අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට පළමුවෙන්ම ආ විදේශ රාජතාන්ත්‍රිකයා
ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ය. ඔහු පැමිණියේ නව ජනාධිපතිවරයාගේ තේරී පත්වීමට ශුභාශිංසන පිළිගැන්වීමට මෙන්ම ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන්නැයි එරට අගමැතිවරයාගේ ඇරියුමක් ද රැගෙනය.
ඉන්දියාව ‘අසල්වැසියාට පළමු තැන’ ප්‍රතිපත්තිය සහ සාගර ඉදිරි දැක්මට අනුකූලව අන්‍යොන්‍ය ප්‍රතිලාභ සඳහා දෙරටේ දිගුකාලීන හවුල්කාරීත්වය තවදුරටත් තහවුරු කිරීමට කැපවීම ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ සංචාරයෙන් අවධාරණය කරන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේය.
ඉන්දියාව ලංකාවේ ආයෝජන අවස්ථා ගණනාවක්ම ඉකුත් කාලයේ ලබාගෙන ඇත. උතුරේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අදානි සමූහ ව්‍යාපාරයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය වහා ඇරඹීමට ඉන්දීය රජය දැඩි බලාපොරොත්තුවක් තබා ඇති අතර එයට එරෙහි මතවාදයක් පසුගිය කාලයේ රටේ මතුවී ආවේය.
එමෙන්ම දෙරට අතර යෝජිත ඉන්දු -ලංකා සමුද්‍රීය මාවත සඳහා ඉන්දීය රජය ඉකුත් කාලයේ සාකච්ඡා වාර කිහිපයක්ම පැවැත්වීය. ඒ සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කැර ඇත. මෙම ව්‍යාපෘති නව රජය යටතේ ද දිගටම පවත්වාගෙන යාම ඉන්දීය රජයේ බලාපොරොත්තුවය.
ඉන්දියාව සෑම විටම තමා සමග දේශසීමා ඇති අසල්වැසි රටවලට වඩා කිට්ටු මිත්‍රත්වයක් ලංකාව සමග පවත්වාගෙන ආවේය. පාකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය සමග පැවැති සබඳතා ගැටුම්කාරී තත්ත්වයක පැවැති හැම විටම ඉන්දියානුවන්ගේ සමීප මිත්‍රයා වූයේ ශ්‍රී ලංකාවය. 1977 දී බලයට ආ ජේ.ආර්.ගේ එජාපය සමග බරපතළ හිත්රිදීම් ඇතිකර ගන්නාතුරුම, ඉන්දියාව එජාප ආණ්ඩු සමගත් ඉතාම සමීපයෙන්
කටයුතු කළේය.
ජනතා විමුක්ති පෙරමුණ 1987-89 සමයේ ක්‍රියාත්මක කළ සන්නද්ධ කැරැල්ලේදී ඉන්දියාවට එරෙහිව ප්‍රබල විරෝධයක් එල්ල කළේය. වාමාංශික කලාපයක් ලෙස ජවිපෙ තම සාමාජිකයන් සඳහා පැවැත්වූ පන්ති පහෙන් එකක් වෙන්වූයේ ඉන්දීය ව්‍යාප්තිවාදය හෙළා දැකීම සඳහාය.
1988 මැයි 26 වැනිදා ජවිපෙ නායක රෝහණ විජේවීර සහ ලේකම් උපතිස්ස ගමනායකගේ අත්සනින් නිකුත් කළ ජවිපෙ මධ්‍යම කාරක සභාවේ ප්‍රකාශනයක මෙසේ සඳහන් විය.
