අද (28) සමගි ජන සන්ධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී S.M. මරික්කාර් ජනාධිපතිවරණයෙන් සති පහකට පසු ජනතාවගේ හිතන විදිහ පිළිබඳ පැතිකඩක් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයෙන් පෙන්නුම් කළ බව පැවසුවේය.
"ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මැතිතුමාට ඡන්දය ලබා දුන් අය ඡන්දය දුන්නේ මහත් උද්යෝගයෙන් සීග්‍ර වෙනසක් ඉතා ඉක්මනින් බලාපොරොත්තුවෙන්.
ඇල්පිටිය ඡන්දය
නමුත් පෙරේදා පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලය, ජනාධිපතිවරණයෙන් සති පහකට පස්සේ ලංකාවේ මිනිස්සු හිතන විදිය පිළිබඳ පෙන්වන මනා හරස්කඩක්. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මාලිමාව ගත්තු 49%ක ප්‍රමාණය 47% දක්වා බැහැලා තියෙනවා. ඒ වගේම කොට්ඨාස 17න් ඔවුන් 15ක් දිනලා තියෙනවා. අපි දැක්කා මේ ප්‍රාදේශීය සභාව 2019 ජනාධිපතිවරණය කාලයේත් මැතිවරණයක් තිබ්බා. ඒ කාලයේ ගෝඨාභය රාජපක්ෂට තිබිච්ච රැල්ලත් එක්ක 56%ක් ගත්තා පොහොට්ටුව. කොට්ඨාස 17න් 17ම දිනුම්.
නමුත් අද අවසාන ප්‍රතිඵලයේදී මාලිමාවට 15 සහ සමස්ත විපක්ෂය 15 විදියට තමයි තියෙන්නේ. 63% යි ඡන්දය පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව පිළිබඳ ජනතාව හිතන විදියේ හරස් හරස්කඩක් තියෙනවා. ඒ නිසා දැන් ඔවුන් සභාව පිහිටවන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඕන මොකද ඔවුන්ට බහුතරය නැති නිසා.
කෝ වෙනස?
ඒ නිසා බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ අනිත් දේශපාලන පක්ෂවල නියෝජිතයින්ව ඔවුන්ගේ සහයෝගයට ලබා ගන්නවාද නැද්ද කියන එක පිළිබඳව අපිට බලාගෙන ඉන්න පුලුවන්. ජනාධිපතිවරණ සමයේදී ඔවුන් පැවසු ගොඩක් දේවල් මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා ද කියලා ප්‍රශ්නයක් ජනතාවට තියෙනවා . උදාහරණයක් විදිහට ආයෝජන ගේන ඒවා, නිෂ්පාදන වැඩි කරන ඒවා, අපනයනය වැඩි කරන ඒවා වගේ දේවල් වලට වැඩි කාලයක් ගන්නවා. ඒක ඇත්ත. ඒකට යම් කාලයක් බලන් ඉන්න වෙනවා.
ඔබට මතක නම් 2015 අපේ රජය ආපු ගමන්ම පළවෙනි මාසය ඇතුළත රාජ්‍ය සේවකයන්ට පඩිය වැඩි කළා රුපියල් දහ දාහකින්. ගැබිනි මාතාවන්ට රුපියල් 20,000ක දීමනාවක් ලබා දුන්නා. ගෑස් මිල තෙල් මිල බඩු මිල අඩු කළා. ඒවා කරන්න සැලසුම් තිබුන නිසා කරන්න පුළුවන් උනා. ඒ නිසා මේ ජනාධිපතිතුමා මැතිවරණ වේදිකාවේදී කිව්වා ආහාර පානවලට පනවලා තියෙන බදු අයින් කරලා බදු වලින් නිදහස් කරනවා කියලා. අපි අහන්නේ ආණ්ඩුවෙන් කවද්ද මේක කරන්නේ?රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීම කවදාද කරන්නේ? පෝලිම නැති කරනවා කිව්වාට අද වෙනකොට හාල්පෝලිම පොල් පෝලිම බත්තරමුල්ලේ පාස්පෝට් කන්තෝරුව ළඟ එක දිගටම පෝලිම. මේවා නැති කරන්නේ කවද්ද?
