මේ "ඉරේසරීය ඊරාවෙන් ඉක්බිතිව" කියන්නෙ තරුණ කලාකරුවෙකු වන ගගන වර්ණකුලසූරියගෙ කවි පොතේ නම..
කතානායක අසෝක සපුමල් රන්වලගෙ නම ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙත්, එයාගෙ Linkdin ආදී ගිනුම්වලත් පාර්ලිමේන්තු වෙබ් එකෙත් එයාගෙ ආන්දෝලනයට තුඩු දීලා තියන ආචාර්ය උපාධි නාම මකාගෙන යන නිසා (සාක්ෂි සහිතයි-කාට හරි ඕන නම් කමෙන්ට් විදිහට දාන්නම්) උත්ප්රාසාත්මකව මේක යොදන්න හිතුවා.
මේ රන්වල කොලහලය හරහා වාමාංශික දේශපාලන භාවිතය ගැන යමක් ලියන්න අවශ්‍යයි. ඇකඩමික සුදුසුකම් සම්බන්ධයෙන් කොමියුනිස්ට්වාදීන් විදිහට ලොකු වටිනාකමක් දෙන්නෑ කියන එක කොමියුනිස්ට්වාදයෙ "අ" යන්න දන්න කවුරුත් පාහේ දන්න දෙයක්නෙ. ශාස්ත්රාලීය උගත්තු සම්බන්ධයෙන් - බුර්ෂුවා වගෙ නම් යෙදෙන්නෙ උපහාසාත්මකව. කම්කරුවන්ට වඩා කෙනෙක් කොමියුනිස්ට්වාදයේ ලොකු කරන්නෑ. එහෙම ලොකු කළා නම් කළේ, ඔය 1900 කාලෙ සාර් රුසියාවෙ බිහිවුණ "නරොද්නික්වාදය" වගෙ නම්වලින් හැඳින්වුණු කණ්ඩායම් අස්සෙ විතරයි.
හැබැයි මෑත වකවානුවෙ ඉතා තදබල විදිහට ඇකඩමියාව ඔජ වඩන මානසිකත්වයක් ජනතා විමුක්ති පෙරමුණ වෙළා ගනු ලැබුවා. අතීතයේ ඇකඩමික අධ්‍යාපනය අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දාලා පංතිය සංවිධානය කරන්න විශාල ප්‍රමාණයක් පූර්ණකාලීන දේශපාලනයේ යෙදුණා.
පෞද්ගලිකව මමත් මාව සරසවියට කැඳවපු ලියුම (සිනමාපටයක විජය කුමාරතුංග කරන්නා සේ) කුණු බක්කියට දාලා (පක්ෂයේ පෙළඹවීම මත) කාලයක් ජවිපෙ පූර්ණාකාලිකයෙකු විදිහට පංතිය සංවිධානය කරන්න යෙදුණ නිසා මට ඒ ගැන පෞද්ගලික අත්දැකීමකුත් තියනවා. ඒ මිස් වුණ එක ගැන මට ඇරියස් එකක් නෑ. ඒ මම හොඳ මනුස්සයෙක් නිසා නෙවෙයි, ලලිත කලා විෂයන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ක්‍රියාකාරිත්වය පහුකාලීනව මට අත්දකින්න ලැබුණ නිසාත්-සරසවියක් හරහා ආවට වඩා වික්‍රමාන්විත ජීවිතයක් මට ගත කරන්න ලැබුණ නිසාත් තමා ඇරියස් එකක් නැත්තෙ.
ආයෙ පොයින්ට් එකට ආවොත්, දැන් මේ ඇකඩමියාව ඔජ වඩන මානසිකත්වය - ජවිපෙ ජාතික ජනබලවේගය සමග පයුරුපාසානයේදී ඉතාම බරපතළ විදිහට වැඩි වුණා. එතකොට ඇකඩමියාව මාරයිද? කම්කරු පංතිය එයිට වඩා පහළ ද? උපාධිය පැත්තකට විසි කරලා - අදටත් ඔය නිදහස් අධ්‍යාපනය ගැන කතා කරද්දි කියන නම් සහිත "චරිත"වල භාවිතය වැඩකට නැද්ද වගෙ උභතෝකෝටිකත් පැන නගින්න ගත්තා.
ශාස්ත්රාලීය උගත්කම මාර දෙයක් නම් ගෝටගෙ "වියත් මගෙ"ත් හිටිය නේද කාටවත් නොදෙවෙනි එවැනි කට්ටිය කියලත් කියන්නට පුළුවන්.