“නීති විරෝධීව බලයේ සිටින ජයවර්ධන-තොණ්ඩමන් හවුල් ආණ්ඩුව ඉන්දීය අධිරාජ්‍යවාදයේ සරණ ගොස් ඉන්දීය අධිරාජ්‍යවාදයට අපේ පීතෘ භූමිය පාවාදී ඔවුන්ගේ පස්වැනි සේනාංකයට ලංකාවෙන් තුනෙන් පංගුවක් වරදාන වශයෙන් පුදා ඇත්තේ තවදුරටත් නීති විරෝධීව බලයේ සිටීම සඳහා ඔවුන්ගේ දේශපාලන හා යුද්ධමය සහාය ලබාගැනීම පිණිස බව ඉතාමත් පැහැදිලි ලෙස ඔප්පුවී තිබේ. පසුගාමී ඉන්දීය ධනවාදය සිය අභ්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඉන්දීය බැංකුකරුවන්ට කර්මාන්තකරුවන්ට තම රටින් පිටත නිමි භාණ්ඩ සඳහා වෙළෙඳපොළවල් සෙවීමට බලකරනු ලැබ ඇත. මේ සඳහා තුන්වැනි ලෝකයේ වඩා දුර්වල අසල්වැසි රටවල් වෙතට ඉන්දියාව ස්වභාවයෙන්ම නැඹුරුවී සිටී. ඉන්දීය ධනේෂ්වර පන්තියේ ‘ආධාර’ වෙළෙඳ ප්‍රතිපත්ති තාක්ෂණ හුවමාරු විදේශ ආයෝජන කොන්ත්‍රාත් සහ බැංකු කටයුතු සියල්ලමත් මුළු මහත් විදේශ ප්‍රතිපත්තිමත් මේ මත ගොඩනැගී ඇත.’’
එසේ කියන ජවිපෙ නායකයන්ගේ එම නිවේදනය පිටු 18ක් පුරා විහිදුණු දැවැන්ත විග්‍රහයක් ඉන්දියාවේ ලංකා මැදිහත්වීම හා මතු බලාපොරොත්තු ගැන ඉදිරිපත් කරයි. අද විජේවීර ජීවතුන් අතර නැතත් ඔහුගේ පක්ෂය රටේ පාලන බලයට පත්වී සිටී. එම ජවිපෙ කැරැල්ලේදී ඉන්දීය භාණ්ඩ තහනම් කිරීමට ජවිපෙ තීරණය කළ අතර, එය පොදු ජනයාට පිළිපැදීමට අසීරු ජවිපෙ නියෝගයක් විය. එකල පරිප්පු පවා ගෙන ආවේ ඉන්දියාවෙනි. ඒ සමගම මෙරට සිටි ඉන්දීය ව්‍යාපාරිකයන් කිහිප දෙනකුම ජවිපෙ විසින් මරා දමනු ලැබූ අතර ඉන්දීය දේපළ කිහිපයක්ද ගිනිබත් කරන ලදී. තමන්ගේම වැරැදි තීන්දු හේතුවෙන් ජවිපෙ නායකත්වය විනාශ වූයේ 1989 නොවැම්බර් හා දෙසැම්බර් මාසවලදීය. එනම් ඉන්දීය විරෝධයක් පෙන්වූ ජවිපෙ කැරැල්ලේ උත්ප්‍රාසය හෙළිවූයේ ඉන් ටික කලකට පසුවය.
නොමැරී බේරුණු ජවිපෙ නායකයන් කිහිප දෙනකු පණ බේරාගෙන රටින් පලාගියේ ඉන්දියාවේ උදව්වෙන් වීම ඒ උත්ප්‍රාසය ය. ඉන් එක් අයකු වූයේ සෝමවංශ අමරසිංහ ය.
මෙරට සිංහල ජාතිය බිහිවීම පිළිබඳ සුප්‍රකට මතය අනුව ඉන්දීය විජිතකරණයට මුලින්ම නතුවූයේ විජයකුමාරයා වංග දේශයෙන් මෙරටට ගොඩබැස එකල ලක්දිව රාජිනිය වූ කුවේණිය සමග අතිනත ගැනීමෙනි. ඉන්පසුව අදත් විදේශිකයන් සමග සරණ යන බොහෝ අයට සිදුවෙන සේ, තම පළමු බිරිය අතහරින විජය කුමරු, දක්ෂිණ භාරතීය මදුරා පුරයෙන් කාන්තාවක් ගෙන්වාගෙන ඇය සරණපාවා ගත්තේය. විජය සමග පැමිණි තවත් හත්සියයක පිරිවර ද දක්ෂිණ භාරතීය තරුණියන් ගෙන්වා සරණපාවා ගත් අතර සිංහලයේ ආරම්භක මූලය වූයේ ඔවුන්ය.