ණය ගන්නේ නැහැ කිව්වට රුපියල් බිලියන 650ක ණය අරගෙන තියෙනවා. ණය ගැනීම නවත්වන්නේ කවද්ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා , මේ ගිවිසුම වෙනස් කරලා බදු අඩු කරනවා කියලා කිව්වා. අපි දන්න තරමට දෙපාරක් සාකච්ඡා කරලා තියෙනවා. බදු අඩු කරලත් නැහැ ගිවිසුම වෙනස් කරලත් නැහැ. ඒ නිසා ගිවිසුම වෙනස් කරලා බදු අඩු කරන්නේ කවද්ද කියන එක ජනතාවට ආණ්ඩුව කියන්න ඕනේ.
ඊළඟට කිව්වා උගණ්ඩාවේ තියෙනවා ඩොලර් ඒව ගේනවා කියලා. දැන් උගන්වා මැණිකේ ඒක ගැන කතාවක් නෑ මැතිවරණ කාලේ බොරුවට කිව්වද කියලා දන්නේ නෑ.
තෙල් වරායෙන් බාන ගානට රුපියල් දහයක් එකතු කරල දෙන්න පුළුවන් කිව්වට තාම අඩුකලේ රුපියල් 20යි. මැතිවරණ කාලේ කියපු විදිහට වරායෙන් බාන ගානට රුපියල් දහයක් එකතු කරලා තෙල් ලබාදෙන්නේ කවද්ද කියන එක ආණ්ඩුව කියන්න ඕන. ඡන්දය දුන්න සහ නොදුන්න ජනතාව මේ වේදිකාවල කියපු දේවල් ආණ්ඩුව ඇවිල්ල ඉතා ඉක්මනින් කරන්නේ කවද්ද කියලා බලාගෙන ඉන්නවා. මොකද සැලසුමක් තිබුනා නම් මේවා ඉතා ඉක්මනින් කළ හැකි දේවල්. සමහර අය කියනවා රනිල් ඕඩර් කරපු තෙල් තමයිලු මේ තාම තියෙන්නේ. කවුරු ඕඩර් කරපු තෙල් උනත් වරායෙන් බාන්නේ දැන් නම් ඒකට ඇඩ් කරන්න පුළුවන්නේ. මොකද NPP එක ඕඩර් කරන තෙල් වලට ලෝක වෙළඳපොලේ මිල අඩුවෙන්නේ නැහැ. ලෝක වෙළඳපොලේ ගාන කවුරු හිටියත් ඒ ගානම තමයි තෙල්වලට එන්නේ.
අතිරේක රාජ්‍ය ආදායමට මොකද කරන්නේ?
රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇතිකර ගත් ගිවිසුම අනුව ඉතා විශාල බදු ප්‍රමාණයක් ගහලා තිබුණා. ඒ නිසා මේ අවුරුද්දේ අපේක්ෂා කරපු රාජ්‍ය ආදායමට වඩා ඉතා වැඩි ප්‍රමාණයක් එනවා. ඒ නිසා ඒ අතිරේක රාජ්‍ය ආදායම මිනිස්සුන්ගේ අවශ්‍යතා වලට බදු අඩුකිරීම සඳහා පාවිච්චි කළ හැකිව තිබෙනවා. අයවැය පරතරයට කිසිදු හානියක් නොවී එය කරන්නේ කවදාද කියන එක ගැන කියන්න ඕන.
පහුගිය ආණ්ඩු කළා වගේම දිගින් දිගටම ණය අරගෙන නම් යන්නේ, බදු ටික ඒ විදිහටම නම් පවත්වාගෙන යන්නේ, ඒ වෙනස ජනතාවට හැඟෙන්නේ නෑ කියන එක තමයි කියන්න තියෙන්නේ.
