SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු  ලංකාවේ ප්‍රභූ පෙළැන්තිය

රෝයල් කල්ලිය සහ සෙන්ට් තෝමස් කල්ලිය වශයෙන් කණ්ඩායම් දෙකකට බෙදී මෙරට පාලන බලය අල්ලා ගත්හ.

 

 

ජේ.ආර්. ජයවර්ධන සහ සර් ජෝන් කොතලාවල රෝයල් කල්ලියට අයත් වූ අතර ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ ඩඩ්ලි සේනානායක අයත් වූයේ සෙන්ට් තෝමස් කල්ලියටය.

 

 

රනිල් වික්‍රමසිංහ රෝයල් කල්ලියේ වර්තමාන නියෝජිතයා විය. ප්‍රභූ පෙළැන්තියේ පාලනය අවසන් වූයේ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ අනුර දිසානායක පසුගිය ඔක්තෝබර් 23 වැනිදා ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙනි.

 

 

ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් විසින් සිදුකළ මෙම විප්ලවකාරී පරිවර්තනයෙන් රෝයල් කල්ලිය වියරු වැටී සිටී. බබ්බු එක්ක දේශපාලනය කරන්න බැරි යැයි රෝයල් කල්ලියේ වර්තමානිකයා වූ හිටපු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ. රනිල් මෙම ප්‍රකාශය කර තිබුණේ අගමැතිනි හරිනි අමරසූරිය සම්බන්ධයෙනි. අප දැනුවත්ව නම් අගමැතිනිය හෝ මාලිමා ආණ්ඩුවේ කිසිවකු ඔවුන් සමඟ දේශපාලනයට එන ලෙස රනිල්ට ආරාධනය කර නැත. අවස්ථා පහක් මේ රටේ අගමැති වී එක අවස්ථාවක් අනුප්‍රාප්තික ජනාධිපති වී රට වර්තමානයේ පවතින අගාධයේ හෙළීමට දායක වූ රනිල්ගේ මේ වියරුව ප්‍රභූ පෙළැන්තිය දේශපාලනයෙන් අතුගා දැමීම නිසා හට ගත්තකි.

 

 

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තවත් තිබෙන්නේ දින 11ක් පමණි. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ඉදිරි දෙසතිය තුළ ආණ්ඩු පක්ෂයට එරෙහි අපකීර්තිමත් බොරු, අපහාස සහ මඩ ප්‍රහාරවලින් ගහනවනු නොඅනුමානය. මං මුළාවී සිටින විපක්ෂය නැඟිටුවා ගැනීමට පෙරමුණ ගෙන සිටින්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස වසර දෙකහමාරක් වැඩබැලූ රනිල් වික්‍රමසිංහය.

 

 

අනෙකුත් දළකාරයෝ ආගිය අතක් හොයාගන්නට නැත. රනිල් වික්‍රමසිංහගේ න්‍යාය පත්‍රයේ මහ මැතිවරණය තිබුණේ තවත් වසර කිහිපයක් ඈතිනි. ජනාධිපති අනුර ඉටුකර තිබෙන්නේ තමා බලයට පත්වූ වහාම මහා මැතිවරණය පවත්වන බවට ජනතාවට දුන් පොරොන්දුවයි.

 

 

ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුරු තුළින් රිංගා අනුප්‍රාප්තික ජනාධිපති ධුරය ඩැහැගත් රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයට බිය විය. පළාත් මැතිවරණය නොපැවැත්වූ ඔහු ජනාධිපතිවරණයද නොපවත්වන්නට උගුල් ඇට වූයේය. රටේ ජනතාවට තමන් කැමැති මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදය ලබාදී තිබෙන්නේ ජනාධිපති අනුර දිසානායක විසිනි.

 

 

දැන් නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන මුසා බස් දොඩන්නට පටන් ගෙන තිබේ. පසුගියදා අප දුටුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අගමැතිනි හරිනිට උගන්වන්නට තමා එන්න දැයි අසන මුග්ධ ප්‍රකාශයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික සිද්ධාන්තය වූ ජනතා පරමාධිපත්‍යයට වැට කඩුලු දමා ක්‍රියා කළ රනිල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දන්නේ මොනවාදැයි කිසිවකු ප්‍රශ්න කළහොත් එය නිවැරැදිය.

 

 

පාරාජිකා වූ විපක්ෂයේ බොහෝ ඇත්තන් දැන් වීරයන් ලෙස රඟන්නේ අනුර ලබා දුන් මැතිවරණ වේදිකාවේය. ජාතික ජන බලවේගය ඉදිරිපත් නොවන්නට ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය අහිමිව රටේ ජනතාවට තවත් අවුරුදු කිහිපයක් නාස්තිකාර දූෂිත ප්‍රභූ පෙළැන්තිය සමඟ දීග කන්නට සිදුවන්නට ඉඩ තිබිණි.