ඉන්පසුව කලින් කලට මෙරට ඉන්දීය විජිතකරණයට ලක්වූ බව රහසක් නොවේ. එළාර ඇතුළු අනුරපුර හා පොළොන්නරු යුග ඇතුළු ඉන්දීය ආක්‍රමණ සියල්ල නූතනය අනුව විග්‍රහකරතොත් විජිතකරණය හැර අන්දෙයක් නොවේ. ආක්‍රමණික සේනා දහස් ගණන් මෙරට පදිංචිවීම එම සියලු ආක්‍රමණවල අවසන් ප්‍රතිඵලය විය.
ඉන්දීය විජිතකරණය එදා මෙදාතුර සෑම යුගයකට සිදුවෙන ක්‍රියාදාමයකි. විජේවීර එදා කීවේ ඉන්දියාව මෙරට ඔවුන්ගේ විසිහයවැනි ප්‍රාන්තය බවට පත්කර ගැනීමට සූදානම් වෙන බවය. විජේවීරගේ අනතුරු ඇඟවීම ඒ ලෙස සිදුවෙමින් 1987 ඉන්දු - ලංකා ගිවිසුමක් බලහත්කාරයෙන් අත්සන් කරවූ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි, ලක්ෂ එකහමාරක ඉන්දීය හමුදාවක්ද මෙරට එවීය.1987 ජුලි මස සිට 1990 දක්වාම මෙරට උතුර හා නැගෙනහිර පළාත් පාලනය වූයේ ඉන්දීය හමුදාව අතිනි. ලෝකයේ හොඳම ස්වභාවික වරායක් ලෙස සැලකෙන ත්‍රිකුණාමල වරායේ පාලනය ලබාගැනීම ඉන්දියාවේ සිහිනයක් වී තිබිණි. ඉන්දු - ලංකා ගිවිසුමේ ප්‍රතිඵපලයක් ලෙස මෙරටට ආ ඉන්දීය හමුදාව, වසර දෙක හමාරක්ම ත්‍රී’මල වරාය පාලනය කළේ ඔවුන්ගේ සිහිනය මුදුන් පත් කර ගනිමිනි.
එලෙසම නැගෙනහිර පළාතට පැමිණි ඉන්දීය හමුදාව, මෙරට රැඳී සිටි වසර දෙකහමාරක කාලයේදී, නැගෙනහිර පළාතේ ඇති ඛනිජ සම්පත් නිධි පිළිබඳ පූර්ණ විස්තරයක් ලබාගත් බව එකල සිටි ලාංකික හමුදා නිලධාරීන්ට රහසක් නොවේ. ඇතැම් ඛනිජ නිධි විද්‍යාත්මක ගවේෂණයකට ද ලක් කිරීමට ඉන්දියාව එදා පියවර ගත්තේය. ඉන්දියාවේ රාජ්‍ය ප්‍රතිපත්ති ලංකාවේ මෙන් නිතර වෙනස් නොවෙන හෙයින් නැගෙනහිර පළාතේ ඛනිජ සම්පත් අත්පත් කර ගැනීම අදටත් ඉන්දියාවේ අපේක්ෂාව යැයි සමහරුන්ගේ මතය වේ.
