SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගාසා තීරුවේ සිදු කරන අනුකම්පා විරහිත යුද්ධය ඊශ්‍රායලය වෙත ගෙන එන්නේ කීර්ති නාමයක් නොවේ.

එහෙත් ඒ සමඟම ඊශ්‍රායල් ජාතිකයන්ගේ විද්‍යාත්මක සොයා ගැනීම්ද, තාක්ෂණික දියුණුවද ගැන ලෝකයා කතා කරති. ඔවුන්ට තිබූ බව කියන ඓතිහාසික භූමිය අහිමි වීමෙන් පසු ලෝකය පුරා විසිරී ගිය යුදෙව් ජාතිකයන් කැඳවා ඊශ්‍රායල් රාජ්‍ය පිහිටුවනු ලැබිණි.

 

 

අනතුරුව ඔවුහු ගාසා තීරයේ කොටස්ද අත්පත් කර ගනිමින් පලස්තීනුවන්ට ඉන්න හිටින්නට තැනක් නැති කරමින් සිටිති. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ කොට වූ ලෝක  සංවිධාන කුමක් කීවද එම ප්‍රහාර නවතාලීමට හෝ සටන් විරාමයකට පැමිණීමට ඊශ්‍රායලය කටයුතු නොකරයි. අනෙක් අතට ලෝකයේ ප්‍රබල සංවිධානවලට බලපෑම් කළ හැකි ප්‍රබල රටවල් දෙවැනි ලෝක යුද සමයේ සිට ඊශ්‍රායලයේ මිතුරන්ය. දෙවැනි ලෝක යුද්ධයට ඊශ්‍රායලය දුන් උදවුවලට හිලව්වක් වශයෙන් පලස්තීන භූමියට අයත් ප්‍රදේශය තුළ ඊශ්‍රායල් රාජ්‍ය පිහිටුවා ගැනීමට ප්‍රබල රටවල අතහිත නොමඳව ලැබිණි. එය විස්තීර්ණ කර ගැනීමටත් ලෝකයේ නූතන විද්‍යා තාක්ෂණික දැනුමින් අගතැන් පත් රාජ්‍යයක් වීමටත් ඊශ්‍රායලයට හැකි වී තිබීම ඔවුන්ගේ බලය පිළිබිඹු කරන්නකි. මෙසේ ඊශ්‍රායලය පෙන්නුම් කරන තෙදබල සියල්ල පසුපස අඩු වැඩි වශයෙන් පවතින සංවිධානයක් වෙයි. එය ඊශ්‍රායල් බුද්ධි අංශය වන මොසාඩ් සංවිධානයයි.

 

 

මොසාඩ් සංවිධානයේ වික්‍රමයන් ගැන ලියැවුණු කතා බොහෝය. මෑතකදී ලෙබනනයේ සහ සිරියාවේ පණිවුඩ හුවමාරුව සඳහා යොදා ගන්නා පේජර් සහ වෝකිටෝකි විශාල සංඛ්‍යාවක් පුපුරා ගොස් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව තවත් දහස් ගණනක් තුවාල ලැබීමත් සමඟ මොසාඩ් සංවිධානයේ උපක්‍රම  ගැන ලෝකයාගේ අවධානය නැවත යොමු විය. ලොවම තුෂ්නීම්භූත කරමින් මුල්ම වරට ඉකුත් සැප්තැම්බරයේදී ලෙබනනයේ පේජර් සහ වෝකිටෝකි විශාල සංඛ්‍යාවක් පුපුරා යෑම පිටුපස සිටියේ මොසාඩ් සංවිධානය බව පසුව හෙළි විය.

 

 

ලෙබනනයේදී පළමුවරට පේජර්ස් පුපුරා යෑමට ගත්තේ ඉකුත් සැප්තැම්බර් 17 වැනිදා සවස 3.30ට පමණය. නැඟෙනහිර බෙකා වැලි නම් වන බීරූට් අගනුවර දකුණු දිග ප්‍රදේශයේ පැයක පමණ කාලයක් තිස්සේ පේජර්ස් පුපුරා ගියේය. සිරියාවේ සමහර ප්‍රදේශවලද පේජර් පුපුරා ගියේ ඔවුන් වෙත එම ඇණවුමට ඇතුළත් පේජර් බෙදා හැර තිබූ බැවිනි. පසු දිනයේ පේජර් සමඟ වෝකිටෝකිද පිපිරීමට ලක් විය. දින දෙකේදීම මියගිය ගණන 37ක් සහ තුවාල ලැබූවන් ගණන 3000ක් ලෙස වාර්තා විය. තුවාල ලැබූවන් අතර බීරූට්හි සිටින ඉරාන තානාපතිවරයාද විය.  ඊශ්‍රායලය ගාසා තීරයේ යුද්ධය ආරම්භ කළදා සිටම ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීහු පලස්තීනුවන්ට සහාය පළ කරමින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට ගත්හ. ඊශ්‍රායලය හීන් නූලෙන් පේජර් පුපුරවා හැරීමට අරඇද්දේ හිස්බුල්ලා සටන්කාමීන්ට පාඩමක් ඉගැන්වීමටය.

