ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මැතිවරණ රැලිය පසුගිය 30 දා
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්විනි.
ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පැවති රැළියේ දී මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති රැස්වීම අමතමින් කියා සිටියේ මාලිමාවේ හොඳම උගතුන් බුද්ධිමතුන් සහ දක්ෂයන්ගෙන් මෙවර පාර්ලිමේන්තුව පිරවීම කළ යුතු බවත් ඒ වෙනුවෙන් ඉදිරි සති දෙකේදීත් අධිෂ්ඨානයෙන් ක්‍රියාකළ යුතු යුතු බවත් ය.
"අනුර සහෝදරයා ජනාධිපති වූ පසුව මාතර ජනතාව හමුවන පළමු අවස්ථාව මේක. මාතරින් විශේෂත්වයක් කරලා, මේ රට පොහොසත් රටක් බවට පත්කර, ලස්සන ජීවිතයක් ගොඩනැගීම සඳහා අපි අනුර සහෝදරයාට දෙන තෑග්ග මොකක්ද? මාතරින් වාර්තාවක් තියලා ඉහළම මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් ලබාදීමේ හැකියාව අපට තිබෙනවා. දකුණු පළාතෙන් පළමු වතාවට සිංහල සිංදු කියන කිරිල්ලිය, සරෝජා පෝල්රාජ් සහෝදරිය දමිළ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යවනවා. ඒ වගේම වැලිගම විතරක් නොවෙයි, මාතර දිස්ත්‍රික්කයේම ආදරය දිනාගත් ඉල්ලියාස් සහෝදරයා සියලුම තරුණ ජනතාවගේ ආදරය දිනාගනිමින් ඉදිරියට යනවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාගේම සහෝදරත්වය සහ ආදරය දිනා ගැනීමේ නියෝජිතයන් වේදිකාවේ ඉන්නවා. කුමරප්පෙරුම සහෝදරයා මුලදී අකමැති වුණත් අපි බලෙන් අරගෙන ගැටගහලා යන්න නොදී තියාගත්තා. ඒ වගේම අවුරුදු දහයක් පහළොවක් සහ ඊට වැඩි බොහෝ කාලයක් පුරා අපි පිටිපස්සේ ඉඳන් ගැම්ම දුන්නු බොහෝ පිරිසක් නියෝජනය කරමින් වරදාන වරප්‍රසාද කිසිවක් නොතකා කටයුතු කරමින් සිටිනවා. අපි හැමෝම දකින සිහිනය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් හැමදාමත් සටන් කළ විශාල පිරිසක් අප පිටුපසින් නොසැලී ඉන්නවා.
2020 මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයෙන් අපට එක් මන්ත්‍රී ධුරයක්වත් ගන්න නොහැකි වූ අවස්ථාවේ මාතර පොළේ වඩේ බදින බව දැක්වෙන මගේ පින්තූරයක් සහිත පොස්ට් එකක් ෆේස් බුක් එකේ දමා තිබුණා. ඔහුගේ එම පෝස්ට් එකෙන් තමයි අපි ධෛර්යය සහ ශක්තිය වඩාත් වැඩියෙන් ගත්තේ. ඒ පෝස්ට් දාපු සහෝදරයාට බොහොම ස්තුතියි.