ඉන්දියාව කෙතරම් බලවතකු වුවද, වෙළෙඳ නාවික ගමනාගමනයේ දී ඉන්දියාව සිටින්නේ ඉතා අසරණවය. ඉන්දියාව සහ ලංකාව අතර පිහිටි නොගැඹුරු මුහුදු තීරය එයට හේතුවය. මේ හේතුවෙන් විශාල ප්‍රමාණයෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට දකුණු ඉන්දීය වරායවලට පැමිණිය නොහැකිය. දකුණු ඉන්දියාවේ චෙන්නායි, පොන්ඩිචෙරි වැනි වරායවල්වලට විශාල ප්‍රමාණයේ නෞකාවලට පැමිණිය නොහැකිය. ඒ නිසා විශාල ප්‍රමාණයේ නෞකා හැසිරවීම සිදු කෙරෙන්නේ ඉන්දීය බටහිර වෙරළේ අරාබි මුහුදු තීරයේ පිහිටි මුම්බායි (බොම්බාය) වරායේ සහ බෙංගාල බොක්කේ පිහිටි කොල්කටා වරායවලිනි. එහෙත් විශාල රටක් වෙන ඉන්දියාවේ දකුණු දිග ප්‍රාන්තවල ගොවි නිෂ්පාදන සහ කාර්මික අපනයන නැව්ගත කිරීමට මෙම වරාය දෙක පමණක් ප්‍රමාණවත් නොවේ. එය වියදම් අධික කටයුත්තක්ද වෙයි. එමෙන්ම ජාත්‍යන්තර නාවික මාර්ගයේ සිට වැඩි කාලයක් සහ වැඩි මුදලක් ගෙවා මෙම වරාය වෙත යා යුතුය. නවීන ලෝකයේ එය වියදම් අධිකය. එනිසා ඉන්දියාව යෝජනා කර ඇත්තේ දකුණු ඉන්දියාවේ ධනුස්කොඩියේ සිට වැලිපර දූපත්වලට සමාන්තරව ඉදිකරන මුහුදු මහා මාර්ගයකින් දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් දූපත යා කිරීමටය. එතැන් සිට ගොඩබිම් අධිවේගී මාර්ගයකින් ත්‍රීකුණාමල වරාය කරා භාණ්ඩ ප්‍රවාහනයට ඉන්දියාව යෝජනා කර ඇත. දෙරට යා කිරීමට යෝජිත මෙම මාර්ගයේ දුර කිලෝමීටර් 32කි.
කොළඹ වරායට පැමිණෙන භාණ්ඩ ධාරිතාවෙන් සියයට හැත්තෑවක්ම ඉන්දියාවට අයත්ය. එයට හේතුව, ඉන්දියානු වරායවලට විශාල ප්‍රමාණයේ නෞකාවලට යා නොහැකි නිසා කුඩා නෞකාවලින් කොළඹ වරයාට රැගෙන විත් එතැන් සිට පිටරටවලට යැවීමය. මෙම සියයට හැත්තෑවට ඉන්දියාවට එන සහ යන බඩු දෙකොටසම අයත් වෙයි. මුහුදු මාවතක් ඉදිකිරීම මගින් ඉන්දියාව අපේක්ෂා කරන්නේ කොළඹ වරායට ප්‍රතිනැව්ගත කරන බඩුභාණ්ඩ කන්ටේනර් මුහුදු මාවත දිගේ ත්‍රිකුණාමල වරායට ලොරි රථ මගින් එවා එතැනින් නෞකාවලට පැටවීමය. මෙමගින් ත්‍රිකුණාමල වරාය ද වේගවත් සංවර්ධනයකට ලක්වෙනු ඇත. එය රටට වාසියකි.
2002 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා රජය තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර ගොඩබිම් පාලමක් යෝජනා කළේය. ඒ සඳහා ගිවිසුම ද අත්සන් කෙරිණි. එවකට අග්‍රාමාත්‍යවරයා වූයේ රනිල් වික්‍රමසිංහ ය. මෙම ගිවිසුම අනුව දෙරටටම විශාල ආර්ථික ප්‍රතිලාභ ලැබෙන පරිදි මහා මාර්ගයක් සාදා දුම්රිය මාර්ගයක් සඳහා පාලම් ඉදිකෙරේ. මෙහිදී පළමු විරෝධතාව පැමිණියේ තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතාගෙනි. ඇය තර්ක කළේ, මෙම ප්‍රශ්න ආර්ථික වශයෙන් පමණක් නොව ඉන්දියාවේ සහ ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද බැලිය යුතු බවය. සාමකාමී තමිල්නාඩු ප්‍රාන්තය තුළට එල්ටීටීඊය තුවක්කු හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගෙන එනු ඇතැයි ඇය බිය වූවාය. පාලම පිළිබඳ සංකල්පය නොමේරූ සහ නුවණට හුරු නැති එකක් ලෙසද ඇය අර්ථ දැක්වූවාය. එල්ටීටීඊ සාමාජිකයන් සහ බෝම්බකරුවන් රට තුළට ඇතුළුවීම වැළැක්වීමට ඉන්දීය ආරක්ෂක අංශ අසමත් වෙනු ඇතැයි ද ජයලලිතා කීවාය. ඒ බිය සහේතුකය. මන්ද යත් එකල එල්ටීටීඊය ක්‍රියාත්මකව තිබූ බැවිනි. දැන් යුද්ධය අවසන්ය. ලංකාවේ උතුරු නැගෙනහිර තරුණයෝ ආදායම් මාර්ග සොයමින් සිටිති. මෙවැනි දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රමයකින් ඔවුන්ට බොහෝ ඵල ප්‍රයෝජන ලැබෙනු ඇත.