කෙසේ හෝ වේවා ජාතික ජනබලවේග ව්‍යාපාරය ශාස්ත්රාලීය උගත්කමට අතිදැවැන්ත වැදගත්කමක් දුන් බවට ඕනෑ තරම් සාධක සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක බොරුවක් නෙවෙයි නෙ. ජවිපෙ-ජාජබ ඍජුව පැහැදිලිව මේ ශාස්ත්රාලීය අධ්‍යාපනයෙ වටිනාකම ඔජ වැඩුවා.
එතකොට දැන් අසෝක රන්වලගෙ ප්රශ්නය සෝකජනක විදිහට මතුවෙලා. දැන් රන්වල බලකායක් හැදිලා ප්‍රශ්න කරමින් ඉන්නවා පාර්ලිමේන්තුවට යන්න ඔය සුදුසුකම් ඕන ද කියලා.
ඌරු කොටුවක් විදිහට මාක්ස්වාදීන් හඳුන්වන පාර්ලිමේන්තුවට යන්න ඔය උලව් ඕන නෑ තමා. හැබැයි ඕවා මාරයි කිව්වෙ කවුද එතකොට? අපේ ලිස්ට්වල මෙච්චර-අච්චර ආචාර්ය මහාචාර්යලා ඉන්නවා කියලා ඇකඩමියාව ඔජ වැඩුවෙ කවුද එතකොට?
අනෙක් කරුණ තමයි පාර්ලිමේන්තු යන්න ඕවා අවශ්‍ය නෑ වුණත්, නම ඉස්සරහින් ඕවා එල්ලගන්නවා නම් ඒවා ඇත්තටම තියෙන්න අවශ්‍යයි කියන එක අවම සදාචාරය නේද? මර්වින් සිල්වා ආචාර්ය පට්ටමක් ගත්ත ම මට මතකයි මානිගෙ තීරුවෙ ලිව්වා, ආචාර්යවරු තමන්ව එහෙම හඳුනගන්න එක නවත්ත ගත්තා කියලා.
ඉතාම හොඳින් දන්නා පරිදි - ඇකඩමියානු උත්කර්ෂය මතින්, ඉතා දියුණු අදහස් සහිත වූ අය පාගාගෙන (සාක්ෂි සහිතයි) ජාතික ජනබලවේග ව්‍යාපාරයෙ ඉහළට නැගුණු - නැගී තනතුරු ( හරි හරි වගකීම්) ගත්ත අය ඉන්නවා. අමාත්‍ය මණ්ඩලය ගැන සැලකුවත් ඒ ගැන අදහසක් ගන්නට පිළිවන්. රන්වලගේ ආචාර්ය මෙහෙයුම (ඒක සබුද්ධික එකක් නම්) ඒකට උත්තරයක් වීමේ ඉහළ ඉඩකඩක් තියනවා.
මෙවැනි යුගයක මෙවැනි බොරු කරන්නට හැකි බව සිතීම ම මුග්ධභාවය පිළිබඳ නිර්ණායකයක් වගෙයි. රන්වල කියන්නෙ, මෑත ජාතික ජනබලවේගයට රැල්ලට එක් වුණ අයෙකුත් නෙවෙයි. ඔහු පැහැදිලිව ජවිපෙ හාඩ්කෝ - නායකත්ව මණ්ඩලයේ අයෙක්. පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්, වෙනත් තැන්වලින් ඉරේස් කළ පමණින් මේ නැගෙන ප්රශ්නය නැවතිය හැකි ද?
මේ සිදුවීම නිසාවෙන් ජාතික ජනබලවේගයේ ප්රකාශයන්ගේ සත්‍යතාව පිළිබඳව මතුවන සංශය එම සමස්ත පද්ධතියට ම කරන බලපෑම සුළුපටු නොවෙන බව ඉදිරියේදී දැකබලා ගන්නට හැකි වෙයි. දෙවියන් මිය ගිය යුගයක දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ නිර්මාණය කළ අපේක්ෂා බොඳවීම බරපතළ ප්‍රතිවිපාක ඇති නොකරයි ද?
ඇත්තටම අපි මේක අහන්නෙ, ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න ජනප්‍රියවාදී ප්රශ්නය නැගෙන තැනින් නෙවෙයි. වාමාංශික දේශපාලන භාවිතය අස්සෙ ඔජ නොවැඩිය යුතු ඇකඩමියාව හිසින් ගෙන මේ යන ගමනෙ කෙළවර උපයාගන්නට සිදුවන්නේ මෙවැනි දේවල් නොවේද කියන තැනින්. වාමාංශික දේශපාලනය කියන්නෙ මීට වඩා සීරියස් යමක්ද නැද්ද කියන තැනින්.
රන්වලගේ ඉරේසරීය ඊරාවෙන් ඉක්බිතිව කුමක් සිදුවනු ඇති ද?
@සඳුන් ප්‍රියංකර විතානගේ