SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හෙළයේ මහා නෘත්‍යාංගනාවිය වන පද්ම ශ්‍රී ආචාර්ය

වජිරා චිත්‍රසේන දැයෙන් සමුගෙන ඇත.

 

 

ශිල්පිනී වජිරා චිත්‍රසේන ශ්‍රී ලාංකේය නර්තන ක්‍ෂේත්‍රයේ ජීවමාන පුරාවෘත්තයක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම බැලේ නර්තන ශිල්පිනිය ලෙස ද සැලකේ.

 

 

මේ ඇය හා මාධ්‍යවේදී චන්දන ජයවීර කරන ලද සම්මුඛ සාකච්ඡාවකි.

 

නැටුමට ගෞරවයන් නොලැබෙන තැන්වල නටන්න එපා! - වජිරා චිත්‍රසේන

 

 

මුද්‍රානාට්‍ය කලාව මෙරට ස්ථාපිත වීමටත්, ප්‍රචලිතවීමටත් හේතු වු‍යේ චිත්‍රසේන වජිරා දෙපළගේ නිර්මාණයන්ය. දශක හතක් ඉක්මවා යන ඔවුන්ගේ නිර්මාණ මුද්‍රාවේ ඉසියුම් තැන් බෝහෝය.

ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තනය අන්තර්ජාතික වශයෙන් සම්භාවනීයත්වයට පත්කිරීමේ මූලිකයන් ලෙස චිත්‍රසේන හා වජිරා යුවළ හැඳින්විය හැකිය. සම්ප්‍රදායික නර්තනය ඉගැන්වීම පිළිබඳ පළමු විෂය නිර්දේශය හා ව්‍යුහගත පුහුණු වැඩසටහන සකස් කිරීම ඔවුන් අතින් ඉටුවූ තවත් පුරෝගාමී කටයුත්තකි. ඔවුන් ඇසුරේ නර්තනයේ විශිෂ්ටත්වයට පත් ශිල්පීන් දහස් ගණනකි.

වජිරා චිත්‍රසේන කලාකාරිනිය සමඟ කළ මේ සාකච්ඡාවේ අරමුණ වූයේ ඇගේ ඇසින් චිත්‍රසේනයන්ගේ කලා භාවිතය තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි.

 

 

මෙරට නර්තන ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වන චිත්‍රසේනයන් එක් ආකාරයකින් ගත්විට ඔබේ ගමන් සහකරුයි. නර්තන ගුරුවරයායි. ඒ් වගේම දීර්ඝකාලීන නර්තන සහකරුයි. මේ හඳුනාගැනීම තුළ චිත්‍රසේනයන් සිය මෙහෙවර හැටියට සැලකු දෙය පැහැදිලි කළ හැකිද?

 

ඔහු අපේ සම්ප්‍රදායික නර්තනය වගේම ඉන්දියාවට ගොස් පෙරදිග නර්තනයත් හැදෑරුවා. ඉන්පසු ඒ දැනුම යොදාගෙන නව නිර්මාණ කළා. අපේ නර්තනය වෙන කිසිම රටක තියෙන නර්තන කලාවකට දෙවැනි නොවන සුසාධිත උත්තම කලාවක් කියල පෙන්වන්න චිත්‍රාට වුවමනාවක් තිබුණා.

 

සම්ප්‍රදායික නර්තනයට අමතරව ඒ් වෙනුවෙන් කැපවූ නැටුම් ගුරුවරුන් පිළිබඳවත් චිත්‍රාට විශාල කැක්කුමක් තිබුණා. ඒ් පිරිස් රැකගත යුතුයි කියලා ඔහු කල්පනා කළා. බලාපොරොත්තු තියා ගන්න පුළුවන් දක්ෂතා තිබෙන ගුරුවරුන් හා ශිල්පීන් හඳුනා ගැනීමේ හැකියාව ඔහුට තිබුණා. ඔවුන්ට තමන්ගෙ කුසලතා වර්ධනය කර ගන්න උදව් කළා.

 

නර්තනය ඉගැන්වීමේ පුහුණු ක්‍රම දියුණු කිරීම ඔහුගෙන් ඉටුවූ තවත් මෙහෙවරක්. මේ සියල්ල අතරින් මම හිතන්නේ ඔහු නර්තනය‍ට දැක්වූ ලොකුම උපහාරය එහි ගෞරවනීයත්වය ආරක්ෂා කිරීමයි. ඒ වගේම නර්තන ශිල්පීන්ට වෘත්තික පදනමක් ඇති කරන්නත ඔහු පුරෝගාමී මෙහෙවරක් කළා.

 

 

පදනම බිහිකරන මුල් කාලෙ දක්ෂතා ඇති හා එකට වැඩ කළ හැකි පාරම්පරික ශිල්පීන් හඳුනා ගැනීම කලේ කොහොමද?

