ලංකාවේ අන් කවරදාටත් වඩා උගතුන් බුද්ධිමතුන් ආකාසගත කළ කාළවකවානු ලෙස
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 'වියත් මග' යුගයත්, මාලිමාවන්ගේ මැතිවරණ ව්‍යාපාරයත් සැලකිය හැකිය.
උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට එවිය යුතු බවටත්, උගතුන් බුද්ධිමතුන් හොරුන් වංචාකාරීන් නොවන බවටත් දේශපාලන මතවාදය පෝෂනය කළ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය ඉහලින්ම සිටිති.
ජයග්‍රහණය ලැබීමෙන් ඉනික්බිති පත්කිරීම් සිදුකිරීමේදී මෙන්ම එකී පුද්ගලයන් නාමකරණයේදී ආචාර්ය, මහාචාර්ය, උපාධිධාරී, විශේෂ උපාධිධාරී, කථිකාචාර්ය, ජ්‍යෙෂ්ට කථිකාචාර්ය, ඉංජිනේරු, වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය යනාදී වශයෙන් පදවි තානාන්තර ආකාසගත කරමින් බුකිය පුරා හුරේ දැම්මේද මාලිමා ජනතාවමය.
එය දැන් පාරා වලල්ලක් බවට පත්ව ඇත්තේ කථානායක අශෝක රන්වල සිදුවීමත් සමගය.
අශෝක රන්වල යනු පක්ෂයට කැපවීමෙන් දශක ගණනාවක් පුරා කටයුතු කළ, දේශපාලන ක්‍රියා හේතුවෙන් හිරබත් පවා භුක්ති විඳි ජවිපෙ පැරණිතම කාඩර්වරයෙකි.
හර්ෂන නානායක්කාර අමාත්‍යවරයාට මෙන්ම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලකටද ‘ආචාර්ය’ උපාධිය සම්බන්දයෙන් ගැටළු සහගත තත්වයක් ඇති බවට දැන් චෝදනා එල්ල වෙයි.
අමාත්‍ය අනුර කරුණාතිලක ශාස්ත්‍රපති උපධිධාරියෙක් මිස ආචාර්ය උපාධිධාරියෙක් නොවන බවත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියද යාවත්කාලීන කර ඇත්තේ ඔහු ශාස්ත්‍රපති උපාධියක් හිමි පුද්ගලයෙකු බවට යැයි පවසයි.
කෙසේ වුවත් ජාතික ජන බලවේගය මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් සඳහන් කර මැතිවරණ කොමිසමට යැවූ ලිපියේ ඔහුගේ නම සඳහන් කර ඇත්තේ ආචාර්ය අනුර කරුණාතිලක ලෙසින් යැයි කියැවේ.
නමුත් ඇමැතිවරයා මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් හදාරිමින් සිටින්නෙකි.
මාලිමාවට රැල්ලට ඡන්දය ලබාදුන් - 2019 ගොඨාභය ජනාධිපතිවරයාටද ඡන්දය දී විදුලිය, ගෑස්, තෙල් නැති වීමත් සමග ගෝඨාභයව උස්සා පොළොවේ ගැසූ හැටනව ලක්ෂයෙන් - මාලිමාවට ඡන්දය දුන් හැටහතර ලක්ෂයක පමණ බයි ජනතාව දැන් කියන්නේ අශෝක රන්වල නෙරපා දඩුවම් දිය යුතු බවය.
එසේ නෙරපා හැරිය විට ඒ පිටුපස මේ කියනා ආකාරයට තවත් දිගු පොලිමක් ඇත. එසේනම් ඔවුන්ද මැතිවරණ ව්‍යාපාරයේදී අදාළ උපාධි පාවිච්චි කර ඇත්තේ වැරදියටය. ඔවුන් ද නෙරපා හැරීමට අනුර කුමාර රජයට සිදුවේ.
කෙසේ වුවද රැල්ලේ එන බයියෝ එසේය. බලාපොරොත්තු වන්නේ එවැනි තීරණය. එම තීරණ ක්‍රියාත්මක නොකළ විට ඔවුන් වීරයෙකු තනා, තවත් කෙනෙකුට බයියන් වී සිස්ටම් චේන්ජ් කරන්නට යන්නේ ය. ඒ බයියන් අතර විශ්ව විද්‍යාල ඇදුරන්ද සිටින්නේය.
ගෝඨාභය රැල්ලට රැවටී හොඳ එකෙන්ම කෙලවාගත්තේය.
තමා කිසිදු ලෙසකින් සම්බන්ධ නැති රටේ ණය බරේ ගොදුර බවට පත්වන්නට ඔහුට සිදුවූයේ බයියන්ගේ ඒ දැන්වත්භාවයට පින් සිදුවන්නටය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, ලාල්කාන්ත ඇමතිවරයා, ටිල්වින් සිල්වා ලේකම්වරයා වැන්නන් බයියන්ට නොරැවටෙනු බව විශ්වාස වුවත් මාලිමා රජයේ තනතුරු ගත් අනෙකුත් මැති ඇමතිවරුන්ගේ ධාර ප්‍රකාශ හමුවේ අහස් මාළිගා පෙනෙන්නේය.
ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ මාලිමා ලිබරල් බයියන්ව මෙන්ම තානාන්තර ලබාදුන් කයියන්වද පාලනය කරගැනීම කඩිනම් කළ යුතුය.
@ලාල් ගේ කොළම