ජාතික ජන බලවේගය ආණ්ඩු බලයට පත් වීමත් සමඟම දේශපාලන චින්තකයින් හා
විචාරකයන් අතර වමේ හා දකුණේ දේශපාලනය ගැන අලුත් සංවාදයක් ඇරඹී ඇත.
විශේෂයෙන්, ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට සමාන්තරව කොළඹ පොත් ප්‍රදර්ශනයේදී එළි දැක්වූ අනුරුද්ධ ප්‍රදීප් මහතාගේ "කොළපාට සමාජයේ අවසානය" ග්‍රන්ථයත් සමග සංවාදයට පාත්‍ර වූ වාමාංශික කඳවුරේ හා දක්ෂිණාංශික කඳවුරේ දේශපාලනය පිළිබඳ කතිකාව මෙහි එක් ආරම්භයකි. ඔහුට අනුව, ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වාමාංශික කඳවුරේ විශිෂ්ඨ ජයකි.
තවත් අයුරකින් කිවහොත් කොළපාට සමාජය සංකේතවත් කළ දක්ෂිණාංශික දේශපාලනයේ අන්ත පරාජයකි. එම පරාජයට වගකිව යුතු ලාංකික දක්ෂිණාංශික දේශපාලනයේ මූලයන්ගේ සිට පැමිණි ඓතිහාසික විකෘති භාවිතය පිළිබඳ කර්තෘවරයා තම ග්‍රන්ථයෙන් කරන ලද න්‍යායික හා භාවිතාව පිළිබඳ විවරණය වැදගත් කතිකාවතකට මුල පිරීමකි.
මීට අමතරව, මෙරට සම්ප්‍රදායික මාක්ස්වාදී වාමාංශික පක්ෂවලට එරෙහිව මාරාන්තිකව නැගී සිට ක්‍රියාත්මක වූ තවත් මාක්ස්වාදී වාමාංශික බලවේගයක් වූ ජනතා විමුක්ති පෙරමුණ, දශක හයකට ආසන්න කාලයක් වූ තම භූමිකාව මතුපිටින් පරිවර්තනයකට (ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය විසුරුවා හැර දමා නොමැත) ලක් කොට ජාතික ජන බලවේගය නම් දේශපාලන පක්ෂය නිර්මාණය කොට ගත්තේය. ජවිපෙ නායකත්වයම ජාජබ මුල් පුටුවල සිටියත්, වැඩිමනක් ජවිපෙ ක්‍රියාධරයන් පිරිසක් ජාජබ මහජන නියෝජිතයන් බවට පත්වීමත් සැලකිල්ලට ගත යුත්තේ එතරම් විවාදයට බඳුන් නොවූ කරුණු කිහිපයක්ම නිසාවෙනි.
එනම්, ජාතික ජන බලවේගය එහි අරටු පක්ෂය වූ ජනතා විමුක්ති පෙරමුණ මෙන් මාක්ස්වාදී පක්ෂයක් ද? (ජනතා විමුක්ති පෙරමුණ සැබෑ අර්ථයෙන් ම මාක්ස්වාදී පක්ෂයක් වී නොවීයැයි වෙනම කතිකාවක් ද අතීතයේදී පැවතිණි). කෙසේවෙතත්, එහි නායකයින් තම පක්ෂය ස්ථාන ගත කරනු ලැබුවේ ජවිපෙ යනු මාක්ස්වාදී පක්ෂයක් ලෙසය. ඒ අනුව ජවිපෙ, ජාජබ ය ලෙස සිදුවූ අනුවර්තනය ද වාමාංශික ප්‍රවාහයේ ම සිදු වූ දිගුවක් ලෙස අනුරුද්ධ දැකීම විමතියට කරුණක් නොවන්නකි.
අනික, දක්ෂිණාංශික කඳවුරේ සියළු පක්ෂ සමග අභිමුඛ වෙමින් ජාතික ජන බලවේගය තම දේශපාලන බලකඳවුර මෙවර ගොඩනැගීම නිසා ද එම අර්ථ නිරූපණය නිවැරදි විය හැකිය. නමුත්, මාක්ස්වාදී ඇතැම් විට ජාතිකවාදී ජනතා විමුක්ති පෙරමුණ, විශේෂයෙන් මැතිවරණ දේශපාලනය තුළ දක්ෂිණාංශික දේශපාලන ප්‍රවාහ සමඟින් අතීතයේ දී ප්‍රායෝගික සන්ධානයන් ට පිවිසි බවත් අප අමතක නොකළ යුතුය.