 

චිත්‍රා... සිරිතක් ලෙස පිට පළාත්වල තියෙන ශාන්තිකර්ම බලන්න යනවා. ඒවායේදි හමුවෙන දක්ෂ නර්තන ශිල්පීන් අපේ කණ්ඩායමට බඳවා ගත්තා. ජේ.ඊ. සේදරමන්, අම්බලන්ගොඩ ආරියපාල ගුරුන්නාන්සේ ඒ විදිහට අපේ කණ්ඩායමට සම්බන්ධ වූ සාමාජිකයන්.

 

ආරියපාල ගුරුන්නාන්සේ අපේ නර්තන කණ්ඩායමට පහතරට නර්තනය පිළිබඳ අවබෝධය පුළුල් කළා. ඒ් වගේම සේදරමන් ගුරුන්නාන්සේ අපේ කණ්ඩායමට උඩරට නැටුම් ගැන නිපුණතාව ලබා දුන්නා. ඔවුන් ප්‍රචලිත නැට්ටුවන්. මේ ආකාරයට පාරම්පරික නර්තන ශිල්පීන්, ඔවුන්ගෙන් පසු පරම්පරා අප සමඟ වැඩ කළා. විදේශ සංචාරයන්ට සම්බන්ධ වුණා. මේ නිසා පාරම්පරික නර්තන ශිල්පීන්ගෙ නම් පිටරටවලත් ප්‍රසිද්ධ වුණා. එයට පෙර ඔවුන්ට එවැනි අනන්‍යතාවක් තිබු‌ණේ නැහැ.

 

 

vajira 4 1

 

කාන්තාවන් වෙස් බැඳීම විවාදයට ලක්ව තිබෙන මාතෘකාවක්. එය තවදුරටත් තහනම් දෙයක් විය යුතුය කියලා ඔබ විශ්වාස කරනවාද?

 

 

ඒ කාලේ වුණත් මේ මතයට අභියෝග කළ අය හිටියා. චන්ද්‍රලේඛා නාටිකාංගනාව වෙස් බැන්දා. මම උඩරට නැටුම් ‍ඉගෙන ගන්නට වෙස් බැන්ඳේ නැහැ. අපි වෙස් තට්ටුව වෙනුවට නලල් පටක් බැන්දා.

 

 

වර්තමානයේදි නර්තනය ස්ත්‍රී ශෘංගාරය මතු කරන කලාවක් බවට පත්වීම ගැන ඔබේ අදහස කුමක්ද?

 

 

ආරම්භයේ සිටම අපේ පරමාර්ථය වුණේ අපේ නර්තනය දියුණු කිරීම ගැනයි. “සෙක්සි ඩාන්ස්” පෙන්වලා මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න අපි කල්පනා කළේ නැහැ. ඇත්තටම ඒවා බාල උපක්‍රම.

 

කලාවේ නිපුණතාව නැති අය‍ ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරගන්න ඒ් විදිහෙ විජ්ජාවල පිහිට පතනවා. ශෘංගාරය මතු කිරීමත් ඒ වගේ දෙයක්.

 

 

නර්තනය මේ වන විට මුළුමනින්ම පාහේ ස්ත්‍රීන්ගේ කලාවක් බවට පත්ව තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

 

 

එක්තරා විදියකට එය දෛවයේ සරදමක්. මුල් කාලේදි නර්තනය ස්ත්‍රින්ට තහනම් අකැප කලාවක් වුණා. නර්තන ශිල්පිනියන් දිහා සමාජය වපර ඇහින් බැලුවා. මේ තත්ත්වය වෙනස් කරන්න අපේ දායකත්වයත් බලපාන්න ඇති කියලා දැන් කල්පනා කරන කොට හිතෙනවා.

 

මුල් කාලේ සිටම බාලිකා පාසල්වල නර්තනය විෂයක් හැටියට ඉගැන්නුවා නේද කියලා, මේ කතාවට එකඟ නොවන කෙනෙක් කියන්න පුළුවන්.

 

මමත් මුලින් නැටුම් ඉගෙන ගත්තේ කොල්ලුපිටිය මෙතෝදිස්ත පාසලේ ඉගෙන ගන්නා කාලේ. පාසල්වල නර්තනය ඉගැන්නුවට වෘත්තීය නර්තන ශිල්පිනියන් වෙන්න කවුරුවත් කල්පනා කළේ නැහැ. නර්තනය ගෞරවනීය දෙයක් බවට පත් කරන්න අපට පුළුවන් වුණ නිසා පසුගාමී ආකල්ප වෙනස් වුණා.

 

පුරුෂ පක්ෂයේ සම්මාදම අඩුවීම මේ කලාවේ වර්ධනයට වගේම සෞන්දර්යාත්මක පැත්තටත් බලපාන බරපතළ ගැටලුවක්.

