වෙළඳපොලේ සහල් හිඟයක් ඇතිවෙලාය කියලත් ඒ නිසා සහල් මිල
ඉහළ ගොස් ඇතැයි කියාත් බොහෝ දෙනෙකුගේ මතය වී ඇත.
ඇත්තටම සහල් අර්බූධයක් වෙළඳපොලේ ඇති උනාද?
තමා වගාකරගෙන තමාගේ ආහාර පරිභෝජනය පමණක් සොයා බලාගත් යුගය අවසන් කර මහා පරිමාණයෙන් රටට බැත සපයන ගොවිකම බිහිවූ දා පටන් සුළුතරයක් විසින් බහුතරයක් වෙනුවෙන් වගාකෙරෙන කෘෂිකර්මාන්තය ඇතිවිය.
එසේ වුවත් ලංකාවේ කෘෂි ගොවියා මහා පරිමාණෙන් වගා කළත් තම භෝග වගා කරන්නේ ඉවෙනි.
එයට හේතුව සාමාන්‍යයෙන් කන්නයෙන් කන්නයට වගාවේ ස්වරූපය වෙනස් විය හැකි අතර ඒ වගාකරන වර්ගයද වෙනස් විය යුතුය. එමෙන්ම ඒ ඒ වර්ගයෙන් වගාකළ යුතු ප්‍රමාණය කොතෙක්ද යන්නත් ගණනය විය යුත්තකි.
එහෙත් ගොවියාට එයට සැලැස්මක් හෝ අවශ්‍ය සන්නිවේදනයක් නොමැති අතර වෙළඳපොලේ පෙනෙන්නට ඇති දෑ ලෙස පවත්නා මිල, වෙළඳපොලට නිකුත් වන භෝගවර්ග පිළිබඳව සොයා මිල වැඩි භෝගය ඊළඟ කන්නයට වගාකිරීමට සෑම ගොවියෙක්ම පෙළඹී ඇත.
එයට හේතුව රජයක් ඊට සැළසුම් සහගතව මගපෙන්වීමක් නොකරන නිසාය.
ඉන් අත්වන ප්‍රතිඵලය වී ඇත්තේ මිළ අධික භෝගය ඊළඟ කන්නයට සෑම ගොවියෙකුම වැඩි වශයෙන්ම වගා කිරීමත් එකී භෝගය සුළභ වීම තුළ යළිත් එයට වෙළඳ පොළේ කුණු කොල්ලයට අඩු මිල ගණන් නියම වීමත් ය.
දැනට අර්බූධයක්ව පවතින සහල් පිළිබඳ කතාන්දරයද මීට සමානය.
ලංකාවේ පරිභෝජන සහල් වර්ග කිහිපයකි. නාඩු, කීරි සම්බ, පොකුරු සම්බා, සම්බා කැකුළු, සුදු කැකුළු, රතු කැකුළු ඇතුළු සම්ප්‍රධායික සහල් වර්ග කිහිපයක් ද ඊට ඇතුලත්ය.
සාමාන්‍යයෙන් ලංකාවේ කීරි සම්බා පරිභෝජනය කෙරෙන සංඛ්‍යාව 10%-15% ත් අතර ප්‍රමාණයක් බව කියැවේ. එහිදී ලංකාවේ බහුලව භාවිතා වන සහල් වර්ගය වී ඇත්තේ නාඩු සහල්ය. වෙළඳපොලේ කීරි සම්බාවලට වැඩි අගයක් ලැබුනු අතර නාඩු සහල්වල මිල ගණන් පහත මට්ටමක පැවතිනි. මේ නිසා බොහෝ ගොවීන් වැඩි ආදායමක් වෙනුවෙන් පසුගිය කන්නයේ වගා කර තිබුණේ කීරි සහල්ය. මේ නිසා කීරි සහල් අතිරික්තයක් රට තුළ ඇතැයි රජය නිවැරදිව සොයා බැලුවහොත් දැනගත හැකිවනු ඇත.
ඉන් සිදුවූයේ ජනතාවගෙන් වැඩි කොටසක් පරිභෝජනය කරන නාඩු සහල් හිඟයක් ඇතිවීමය.
සහල් හිගයේ අනෙක් කාරණය වී තිබුණේ ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වු විට අඩු මිලට සහල් දෙන බවට සමහර සහල් හිමියන් විවිධ ප්‍රකාශ නිකුත් කර තිබීමයි.
ඉන් සිදුවූයේ ගොවීන් කඩිනමින් තමා සතුව තිබූ සහල් තොග සහල් හිමියන්ට විකිණීමට කටයුතු කිරීම වන අතර එහිදී දහදාහට දෙන මිටිය අටදාහකට ගනිමින් සමහර සහල් හිමියන් බිලියන ගණනක ආදායම උපයා ගැනීම සිදු කර ඇත.
එසේම ඒ ලබාගත් සහල් බහුතරයක් කීරි සහල් තොගවේ.
කෙසේ වුවත් ඒ ඒ කන්නයේ වගාකළ යුතු භෝග වර්ගයන් පිළිබඳ නිසි ගණනයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැනි ආයතනයන් හරහා හෝ සහායක් නිසි ලෙස ලැබෙන්නේ නම් මෙම ප්‍රශ්න මෙතරම් උග්‍ර නොවනු ඇත.
දැන් ගොවීන්ට වගා කළයුතු දේ පවසන්නේ සහල් හිමියන්ය.
එසේ සිදුවී, අනතුරුව සහල් මාෆියාවක් ගැන කතාකර ඵලක් නැත.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන මාලිමා රජය මෙම ප්රශ්නය නිසි ලෙස වටහා ගෙන නැති අතර අර්බූධයට පිළියමක් ලෙස පිටරටින් සහල් ගෙන ඒමට තීරණය කර ඇත.
පිටරටින් සහල් තොග මෙරටට ලැබුනු විට අප්‍රේල් මාසයේ අස්වැන්න නෙලන ගොවියා කබලෙන් ළිපට වැටෙනු අනිවාර්යය.
කුරුඳුවත්තේ වික්‍රමසිංහට ගොවිතැන ගැන සන්වේදනයක් නොමැති වූවත් තඹුත්තේගම අනුරකුමාරට මෙන්ම ගොවිතැන සමීප නාමල් කරුණාරත්න, ලාල් කාන්ත වැන්නන්ට මේ පිළිබඳව අවබෝධයක් තිබිය යුතු බව අපගේ හැඟීමය.
එහෙත් ආණ්ඩුව ප්රශ්නය හඳුනාගෙන නැත.
කන්නයේ අස්වැන්න පිළිබඳ ගණන දත්ත නොමැති, ඊළඟ කන්නයේ වගාකළයුතු භෝග ප්‍රමාණයන් දක්වන්නට නොහැකි කෘෂිකර්ම අමාත්‍යාංශ, සහ දෙපාර්තමේන්තු කුමකටද?
අවසානයේ සිදු වූයේ සහල් කිලෝවකට ඉතා ඉහළ අගයක්, සහල් හිමියන්ගේ සිත් සනසමින් 'පාලන මිල' ලෙස තහවුරු වීම පමණි.
@සමාරා පරණවිතාන