දැන් කෙසේවුවත් ජාතික ජන බලවේගය ආණ්ඩු බලයට පිවිස ඇත. එය දැන් දක්ෂිණාංශික දේශපාලනයේ නැතහොත් ධනවාදයේ සුරක්ෂිත බවට ඓතිහාසිකව ගොඩනැගුණු ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග ද ගණු දෙනු කිරීමට පටන්ගෙන ඇත. රටේ ආර්ථිකයේ සිදුවූ ගැඹුරු කඩා වැටීම හමුවේ ජාතික ජන බලවේග ආණ්ඩුවට වුවද දැන් වෙනත් විකල්පයක් නොමැති බැව් ඉන් හැගී යයි. කෙසේවුවත්, ඒ පිළිබඳව, එම බලවේගයේ එක් පාදමක් වූ ජවිපෙට අනුබද්ධිත, කම්කරු පංතිය හෙවත් වැඩකරන ජනතාව නියෝජනය කළ වෘත්තීය සමිති මේ වන විටත් ප්‍රතිරෝධයකට මුහුණ දෙමින් සිටින බැව් නම් පෙණේ.
මෙම පරිවර්තනය තුළ ජාජබ ආණ්ඩුව වමේ ජයග්‍රහණයක් ලෙස කරන ලද නිගමනය පිළිබඳ යළි ප්‍රශ්න කරන තැනකට යමින් තිබේ.
එසේම, මෙම සංවාදයට පරිබාහිරව මුහුණු පොතේ සටහනක් තැබු ශිරාල් ලක්තිලක, නදීෂ් ද සිල්වා වැන්නන්, ජාතික ජන බලවේගය නියෝජනය කරන එම ආණ්ඩුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ " අනුරවාදය" ට එරෙහිව වාමාංශික ඌරූවක් ඇති ජවිපෙ වෘත්තීය සමිති විසින් කරනු ලබන අභියෝගය, වමෙන් දකුණට එල්ල වෙමින් පවතින අභියෝගයක් ලෙසත්, ප්‍රායෝගිකත්වය මුල් කරගත් ආණ්ඩුකරණයකට එරෙහි මෝදු වන වාමාංශික කඳවුරේ කැරැල්ලක් ලෙසත් පෙන්වා දෙති. එබැවින්, ඔවුහු පෙනී සිටින සුන්බුන් වූ දක්ෂිණාංශික කඳවුර එක් කොට නැවත ගොඩනැගීමේ ව්‍යායාම ය කෙරෙහි නැවත සිතා බලන්නට ඔවුන් පෙළඹවන්නක් බවද, එය කෙනෙකුට නිගමනය කළ හැකිය.
වම හා දකුණ දේශපාලනය කඳවුරු පිළිබඳව න්‍යායිකව හා ප්‍රායෝගික භාවිතාව කෙරෙහි නැවත කතිකාවතක් ගොඩ නැගීම කෙසේවෙතත්, එම පාර්ශවයන් දෙකම නියෝජනය කරන චින්තකයින් හා දේශපාලන ක්‍රියාදරයන් කල්පනාවට ගත යුතු ඉතා වැදගත් කරුණක් තිබේ යැයි මම සිතමි.
එනම්, පසුගිය මැතිවරණවල ජනමතයට බලපෑ සැබෑ අර්ථයෙන් ම ක්‍රියාවට නැගෙන යහපාලනයක් සහ එම යහපාලනය ක්‍රියාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන විද්‍යාත්මක ආණ්ඩුකරණයක් කෙරේ ජනතාව තබා ඇති අතිවිශාල බලාපොරොත්තුවය ය.
අවාසනාවකට, දක්ෂිණාංශික ප්‍රධාන දේශපාලන ප්‍රවාහ සියල්ලම ජනතාව ලබා දුන් ඒ වැදගත් පාඩම තවමත් ඉගෙනගෙන නැති බැව් පාර්ලිමේන්තු මැතිවරණයට පසු උද්ගත වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර විගඩමෙන් ම පැහැදිලි වේ...
@බන්දුල චන්ද්‍රසේකර