මෙම මුහුදු මහා මාර්ගය ඉදිකෙරුණු පසු මිනිසුන් සහ භාණ්ඩ ප්‍රවාහනය යන දෙකටම වැඩි ආර්ථික අවස්ථා ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය දෙරට අතර නාවික ගමනාගමනයේ වැඩි වියදම අඩුකරන අතර මුහුදු මගින් ප්‍රවාහනයට ගතවෙන දිගු කාලය ද නැතිකර දමයි. එමෙන්ම භාණ්ඩ හා සේවා වියදම් ද අඩු කරන අතර දකුණු ආසියානු කලාපයේ වෙළෙදාමට පහසුකම් සපයයි. මෙම මුහුදු පාලම කොළඹ වරායේ ධාරිතාවට අමතරව ත්‍රිකුණාමල වරායේ ධාරිතාව ද ඉහළ නංවයි.
මෙම පාලම දකුණු ඉන්දියාවේ සහ මෙරට ජාතික මහාමාර්ගය අතර සම්බන්ධකයක් බවට පත්විය හැකිය. මෙමගින් දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයටත් වෙනත් කර්මාන්ත සඳහාත් වෙළෙඳපොළ අවස්ථා වැඩි කරනු ඇති අතර ඒ කටයුතු දැන් කෙරෙන්නේ අධික වියදමක් දරමින් මුහුදු මාර්ගයෙනි.
2023 දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර නවදිල්ලියේ හයිද්‍රාබාද් මැදුරේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව, ත්‍රී’මලය වරාය කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම ඇතුළු ගිවිසුම් හතරකට දෙරටම අත්සන් තැබීය. යෝජිත මුහුදු මහා මාර්ගය, ඉන්දියාවේ සිට ලංකාවට නළ මගින් ඛනිජ තෙල් පොම්ප කිරීම එම ගිවිසුම් අතර වෙයි.
මෙම පාලම ඉදිකිරීම මගින් එය මෙම කලාපයෙන්ම සංචාරක ආකර්ෂණයක් වෙනු ඇතැයිද, ඉන්දියාවට එන බොහෝ විදේශීය සංචාරකයන් මෙම පාලම මතින් ලංකාවටද ඒමට කැමැති වෙනු ඇතැයි ද එමගින් ලංකාවට විශාල ඩොලර් ආදායමක් ලැබෙනු ඇතැයි ඉන්දීය පාර්ශ්වය විශ්වාසය පළ කරයි. මේ දිනවල දෙරටම අදාළ පාලම ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන කටයුතුවල නියැලී සිටින බවද ඉන්දීය ජනමාධ්‍යයේ සඳහන් වේ.
මෙම පාලම මගින් මෙරටට ආර්ථික අවස්ථා ගණනාවක් ලැබෙනු ඇතැයි පිළිගන්නා අතරම ලාංකිකයන් ඇතැමකුගේ ඇත්තේ තම රටේ ආරක්ෂාව පිළිබඳ බියකි. රාමායනයේ සඳහන් හනුමන්තාගේ ආක්‍රමණික සේනා එදා පැමිණි මාවත ලෙස සඳහන් වූයේ මෙම වැලිකඳු දූපත් පෙළ හරහා මුහුදට යටව ඇති මාර්ගය ය. මෙම මාර්ගය ඉදිකළ පසු එමගින් ඕනෑම විටෙක ඉන්දීය හමුදා ආක්‍රමණයක් වුවද කළ හැකි වෙතැයි ඇතැමුන් සැක පළ කළද එය අහේතුකය. මන්දයත් 1987 දී ඉතාම කෙටි කලකින් ගුවන් ආක්‍රමණයක් කළ හැකි බව ඉන්දියාව ඔප්පු කර ඇති නිසාය. සැබෑ ආක්‍රමණය ඇත්තේ යුදමය වශයෙන් නොව ශ්‍රම හමුදාවෙනි. මෙවැනි පාලමක් ඉදිකළහොත් දැනට දකුණු ඉන්දීය රැකියා විරහිත තරුණයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් කරා පැමිණෙනු ඇතැයි සමහරු සැක පළ කරති.