 

 

ජනාධිපතිවරණයේදී උරගා බැලූ ප්‍රජාතන්ත්‍රවාදී ජනමතය මහ මැතිවරණයෙ දී නැවතත් වරක් උරගා බලන්ට ජනතාවට වරම ලැබී තිබේ.

 

තමා හිටපු ජනාධිපතිවරයා වන අතර අනුර දිසානායක සුළුතර ජනාධිපති යැයි රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබිණි. ඔහු  පෙන්වාදී තිබුණේ අනුර ජනාධිපතිවරයා වශයෙන් පිළිගන්නේ ඡන්දදායකයන්ගෙන් 42%ක් පමණක් බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව රනිල්ගේ අවබෝධය එයින්ම පැහැදිලි වේ. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් පවත්වා 58 ලක්ෂයක් ඡන්දදායකයන්ගේ වරම ලැබූ අනුර දිසානායක ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරයා වශයෙන් පත්කර තිබේ.

 

 

පසුගිය සැප්තැම්බර් 22 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවේ අනුර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කළ අවස්ථාවට සහභාගි වූ එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුර ලංකාවේ ජනාධිපතිවරයා නොවන බවත් අනුර දිසානායක සුළුතර ජනාධිපතිවරයා බවත් කොමිසම හමුවේ ප්‍රකාශ කළේ නැත. සමහරවිට එවැනි ව්‍යවස්ථා විරෝධී කතාවක් ප්‍රකාශ කිරීමෙන් තමා හෑල්ලුවට ලක්වන බව ඔහු කල්පනා කරන්නට ඇත.

 

 

ජනාධිපතිවරයා තනතුර අතහැර පැන ගියොත් හෝ මරණයට පත් වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත් කරගත යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර තිබේ. 2020 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවෙන් නෙරපා හරින ලද රනිල් පත්කළ මන්ත්‍රිවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ කල්යල් බලා අරගලයෙන් බැටකා සිටි පොහොට්ටු මන්ත්‍රිවරු 134කගේ ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනාධිපති පුටුවේ වාඩි වූ බව රටම දනී. ජනාධිපති පුටුවේ වාඩි වෙන්නට පාර්ලිමේන්තු වරමක් මිස, ජන වරමක් රනිල්ට තිබුණේ නැත.

 

 

එවකට පාර්ලිමේන්තුවේ සිටි ජාතික ජන බලවේගයේ අනුර ඇතුළු මන්ත්‍රිවරු තිදෙනා කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පිළිනොගන්නා බවක් ප්‍රකාශ කළේ නැත. ඒ ඔවුන්ගේ සදාචාරයයි. රනිල් වික්‍රමසිංහ මේ දිනවල ප්‍රකාශ කරන අන්දමට සුළුතර ජනාධිපතිවරයකු පිළිබඳව මෙරට ආණ්ඩුක්‍රම ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවේ.

 

 

ජේ.ආර්. ජයවර්ධන 1978 සම්මත කළ ව්‍යවස්ථාව හැරුණු විට වෙනත් ව්‍යවස්ථාවක් තිබෙන බව අප අසා නැත.

 

 

මෙවැනි නොගැළපෙන තුට්ටු දෙකේ කතා ප්‍රකාශ කරන්නේ ඔල්මොරොන්දම හැදුණ මිනිස්සුන්ය. ඡන්දදායකයන්ගෙන් 58% ජනාධිපති අනුරට විරුද්ධ බව රනිල් ප්‍රකාශ කළේය.

 

 

තුන් කල් දිවැස් ඇති බමුණාට ළඟ තිබෙන ගොම ගොඩ පෑගෙන බවට, කතාවක් තිබේ. රනිල්ට ජනාධිපතිවරණයෙන් ලැබුණේ ඡන්ද 17%කි. ඒ අනුව බලන කල ලංකාවේ ඡන්දදායකයන්ගෙන් 83%ක් රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය අනුමත කරන්නේ නැත. පසුගිය 2020 මහ මැතිවරණයේදී ලංකාවේ සමස්ත ඡන්දදායකයන්ගෙන් රනිල් වික්‍රමසිංහට ලබාගත හැකි වූයේ ඡන්ද 30,875ක් පමණි. එය 2.61%ක ප්‍රතිශතයකි.

 

 

අවස්ථා 20කට ආසන්න ගණනක් මෙරට ඡන්දදායකයන් විසින් ඔහු මැතිවරණවලින් පරාජයකොට තිබේ. මිනිසුන් වයස්ගත වන විට නැවත නොදරුවන් මෙන් ක්‍රියා කරන්නට පටන් ගන්නා බව සිග්මන් ෆ්‍රොයිඩ්  පවසා ඇත. ඇතැම් විට අප මේ දකින්නේ ඒ තත්ත්වය විය හැකිය. මෙවැනි වියපත් බබ්බු සමඟ දේශපාලනය කරනවාට වඩා රට වෙනුවෙන් කරන්නට බොහෝ වැඩ තිබෙන බව ජාජබ ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ.

