බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් සහ නවසීලන්තයේ සාම්ප්‍රදායික මඕරි ගෝත්‍රික ප්‍රජාව අතර
මීට වසර 184කට පෙර ඇතිකරගත් ගිවිසුම් ලේඛනය නැවත අර්ථකථනය කිරීම සඳහා නවසීලන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අභියෝගයට ලක්ව ඇත.
ඒ ඊට එරෙහිව දහස් සංඛ්‍යාත මඕරි ගෝත්‍රික ප්‍රජාව ආරම්භ කළ සාමකාමී විරෝධතා පා ගමන නවසීලන්තයේ වෙලින්ටන් අගනුවර පිහිටි පාර්ලිමේන්තුව ආසන්නයටම පැමිණීමත් සමගය.
දින අටක් පුරා කිලෝමීටර් දහසකට වැඩි දුරක් ගෙවමින් 40, 000කට අධික මඕරි ගෝත්රිකවාසීන් මේ පා ගමනට එක්වී සිටින බවත්, ඔවුන් සිය සාම්ප්‍රදායික නර්තන හා ඔවුන්ටම ආවේණික ඇඳුම් පැලඳුම්වලින් සැරසී පා ගමනට එක්වී සිටීමෙන් එය විරෝධතාවකට වඩා සැණකෙළියක මුහුණුවරක් ගත් බවත් විදෙස් මාධ්‍ය මගින් වාර්තා වේ.
එම විරෝධතා පා ගමන මඕරි ගෝත්‍රික ප්‍රජාවේ රැජන වන එන්ගා වයි හෝනෝගේ මූලිකත්වයෙන් පැවැත්වෙන අතර, 27 හැවිරිදි එම තරුණිය මඕරි රැජන ලෙස අභිෂේක ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස මුල් භාගයේදී බවද වාර්තා වේ.
වසර 1840 දී අත්සන් තැබූ බව කියන එම ගිවිසුමෙහි මූලධර්ම නැවත සලකා බැලීම සඳහා වන එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නවසීලන්ත රජය ගත් තීරණයට දැඩි විරෝධය දක්වන මඕරි ගෝත්‍රික ප්‍රජාව එය සිය අයිතිවාසිකම් උදුරා ගැනීමට දරන උත්සාහයක් බව ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
කෙසේ වුවත් එරට පාර්ලිමේන්තුවේදී පළමු වර කියැවීමෙන් එම පනත් කෙටුම්පත සම්මත නොවනු ඇතැයි ද, ඒ සඳහා අඛණ්ඩව සංවාද සිදු කරනු ඇතැයි ද වාර්තා වේ. එම පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමට තවත් මාස 6ක පමණ කාලයක් ගත වනු ඇතැයි ද වාර්තා වේ.