 

 

පසුව ලෙබනන් ආරක්ෂක මූලාශ්‍ර විසින් හෙළිදරවුකොට තිබුණේ මාස කිහිපයකට කලින් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පේජර් ඇණවුම්කොට තිබූ බවත් මොසාඩ් ඔත්තු සේවය මඟින් පේජර් 5000කට පුපුරන ද්‍රව්‍ය ඇතුළු කොට ඒවා එම ඇණවුමට ලැබීමට සලස්වා ඇති බවත්ය. එහෙත් එම පේජර් 5000න් 3000කට පමණක් පුපුරන ද්‍රව්‍ය පිපිරීමට ලබාදෙන කේතය යවා ඇති බවද හෙළි වී තිබිණි. පුද්ගලයන්ගේ සාක්කුවල තිබියදීම පිපිරුම් කේතය පණිවුඩයක් සේ ලැබුණු පේජර් පුපුරාගොස් තිබිණි. ඇසින් දුටු අය පැවසුවේ රතිඤ්ඤා කරලක් සේ පේජර් පුපුරා ගිය බවත් සාක්කුවලින් දුම් පිටවූ බවත්ය.

 

 

ඊශ්‍රායලයේ මැදිහත් වීමෙන් යම් හානියක් සිදුකළ හැකි බැවින් ලෙබනනයේ හිස්බුල්ලා කණ්ඩායම ජංගම දුරකතන භාවිතය හැරදා ඇනලොග් තාක්ෂණය සහිත පේජර් සහ වෝකිටෝකි සන්නිවේදනයට යොදාගෙන තිබුණේද පරෙස්සම ගැන හිතමිනි. ඒ හරහාත් මෙවැනි ප්‍රහාරයක් එල්ල විය හැකිය යන්න ගැන හිස්බුල්ලා සංවිධානයේ අවධානය කිසිසේවත් යොමු වී නොතිබිණි.

 

 

මෙම නොසිතූ ප්‍රහාරයෙන් අනතුරුව ඉහළ පෙළේ ලෙබනන් නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූහ. එතෙක් නොපිපිරුණු පේජර් මේ සඳහා යොදාගන්නා ලදී. පුපුරන ද්‍රව්‍ය සඟවා තිබුණේ එම පේජර්වල බැට්රි තුළ බව එහිදී හෙළිවිය. එය කිසිසේත්වත් සොයා ගැනීමට නොහැකි තරම් වූ අතර ඉහළ මට්ටමේ තාක්ෂණයක් බව හෙළිදරවු වී ඇත. එසේම ලෙබනන් නිලධාරීහු එතෙක් නොපිපිරුණු සහ පුපුරන ද්‍රව්‍ය අඩංගු කර තිබූ පේජර් පාලිත තත්ත්ව යටතේ පුපුරවාද බැලූහ. සැප්තැම්බර් 17 වැනිදා සමහර පේජර්ස් පිපිරී නොතිබුණේ එම අවස්ථාවේ ඒවා වසා තිබූ හෙයින් බවද හෙළිවිය. වසා තිබූ බැවින් පිපිරවීමට අවශ්‍ය කේතය එම පේජර්වලට ලැබී තිබුණේ නැත.

 

 

ඊශ්‍රායලය ලෙබනනයේ සිදුවූ පේජර්, වෝකිටෝකි පිපිරීම් ගැන කෙළින් කතා කළේ නැත. නමුත් පිපිරීම් සිදුවූ දිනට පසු දින ඊශ්‍රායල් ආරක්ෂක ඇමැති යොආව් ගැලන්ට් (Yoav Gallant) උපක්‍රමික ලෙස පේජර්-වෝකිටෝකි ප්‍රහාරය පිටුපස ඊශ්‍රායලය හිඳින බව අඟවා තිබුණේ ‘විශිෂ්ට ජයග්‍රහණයක් මොසාඩ් සහ ෂින්බෙට් සමඟ’ යනුවෙන් පවසමිනි. මෙහි ෂින්බෙට් යනුවෙන් හ¾දුන්වා ඇත්තේ ඊශ්‍රායල් ආරක්ෂක සමාගමයි. පේජර් පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයට සහභාගි වූ ඉහළ පෙළේ ලෙබනන් නිලධාරියකු CNN පුවත් සේවයට දන්වා තිබුණේ පුපුරන ද්‍රව්‍ය ලිතියම් බැටරියේ තුනියට ගා තිබූ බවයි. මෙය කිසිසේත්වත් සොයාගත හැක්කක් නොවන අතර තමා කිසිදිනක මෙවැනි පිපිර විය හැකි  අවියක් දැක නොමැති බවද ඔහු සඳහන් කර තිබිණි.