 

 

අනුර දිසානායක ජනාධිපතිවරණයේදී ජනතාවට පොරොන්දු වූ පරිදිම නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. රටට පූර්වයෙන් දැනුම් දුන් පරිදි අමාත්‍යාංශ පහළොවක් පිහිටුවා ඇති අතර ජනාධිපති, අගමැති සහ තවත් ඇමැතිවරයකු මේ වනවිට එම අමාත්‍යාංශයන්ට මඟ පෙන්වමින් සිටී. රට පසුකරමින් සිටින්නේ ඉතාමත් සීරුමාරු අවධියකි. නව රජයට නියමිත පීල්ලට වැටී ගමන ආරම්භ කරන්නට හැකි වන්නේ නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමෙන් පසුවය. ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේ රට හමුවේ ප්‍රකාශ කළේ මාලිමාවේ ආණ්ඩුවක් විසින් පොහොසත් රටක් නිර්මාණය කරන බවය. ජාතික ජන බලවේග ආණ්ඩුව උරගා බැලිය හැක්කේ නොවැම්බර් 14 වැනිදායින් පසුවය.

 

 

ජනාධිපතිවරයා විධායක බලය යටතේ ගත හැකි පියවරයන් රාශියක් මේ වන විටත් ගෙන තිබේ. නමුත් බලය අහිමි වී නන්නත්තාර  වී සිටින විපක්ෂ දේශපාලන පක්ෂ උත්සාහ කරන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ ධාන්‍ය රාත්තල් අටේ කතාවට, සිරිමා බණ්ඩාරනායකගේ හඳෙන් හාල් කතාවට, මහින්ද රාජපක්ෂගේ සුබ අනාගතයක් කතාවට, මෛත්‍රිපාල සිරිසේනගේ යහපාලනයට, ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් කතාවට, අනුර දිසානායකගේ පොහොසත් රටක් උදාන පාඨය සමාන කරන්නටය. එහෙත් අපට වැටහෙන අන්දමට ඒ සඳහා  කල් වැඩි බව ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව තීරණය කර තිබේ. එම තීරණයේ ගණන් හිලව් දැකගත හැකි වන්නේ ලබන නොවැම්බර් 15 වැනිදා මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුවය.

 

 

නව රජය ප්‍රථම වරට දේශපාලන කලකෝලාහල, මිනී මැරුම් ශ්‍රී ලංකාවෙන් තුරන් කර තිබේ. ප්‍රචණ්ඩත්වයේ නියමුවන් ලෙස ප්‍රතිවාදීන් විසින් හංවඩු ගසා තිබූ දේශපාලන පක්ෂයක් ඒ සියල්ල සාවද්‍ය බවත් තමන් සාමකාමී යුක්තිගරුක මිනිසුන් බවත් රට හමුවේ ප්‍රත්‍යක්ෂ කර තිබේ. ස්වාධීන මැතිවරණ කොමිසම එළැඹෙන මහ මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ දබරැඟිල්ලේ තීන්ත ගල්වා ලංකාවේ පුරවැසියන්ට සහතික වන්නේ මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ හොර ඡන්ද දැමීම අහෝසි වන බවය.

 

 

යහපත් මැතිවරණ සම්ප්‍රදායක් රටට හඳුන්වා දීමේ කීර්තිය හිමිවන්නේ නව රජයටය. ඒ සියල්ලටම වඩා අසීරු කාරණය ලෙස අපට පෙනෙන්නේ දීර්ඝ කාලයක් තහවුරුව ඇති මඩ ගසාගන්නා දේශපාලනය අවසන් කිරීමය. ශ්‍රී ලංකාවේ ප්‍රභූ පෙළැන්තියේ මුදුන් මල්කඩ වූ රෝයල් කල්ලියේ දේශපාලනය මීට වඩා ක්ලීන් විය යුතුය යන්න අපේ අදහසය. රාජකීය විද්‍යාලයේ කීර්තිය කිලිටි කරන්නට ඉඩ නොදෙන්නට ආදිතමයෝ වග බලා ගත යුතුය.

 

 

රෝයල් කල්ලියට දේශපාලන සදාචාරය පිළිබඳ පාඩම් උගත හැක්කේ ශාන්ත තෝමස් කල්ලියෙනි. ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විද්‍යාලයට ගිය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති ධුරයටද පත්විය. බණ්ඩාරනායක මෙන්ම ඩඩ්ලි සේනානායකද සෙන්ට් තෝමස් කල්ලියේ කීර්ති නාමය ඉහළට ඔසවා තැබීය. ඔවුන් දෙදෙනාගේ ජීවිතවලින් පාඩම් ඉගෙනීමට සිදුවීම හිටපු ජනාධිපති රනිල්ව ලජ්ජා වීමට කරුණක් නොවේ.

 

 

 

@උදේනි සමන් කුමාර

mawbima

නවතම ලිපි