පුනරුද සටහන් 3
' මිනිසා පොළවේ හිමිකාරයා ය' යන මතයේ පිහිටා සමස්ත ස්වභාව ධර්මය සමග ගැටුමකට යාමේ ප්රවේශයේ සිට පරිසරය, ගහකොළ, සතා සීපාවා සමග සහජීවනයෙන් වසන පරිසර පද්ධතීන්හි තුලනය රකින ප්රවේශයකට මාරු වීම අපගේ පාලන කාලය තුල සිදුවනු ඇත' - 6 පිටුව, NPP ප්‍රතිපත්ති ප්‍රකාශය
කෘෂිකර්ම ඇමතිවරයාගේ නායකත්වයෙන් ITN, රූපවාහිනී, හිරු, දෙරණ නියෝජ්‍ය නායකත්වයෙන් සතුන්ට එරෙහිව යුධ ප්‍රකාශ කිරීම (රිලවුන් මෙහි කේන්ද්‍රයේ සිටියද ඇමතිවරයාගේ අළුත්ම න්‍යායික පැහැදිලි කිරීම් වලට අනුව මිනිසාගේ ලොව පාලනය කිරීමේ අයිතියට එරෙහිව යන ඕනෑම සතෙක් මේ අනතුරු ඇඟවීමට යටත් ය) අප සමාජය තුල යම් ආකාරයක පාලනයකට යටත්ව තිබූ අශිෂ්ඨත්වය නව පණකින් නිල මුද්‍රාවක් සහිතව දෝරේ ගලාගෙන යන තත්වයකට පත්කොට ඇත. මෙය රිලවුන් සමග යුද්ධයක් සේ මතුපිටින් දිස්වුනද, ගැඹුරින් බැලූකල ශිෂ්ඨත්වය, සහකම්පනය, ආදරය, විද්‍යාවේ දියුණුව වැනි මූලික මිනිස් වටිනාකම් සමග වන යුද්ධයකි. 'සියළු සත්වයෝ නිදුක් වෙත්වා' යනුවෙන් බුදු දහමේ එන අදහස් සමගද, මිනිසා මහපොළවේ හිමිකරු නොව just භාරකරුය යන මිහිඳු හිමිගේ අදහස් සමගද යුද්ධ ප්‍රකාශ කිරීමකි. කෙටියෙන් කිව්වොත් NPP යේ ප්‍රතිපත්ති ප්‍රකාශයට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමකි.
ඇමතිවරයාගේ අළුත්ම චන්ඩිපාට් ටෝක් එක මිනිසා අවුරුදු සියගනනක ඉතිහාසය පුරා සත්ව ලෝකයට එරෙහිව මුදාහල අතිමහත් හිංසනය අමතක කරයි. NPP මැතිවරණ වේදිකාවේදීම සාකච්ඡාවට බඳුන් වුනු ප්‍රභූ පංතිය විසින් අවුරුදු 76 ක පාලනයන් තුල අනුගමනය කල වැරදි සංවර්ධන ප්‍රතිපත්ති හා ඒ නිසා බිහිකල පාරිසරික අර්බුද හා සොයාගත යුතු දියුණු විසඳුම් ගැන වූ කතිකාව convenietly අමතක කරයි (රිලවුන්ද මේ ක්‍රියාවලියේ ඍජු ගොදුරුය). ඔහු ඒ දියුණු සාකච්ඡා මාවත වෙනුවට තෝරා ගන්නේ සතුන් මිනිසාගේ සතුරන් ලෙස හැඟවෙන අතිශය පසුගාමී කතිකාවකි. රිලවුන් ගම්වැදීමට හේතුවූයේ මන්ද යන අදහසද සැලකිල්ල ගෙන සොයන ගොවිජනයාද රැකෙන ශිෂ්ඨ විසඳුමක් වෙනුවට ඔහුගේ තේරීම වන්නේ 18 වන සියවසේ පමණ රිලා ප්‍රශ්නයක් ලෝකයේ ඇතිවුනා නම් සෙවිය හැකිව තිබූ උත්තරයකි.
මීට කලකට පෙර ලොව ඉදිරි දේශපාලනය හරිත සමාජවාදය විය යුතුය යන අදහසින් විවෘත සරසවිය මූලික කරගෙන සාකච්ඡා ගනනාවක් පැවැත්වූවා මතකය. එහි ඉලක්කය වූයේ හරිත සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ඇතිකිරීම හෝ ලංකාවේ වාම දේශපාලනය තුලට හරිත සමාජවාදී අදහස් කාන්දු කිරීමයි. මේ සාකච්ඡාවන්ට සඳුන්, විදුර, ශ්‍යාමා, රමිඳු, ලක්මාල්, ගිහාන් මෙන්ම හරිනිද සහභාගීවිය. මීට සියවස් කීපයක සංදර්භය තුල පරිසරය වැදගත් සාධකයක් ලෙස අවධානයට නොගැනුනු කාලයක බිහිවූ සමාජවාදය පිලිබඳ කතිකාව, 20, 21 සියවස් තුල ඇතිවූ විවිධ පාරිසරික අර්බුද හමුවේ වැඩි දියුණු වූ එක්තරා ප්‍රධාන අත්තකි හරිත සමාජවාදය. විවෘත සරසවියේ කල ඒ අධ්‍යයන හමු අතරමග නැවතීමට හේතුවූයේ NPP යේ බිහිවීමත් සමග අප සියළු දෙනාම පාහේ NPP දේශපාලනයට අඩු වැඩි වශයෙන් යොමුවීමයි. මින් පසුව අපගේ බලාපොරොත්තුව වූයේ NPP දේශපාලනය තුල හරිත සමාජවාදී අදහස් ස්ථානගත කිරීමට උත්සාහ දැරීමයි. NPP ප්‍රතිපත්ති ප්රකාශනය ඒ දිශාවේ යම් ආකාරයක වර්ධනීය පියවරක් ලෙස දැකිය හැකිය. එහෙන් කෘෂිකර්ම ඇමතිවරයා ඔහුගේ බලකාය සමග දැන් අපට යෝජනා කරන්නේ වෙන අතක් බලාගන්නා ලෙසද? NPP ප්‍රතිපත්ති ප්‍රකාශය අනික් පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශ සේම සත පහක වැදගත්කමක් නැති කොල කෑල්ලක් ලෙසද?