උතුරේ යුදමය වාතාවරණය ඇතිවීමට පෙර, මෙවැනි ශ්‍රම හමුදාවක් වාර්ෂිකව මෙරටට ගලා ආ බව පැරණි වාර්තා සඳහන් කරයි. දෙරට අතර හොර බඩු ජාවාරම යටතේ එක් පිරිසක් උතුරට ද මුහුදු මගින් තවත් පිරිසක් මන්නාරම, සිලාවතුර, මරිච්චිකට්ටි ආදි ප්‍රදේශ කරා ද පැමිණ පදිංචි වූ බවද පැරණි වාර්තාවල සඳහන් වේ. පාලම ඉදිකිරීමට බිය පළ කරන අය පවසන්නේ වර්තමානයේ දී ද ඉන්දීය ශ්‍රමිකයන් විශාල වශයෙන් මෙරටට ගලා එනු ඇති බව ය.
අනෙක් බිය, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙනි. මුහුදු පාලමක් යටතේ දෙරට යා වුවහොත් මෙරට අභ්‍යන්තර ප්‍රශ්නවලදී ඉන්දියානු මැදිහත්වීමක නිරන්තර අවදානමක් ඇති වෙතැයි ඔවුහු බිය වෙති. මුහුදු මාර්ගයට සමාන්තරව ඉදිවෙන විදුලියබල සබඳතාව මගින් ඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාරවලින් නිපදවෙන අතිරික්ක විදුලිය මෙරටට අලෙවි කිරීමට ඉන්දියාව අපේක්ෂා කරයි. සත්‍ය වශයෙන්ම ගල් අඟුරු බිඳක්වත් නැති රටක් වෙන ලංකාව, ජාතික ආර්ථිකයෙන් අතිවිශාල වියදමක් දරන්නේ නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ආනයනය කිරීම සඳහාය. එමෙන්ම මැදපෙරදිගින් ආනයනය කරන ඛනිජ තෙල් යොදවා බලගැන්වෙන තාප විදුලි බලාගාර ගණනාවක්ම මෙරට තිබේ. ඉන්දියාවෙන් විදුලිය මිලදී ගත හැකිනම් මෙම බලාගාර සඳහා තාප ඉන්ධන හා ගල් අඟුරු වෙනුවෙන් වැයවෙන ඩොලර් කෝටි ගණනක මුදල ඉතිරිවෙනු ඇත. බලාගාර නඩත්තුවට වඩා නිෂ්පාදිත විදුලිය මිලදී ගැනීම ලාබදායක බැවිනි. එහෙත් සමහරුන් බියවී සිටින්නේ මෙම බලාගාර වසා දමා ඉන්දියාවෙන් විදුලිය මිලදී ගතහොත් මෙරට ආණ්ඩු ප්‍රාණ ඇපයට ගැනීමට ඉන්දියාව එය හේතුවක් කර ගනු ඇතැයි යන සැකය නිසාය.
කෙසේ වෙතත් මෙම මුහුදු මාවත ගැන මෙරට ජනතාව තවමත් වැඩි අවධානයක් දක්වා නැත. එයට හේතුව ජනතාව ඒ ගැන දැනුවත් නොවීමය.
යෝජිත සමුද්‍ර මාර්ගය ‘නිව් රාම් සේතු’ නමින් නම්කර ඇති ඉන්දියාව, ඒ සඳහා රුපියල් කෝටි 40,000ක් ඇස්තමේන්තු කර ඇත. එම මුදල් සොය ගැනීම සහ මාර්ගය ඉදිකිරීමේ බලධාරියා වෙන්නේ ඉන්දියාවේ ජාතික මහා මාර්ග අධිකාරියයි. ආධාර කොටසක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව ද කැමැත්ත පළ කර ඇත. මෙයින් පෙනී යන්නේ ඉන්දියානු පාර්ශ්වයෙන් මෙම මාවතේ බොහෝදුර දැනටමත් ආරම්භ කර ඇති බව ය.
@ ප්‍රේමකීර්ති රණතුංග
ඉරිදා ලංකාදීප