 

පිරිමින්ගේ සම්මාදම නැත්නම් නර්තනයේ තාණ්ඩව ලක්ෂණ මතු වෙන්නේ නැහැ. නර්තනයේ පැවැත්මට නැට්ටුවන් බිහිවේනන ඔ්නෑ. මම හිතන්නේ නර්තනයට පිරිමින් සම්බන්ධ නොවීමට හේතුව ආර්ථික කාරණාවක්.

 

 vajira 2

 

මේ තත්ත්වය දිගටම තිබුණොත් පාරම්පරික නර්තනය පවත්වාගෙන යන්න දක්ෂ ශිල්පීන් හිඟවිය හැකියි. එයට පිළියම් ලෙස කිසියම් වැඩපිළිවෙළක් ඇති කළ යුතුයි කියලා ඔබ කල්පනා කරනවද?

 

 

මෙරටට අනන්‍ය සම්ප්‍රදායික නර්තනය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත්කම චිත්‍රසේන පදනම වටහාගෙන තිබෙනවා. ඒ සඳහා නව පරපුර නර්තන ක්ෂේත්‍රයට යොමු‍විය යුතුයි. තරුණයන් නර්තනයට යොමු වෙන්නේ එය සුරක්ෂිත වෘත්තියක් බවට පත් කළොත් පමණයි.

 

නිපුන ශිල්පියෙක් බිහිකිරීම දින හෝ සති අනුව තීරණය වන දෙයක් නෙමෙයි. ඒ සඳහා වසර ගණනාවක දුෂ්කර ව්‍යායාමයක යෙදිය යුතුයි. ශිල්ප ඥානය සොයා යාමේ දැඩි කැපවීමකින් පැවැති තරුණ තරුණියන් සොයා ගොස් ඔවුන්ට නොමිලේ නර්තන දායාදය ලබා දෙන අතරම පුහුණු කාලය තුළ සුරක්ෂිත ආර්ථික පදනමක් ඇති කිරීමටද චිත්‍රසේන පදනම කල්පනා කරනවා. සිසුන් දස දෙනකු තෝරාගෙන ඔවුන්ට වසර දෙකක පුහුණුව ලබා දෙන අතරම දීමනාවක් ලබා දෙනවා. එම වැඩසටහන “නර්තන සුරක්ෂා” නමින් හැඳින් වෙනවා.

 

වෘත්තීය නර්තන ශිල්පීන් හා ගුරුවරුන් ලෙස කටයුතු කිරීමට අදහස් කරන ශිල්පීන් සඳහා අප “නර්තන දායාද” වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මෙහිදී අවුරුදු දෙකක් සතියට දින 03ක් නර්තනය හා බෙර වාදනය ඉගැන්වීම කෙරෙනවා. පුහුණු කාලයේ දී ඔවුන්ට මසකට 10,000ක දීමනාවක් දෙනවා.

 

 

මේ ආකාරයට පුහුණුවන සිසුන් තවදුරටත් චිත්‍රසේන පදනම සමඟ වැඩ කරනව කියලා එකඟතාවක් තියෙනවද?

 

 

එහෙම අපි එක්ක දිගටම වැඩ කළ යුතුයි කියලා බැඳීමක් නැහැ. අවශ්‍යය අයකුට අපේ කණ්ඩායමට සම්බන්ධව වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවත්වන පළාතේ කලායතන ආරම්භ කරන්න පුළුවන්. අපි ස්වාධීනව වැඩ කරන්න තියෙන ඉඩ අහුරන්නේ නැහැ. ...... ‍ ‍‍‍‍‍කුරුල්ලෝ කොහොමත් ඉගිලිලා යනවා. ඔවුන් දිගටම නර්තනයේ රැ‍ඳුනොත් ඇති.

 

 

 මෙරට ප්‍රමුඛතම වෘත්තික නර්තන කණ්ඩායම හැටියට දේශීය සහ විදේශ ප්‍රසංගවලදි ඉහළ ආදායමක් උපයා ගැනීමට චිත්‍රසේන-වජිරා පදනමට හැකියාවක් ලැබෙන්න ඇති නේද?

 

 

එවැනි හැකියාවක් තිබුණා. නමුත් අපි මුල් තැන දුන්නේ මුදල් ඉපැයීමට නෙවෙයි. අපි නර්තන දර්ශන කලේ නොමිලේ කියලා මම කියන්නේ නැහැ. මුදල් ඉපැයීම කළා. ඒත් ඒක ඉහළ මිලක් නෙවෙයි. චිත්‍රාවත් මමවත් කවදාවත් නර්තනයෙන් හම්බ කළේ නැහැ. අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් කවදාවත් රංගනයට දීමනා ලැබුණේ නැහැ. අපි ඒවා ගැන හිතුවා නම් මේ කාර්යය කරන්න ලැබෙන්නේ නැහැ.