 

 

ඊශ්‍රායලය හැඳින්විය හැක්කේ තම සතුරන් වටේටම සිටින කුඩා භූමියක් ලෙසයි. ඊශ්‍රායලයට නීත්‍යනුකූලව අයත් භූමි ප්‍රමාණය වර්ග කි.මී. 22,145කි. එය අප රටටත් වඩා කුඩා භූමියකි. පලස්තීනයට අයත්ව තිබූ භූමි ප්‍රදේශයෙන් ප්‍රබල ජාතීන් විසින් වෙන් කර දුන් බිමක් හෙයින්ද දිගින් දිගටම පලස්තීනයට අයත් භූමිය අත්පත් කරගෙන සිටින බැවින්ද ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගෙන් එදා සිටම ප්‍රහාරයන් එල්ල වෙයි. ඊට අමතරව ඉරානයේ සහාය ලබන සිරියාව සහ ඉරාකය සමඟද ලෙබනන් දේශසීමාවේ සිටින හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් සහ යේමනයේ හූදි සටන්කාමීන්ගෙන්ද ඊශ්‍රායලයට නිරතුරුව ප්‍රහාර එල්ල වෙයි. මෙකී සතුරු ප්‍රහාරවලින් ආරක්ෂා වීමට මෙන්ම පෙරළා සතුරන්ට වින කැටීමටද ඊශ්‍රායලය නොපසුබටව කටයුතු කරයි. ඒ සඳහා උපාය මාර්ගික සැලසුම් සෑදීමට ලොව සිටින දක්ෂතම බුද්ධි අංශයක් ලෙස සැලකෙන ඊශ්‍රායලයේ රහස් ඔත්තු සේවය වන මොසාඩ් සංවිධානයෙන් ලැබෙන පිටු බලය ඉමහත්ය. අප සඳහන් කළ පේජර් සහ වෝකිටෝකි පිපිරවීමට අමතරව ඊශ්‍රායලයේ මොසාඩ් තම රාජ්‍ය විසින් සතුරන් ලෙස හ¾දුනාගත් අය විනාශ කිරීම සඳහා සිදු කර ඇති කටයුතු බොහෝය. ඉන් කිහිපයක් මෙහි ඇතුළත් කරන්නේ මොසාඩ් යනු කවරාකාරයේ බුද්ධි සංවිධානයක්දැයි හ¾දුනා ගැනීම සඳහාය.

 

 

පලස්තීන විමුක්ති පෙරමුණේ සාමාජිකයකු වූ වඩී හඩ්ඩඩ් (Wadie Haddad) ඝාතනය ඉන් එකකි. ඊශ්‍රායල් මාධ්‍යවේදී ආරොන් ක්ලීන් Aaron Klen) ලියූ Striking Backහි සඳහන් වන අන්දමට වඩී හඩ්ඩඩ් ඝාතනය කිරීමට පළමුව ඔහුට බෙල්ජියම් චොක්ලට් කවා තිබේ. මොසාඩ් එසේ හඩ්ඩඩ්ට බෙල්ජියම් චොක්ලට් කවා ඇත්තේ ආදරයට නොවේ. එම චොක්ලට්වල තුනී තට්ටුවක් ලෙස වස අතුරා තිබී ඇත. එසේම එම වස වර්ගය ඉතා සෙමින් ක්‍රියාත්මක වන්නක් බව පසුව හෙළිදරව් වී  තිබේ. පසුව අනාවරණය වී ඇත්තේ හඩ්ඩඩ්ගේ දත් බෙහෙත්වලටද වස එක් කර ඇති බව හෙළිදරව් වූ බව ‘ඩේලි ස්ටාර්’ පුවත්පත සඳහන් කර තිබිණි. හඩ්ඩඩ් පාවිච්චි කරන දත් බෙහෙත්වලට සමාන දත් බෙහෙතක් ලෙස එම වස ලබාදී ඇත. එය සාදනු ලැබ ඇත්තේ ඊශ්‍රායලයේ ජීව විද්‍යා ආයතනය මඟිනි. 

 

 

මෙවැනිම මෙහෙයුමක් කරමින් ඉරාන ආරක්ෂක අංශයේ තිදෙනකු ලවා හමාස් නායකයා ඝාතනය කළේද මොසාඩ් සංවිධානයමය. ඒ සඳහා ඉස්ලාමික් විමුක්ති බළකායේ  සංචාරක හෝටලයක කාමර තුනකට ඔවුන් ලවා පුපුරන ද්‍රව්‍ය තැබීමට කටයුතු කළේය. දුරස්ථ පාලකයක් මඟින් ඒවා පුපුරවා හැරීමට කටයුතු කෙරුණු අතර මෙම පිපිරීම සිදුවූයේ හමාස් නායක ඉස්මයිල් හනියේහ් නැවැතී සිටි හෝටලයේ බව ‘ද ටෙලිග්‍රාෆ් ‘ පුවත්පත සඳහන් කරයි. බදාදා දිනෙක උදෑසන 2.00ට සිදුවූ එම පිපිරීමෙන් ඉරාන ජනාධිපතිවරයාගේ සමාරම්භක උළෙලට සහභාගි වීමට පැමිණ සිටි හමාස් නායක හනියේහ් ජීවිතක්ෂයට පත් විය. 

 

 

@ රු. කාරියවසම්

mawbima

නවතම ලිපි