ඇමරිකානු තානාපති කාර්යාලය ගිය සතියේ නිවේදනයක් නිකුත් කළා ඔවුන්ගේ පුරවැසියන්ට ආරුගම්බේ කලාපයට යන එක ඇලට් එකක් කියලා. ආණ්ඩුව කියනවා ඒ තොරතුරු ඔවුන් දැනං හිටියාලු. ඔවුන් ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගත්තාලු .තොරතුරු තියෙනවා නම් දකුණු වෙරළ තීරයේ නැගෙනහිර වෙරළ තීරයේ ශ්‍රී ලාංකිකයන්ට යන්න බැරි restaurant තියෙනවා. අපේ රටේ අපේ පුරවැසියන්ට යන්න බැරි මෙම රෙස්ටුරන් දිගටම කරගෙන යන්න දෙනවාද? එහෙම නැතිනම් විදේශිකයන්ට වගේම ශ්‍රී ලාංකිකයන්ටත් යන්න පුළුවන් විදිහට ඒ රෙස්ටුරන්ට් හදනවද?
දෙවෙනි ප්රශ්නය ඊශ්‍රායල් ජාතිකයන් මෙහේ පදිංචි වෙලා මේ රට තුළ ඔවුන්ගේ ක්‍රියාකාරකම් කරනවා නම් එය නවත්වන්න හෝ පාලනය කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැත්තේ ඇයි කියන එක අපිට අහන්න වෙනවා. රට ඇතුලේ විදේශ ක්‍රියාකාරකම් පිළිබඳ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. පහුගිය රජයන් කාලයේ සිද්ධ වෙච්ච දේවල් දිගින් දිගටම වෙනවනම් ජනතාව පැතූ වෙනස සිද්ධ වෙලා නෑ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.
ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ඔවුන් කියන තරම් ඉක්මනට මෙහෙම වෙනසක් කරන්න රජයට හැකියාවක් නැහැ කියන එක. ජනතාවත් බොහොම කුතුහලයෙන් බලාගෙන ඉන්නවා. ආණ්ඩුව ජනතාවට කියන්න ඕන කවද්ද කොහොමද කොයි කාලෙද මේවා කරන්නේ කියලා. මොකද මේ ආණ්ඩුව විපක්ෂය ඉදිද්දි හැම වෙලාවෙම වහා දියව් , වහා දියව්, දැන් අද දියව් කියලා තමයි උද්ඝෝෂණය කළේ. අද වෙනත් රජයක් ක්‍රියාත්මක වෙලා තිබුණා නම් මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක කරන්න කියලා උද්ඝෝෂණ පිකටින් වැඩවර්ජන පටන් අරගෙන. අද ඒවා කරපු උදවිය මාලිමාවේ ලයිස්තුවේ ඉන්න හින්දද කොහෙදෝ අද ඒවා නැහැ."
මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරක් දෙමින් මරික්කාර් පැවසුවේ මෙවැන්නකි.
"සිලින්ඩරයට ඡන්දය දුන්න මිනිස්සු දුන්නේ රනිල් රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනන්නම ඕන කියලා හිතලා තමයි ඡන්දෙ දුන්නෙ. අද එතුමා පැරදිලා ඉන්නවා. එතුමා මේ මැතිවරණයට ඉල්ලන්නෙත් නැහැ ජාතික ලැයිස්තුවෙත් නැහැ. ඒ නිසා සිලින්ඩරයට ඡන්දය දුන්න යූඑන්පී පාක්ෂිකයන්ගේ ප්‍රතිපත්ති දර්ශන වලට ළඟින් යන එකම පක්ෂය සමගින් ජන බලවේගය. ඔවුන්ගේ චන්ද ටික අපි ගත්තා නම් අපිට ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්.