 

 

නමුත් වර්තමානය වන විට නර්තනය වාණිජකරණයට නතුව තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

 

 

නර්තනය කියන්නේ පූජනීය දෙයක්. චිත්‍රසේනත් ඒක විශ්වාස කළා. ‘කන බොන තැන්වල නටන්නේ නැහැ’ කියන දේ අපේ ප්‍රධාන ප්‍රතිපත්තියක්. අපි ඒක තදින්ම පිළිගන්නවා.

 

 

චිත්‍රසේන පදනම දේශීය වශයෙන්ම මෙන්ම අන්තර්ජාතික වශයෙනුත් විවිධ රඟ දැක්වීම් කරනවා. ඒ අතර සාද තිබිලම නැද්ද?

 

 

අපි නැටුවේ නැටුමට, අපට ගෞරවයක් ලැබෙන තැන්වල පමණයි. කවදාවත් ‘කන බොන තැන්වල’ නටලා නැහැ.

 

නේරු, චෝ එන්ලායි, ඉන්දිරා ගාන්ධි වගේ රාජ්‍ය නායකයන් දිවයිනට පැමිණි අවස්ථාවල ඔවුන් ඉදිරිපිට නර්තන ඉදිරිපත් කරන්න අගමැති බණ්ඩාරනායක අපට ආරාධනා කළා. අපි ඒ අවස්ථාවලදී අරලියගහ මන්දිරයේ වෙනම මණ්ඩපයක වේදිකාවක් මත නර්තන ඉදිරිපත් කළයුතු බව කිව්වා. ඒක නර්තන දර්ශනයක් පමණයි. ෂෝ එකෙන් පස්සේ වෙනත් තැනක අමුත්තන්ට ආහාර ගැනීමට පහසුකම් සලසා තිබුණා. සාද අතර නටන්න ගියොත් එයින් කලාවෙ ගෞරවයට හානි වෙනවා.

 

 

 ප්‍රභූන් පිළිගැනීම සඳහා නර්තනය යොදා ගැනීම ගැනත් ඔබේ ආකල්පය එයමද?

 

 

චිත්‍රසේනත් කවදාවත් ඒ වගේ දේවල් කළේ නැහැ. මම වුණත් ඒක අනුමත කරන්නේ නැහැ. අපි හැමදාම නැටුවේ වේදිකාව මත පමණයි. තාමත් යන්නේ ඒ පිළිවෙළට. සල්ලි කීයක් දෙනවයි කිව්වත් අපි කවදාවත් ‘කන බොන තැන්වල’ නටන්නේ නෑ. ඒ වගේම ‘උපහාර පෙරහැර’ සඳහා නර්තනය යොදා ගන්නෙත් නැහැ.

 

 

චිත්‍රසේන කලායතනය විවිධ දේශීය රංග සම්ප්‍රදායන් ඒකරාශී කොට නව නිර්මාණ බිහි කිරීමට උනන්දුවක් දැක්වූවත් වෙනත් නර්තන කණ්ඩායම් සමඟ හවුලේ නිර්මාණ කිරීමට උනන්දුවක් දැක්වූයේ නැත්තේ ඇයි?

 

 

එකතුවීම සමානයත් සමඟ විය යුතු දෙයක්. අපි ඒ විදිහට සමාන අදහස් දරන අය සමඟ එකතුව වැඩ කළා. ඉන්දියාවේ නේත්‍රග්‍රාම් නාට්‍ය කණ්ඩායම සමඟ එකතුව අපි නිර්මාණ කළා. ඔවුන් විශේෂිත ගුරුකුලයක්. ඒ අය වාණිජ පරමාර්ථ සමඟ නර්තනය පටලවා ගන්නේ නැහැ. එහි සාමාජිකයන් ග්‍රාමය තුළම ජීවත් වෙමින් නර්තනයේ යෙදෙනවා.

 

අපි ඔවුන් එක්ක වැඩ කරන්න අනිත් හේතුව තමයි ඔවුන් නියෝජනය කරන නර්තන සම්ප්‍රදාය. නේත්‍රාග්‍රාම් නර්තන කණ්ඩායම වැඩ කරන්නේ ඔරිස්සා රංග සම්ප්‍රදායත් එක්කයි. ඒ නැටුම් ශිල්පය හරියට උඩරට නැටුමේ ස්ත්‍රී නැටුම කියන්න පුළුවන්. ඉතින් අපිට තේරුම් ගියා ඔවුන්ගේ නැටුමත් අපේ නැටුමත් සම්මිශ්‍රණය කිරීම ඵලදායි කියලා.

 

 

@සංවාදය

චන්දන ජයවීර

නවතම ලිපි