SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අලස සුවය තරම් වර්තමාන යුගයට ආගන්තුක වූ තවත් දෙයක් නැත.

අප අපේ ශ්‍රමය හෙළීම වෙතින් විවේකයක් ගන්නට සිතන්නේ නම් ඒ නැවතත් ශ්‍රමය වෙත එන්නටය.

 

 

වැඩ කිරීම ගැන මෙතරම් ඉහළින් සිතීම අතින් වර්තමානයෙහි වසන අපි, අසාමාන්‍ය මනුෂ්‍යයෝ වෙමු. එසේ කර ඇත්තේ පැරැණි සංස්කෘතිවලින් ඉතා අඩු ගණනක් පමණි. සම්පූර්ණ ඉතිහාසයද පූර්ව ඉතිහාසයද පුරා වැඩ කිරීම සලකා ඇත්තේ අවනම්බුවක් ලෙසිනි.

 

 

ක්‍රිස්තියානි භක්තිකයන් අතර වැඩ යනු විමුක්තියෙහි රසය සහිත දෙයක් යැයි සලකා ඇත්තේ ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානින් පමණි; මධ්‍යකාලීන ක්‍රිස්තියානි ලෝකයෙහි වැඩ කිරීම සහ යාඥා කිරීම සහ උත්සව චාරිත්‍ර එකිනෙක අතරට වැටෙන සේ විසුරුවා තිබිණි.

 

පුරාණ ග්‍රීකයෝ දර්ශනය තුළ විමුක්තිය සෙවූහ; ඉන්දියානුවන් එය භාවනාව තුළ සෙවූ අතර චීන ජනයා විමුක්තිය සෙව්වේ කාව්‍යය සහ පරිසර ප්‍රේමය තුළය. අප්‍රිකානු වැසි වනාන්තරවල, දැන් සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදන්වී සිටින පිග්මිවරුන් වැඩ කළේ දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට පමණි. ඔවුන් මුළුමනින්ම පාහේ ගෙව්වේ අලස සුවයෙන් සැදි ජීවිතයකි.

 

 

ප්‍රගතිය අලස සුවයට ගර්හා කරයි. මනුෂ්‍යයන් බේරා ගැනීමට කළ යුතු වැඩ අති විශාලය. සැබැවින්ම එය අනන්තය. ජයග්‍රහණයෙහි එක් තලයකට ආ කල තවත් එකක් ඉන් පැන නඟින බැවිනි. මේ වූ කලී මිරිඟුවක් බව ඇත්තය. එහෙත්, ප්‍රගතිය යන්නෙහි නරකම දේ එය මායාවක් වීම නොවේ. ඒ වූ කලී එය අවසානයක් නැති දෙයක් වීමය.

 

 

ග්‍රීක පුරාණෝක්තියට අනුව ගලක් කඳු මුදුනකට තල්ලු කරගෙන යෑමේ අරගලයක සිසිෆස් යෙදී සිටියි; එය කන්දෙන් අනෙක් පැත්තට රෝල් කර දැමිය යුතු බැවිනි. රොබර්ට් ගේ‍ර්ව්ස් මේ කතාව මෙසේ කියයි.

 

“ඔහු තවම මෙම කාර්යය කිරීමෙහි සමත්වී නැත. ඔහු කඳු මුදුනටම පාහේ ළඟා වූ විගසම, ඒ බිය සැක නැති ගලෙහි බර විසින් සිසිෆස් නැවතත් ආපසු තල්ලු කරනු ලැබේ. ගල නැවතත් කඳු පාමුලටම එයි. ඉතා වෙහෙස වී නැවත ගල පාදාගන්නා සිසිෆස්ගේ සිරුර දහඩියෙන් නෑවී තිබුණත්, සිය හිස ඉහළින් දූලි වලාවක් නැඟුණත්, ඔහු කඳු මුදුන කරා ගමන නැවත ඇරැඹිය යුතුය.”

 

පුරාණ මිනිසාට කෙළවරක් නැති ශ්‍රමය යනු වහලකුගේ ලකුණකි. සිසිෆස්ගේ ශ්‍රමය වැගිරීම වූ කලී දඬුවමකි. ප්‍රගතිය වෙනුවෙන් වැඩ කිරීමේදී අප කැපවන්නේ ඊට වඩා අඩු වහල් භාවයක් සහිත ශ්‍රමය වැගිරීමකට නොවේ.

 

(ලියනගේ අමරකීර්තිගේ ‘පිදුරු බල්ලෝ’ පරිවර්තනය ඇසුරෙනි).

@by mawbima

නවතම ලිපි