මාතර දිස්ත්‍රික්කයට පක්ෂ 16ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් තරක කරනවා. නමුත් ඒ කිසි කෙනෙකුගේ කාර්යාල නැහැ. ජන හමු නැහැ. රැස්වීම් නැහැ. හැමදෙයක්ම තිබෙන්නේ මාලිමාවෙන් විතරයි. හිටපු කැබිනට් ඇමතිවරුන්ට, ආණ්ඩුකාරවරුන්ට, ඒ අයගේ පුතාලාට කිසිම ජන හමුවක් පවත්වන්න හැකියාවක් නැහැ. කථානායකලා සහ ඒ අයගේ පුතාලත් ඉන්නවා. ඒ කිසිවෙකුටත් ජනතාව අතර ඉඩක් නැහැ. ඒ නිසාම සමහර අය ජාතික ලැයිස්තුවට පැනලා ඉන්නවා. ඔවුන්ගේ දේශපාලනය අවසන් කරන කොට ජාතික ජන බලවේගය වැඩ ආරම්භ කර තිබෙනවා. නන්දා මාලිනියගේ පවන ප්‍රසංගයේ සමහර ගීත අහනකොට අපේ මේ ජීවිතයේදී යථාර්ථයක් කර ගත හැකිවේ යැයි කවදාවත් හිතුවේ නැහැ. අපි දේශපාලනය ආරම්භ කළේ අප විසින් පවරා ගත් කොටස අවසන් කරන්න. සුනිල් ආරියරත්නයන් ලියූ ඒ ගීතයේ තිබෙන්නේ “රජෙක් ලැබුණෝතින් කැවුම් කිරිබත් කඤ්ඤම් - පෙරහැර කරඤ්ඤම් - සාදුකාරෙන් ගිගුම් දෙඤ්ඤම්” කියන ගීතයයි. එහි අවසානයේ තිබෙන්නේ “අප සම බිමක රඳවන සොහොයුරානෝ - රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ” කියලයි. එදා 87/90 කාලයේ දඟගෙයි දැමූ වදකාගාරවල අනේක විද දුක්විඳි සහෝදර සහෝදරියන් ඇතුළු මේ රටේ සුවහසක් ජනතාවගේ ප්‍රාර්ථනාව අප සම බිමක රඳවන පළමු පියවර තබා තිබෙනවා. ඒ සියලු ජයග්‍රහණ අත්කර දුන්නේ මේ ජනතාව. බංකොලොත්භාවය නිල වශයෙන් ප්‍රකාශ කළ, ලෝකය ඉදිරියේ අවමානයට පත්වූ රටට අද ආඩම්බරයක් ගෞරවයක් සහ බලාපොරොත්තුවක් දී තිබෙනවා. ජනතාව තමන්ගේ පරමාධිපත්‍යය බලය පෙන්වා දැන් ටෙලි නාට්‍යවලට අමතරව ප්‍රවෘත්තිත් බලන්න පටන්ගෙන තිබෙනවා. ජනතාව ජනාධිපතිවරණයට ගැහුව කතිරයෙන් පාර්ලිමේන්තුව සුද්ද වීම ආරම්භ වී හැට ගණනක් ස්වේච්ඡාවෙන් ඉවත්වී සිටිනවා.
දැන් තිබෙන්නේ තුන්දෙනෙකුගේ ආණ්ඩුවක්. නොවැම්බර් 14 වැනිදා ඒ තුන්දෙනාට අමතරව ශක්තිමත්ම කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ගන්න පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ගන්න ඕනෑ. පසුගිය ජනාධිපතිවරණයේදී මාලිමාවට ඡන්දය දෙන්න බැරි වුණු අයට මහා මැතිවරණයේදී ඡන්දය දෙන්න ඕනෑවටත් වඩා හේතු දැන් නිර්මාණය කර තිබෙනවා. මාලිමාවේ හොඳම උගතුන් බුද්ධිමතුන් සහ දක්ෂයන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ. ඒ වෙනුවෙන් ඉදිරි සති දෙකේදීත් අධිෂ්ඨානයෙන් ක්‍රියාකළ යුතු වෙනවා. විශේෂයෙන්ම මාතර ජනතාවට ආශිර්වාදයක් ලෙස ගිං-නිල්වලා යෝජනා ක්‍රම යොදාගෙන සංචාරක සහ ධීවර කර්මාන්තයත් ඉහළටම ගොඩනංවමින් රට පොහොසත් කරන ආර්ථිකයේ විශාලතම පංගුව මාතර දිස්ත්‍රික්කයෙන් ලබදෙනවා.
අපේ ඉතිහාස කතාව ලියන දවසක 2024 වන විට පාපතර පාලකයන් නිසා ඖෂධ විෂ වී ජනතාව මිය යමින් සිටි අවස්ථාවක ජනතාව එකතු වී නව පුනරුද යුගයක් ආරම්භ කළ බව අභිමානයෙන් ලියාවි. අපට මිනිසුන්ගේ ආදරය හැර වෙන මොකුත් එපා. වාර්තාගත ජයග්‍රහණයකින් මාලිමාව දිනවන්න හැමදෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා".