ඉංග්‍රීසි භාෂාවෙන් පවතින නිසා ණය ලබා ගන්නා පුද්ගලයන්ට ආයතනවල පවතින ණය කොන්දේසි පිළිබඳව දැනුමක් නැහැ.
මේ නිසා මුලින්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන වින්දිතයන් බවට පත් වී සිටින සියලු දෙනා එම ආයතනවලින් ලබාගත් මුදලට අනුව පොලිය සමග ගෙවා තිබෙන වාරිකවල එකතුව පිළිබඳව ජාතික මට්ටමින් විගණයක් සිදු කළ යුතුයි.
ඉන් පසුව අසාධාරණ ලෙස ලබාගෙන තිබෙන මුදල් නැවත වින්දිතයන්ට ලබා දිය යුතුයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය අහෝසි කර දුප්පත් ජනතාවට ස්වයං රැකියාවක් හෝ යම් කර්මාන්තයක් ආරම්භ කිරීමට අවශ්‍ය ණය මුදල් අඩු පොලියකට ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
මේ පිළිබඳව සඳහන් යෝජනාවලියක් ඉදිරි දිනවල ජනාධිපති අනුර කුමාර දිසානායකට හා මුදල් අමාත්‍යංශයට භාර දීමට කටයුතු කරනවා. ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන අසාධාරණයට ලක් වූ පිරිස් අසාදුගත ලේඛනවලට ඇතුළත් කර තිබෙනවා. ඒ නිසා වෙනත් කිසිදු ආයතනයකින් ණය ලබාගැනීමට පවා ඔවුන්ට නොහැකි වී තිබෙනවා.”
@ ඉන්දික හේවාවිතාරණ