SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය බලය යොදාගනිමින්, දන්නා දහන් ගැට සියල්ල දමන නාරක කාරකාදීන් මැද්දෙ ඔින්න අද තැපැල් ඡන්දය ඇරඹුනේ ය.

තව දෙසතියකින් සියලු තොවිලයන් හමාරයි තීන්දුයි ය.

මෙවර ජනාධිපතිවරණයේ වියපත්ම වැඩිහිටියෙක් ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයෙක් වෙද්දි ළාබාලතම, තරුණ  ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් වෙනවා ය.

 

මේ දෙදෙනා අතර ඇති වෙනස මොකක් දැයි අපගේ මිත්‍රයෙක් පහුගිය දිනයක මගෙන් ඇහුවා ය. මට දෙන්නට තිබුණෙ කලින් වතාවල රනිල් වික්‍රමසිංහයන්ව හඳුන්වල දීපු පරිණත, විචක්ෂණ, අත්දැකීම් බහුල, ඉවසිලිවන්ත නායකයෙක් විදිහට නම් නොවේය. ඊට හේතු වන්නේ ඔහුගෙන් සියලු පරිණතභාවයන් ගිලිහිලාය. ඒ වයසේ වැරැද්දය.

 

අපේ සමාජයේ කතාවක කියැවෙන්නේ  වයසට යද්දි පොඩි එකෙක් වගේ වෙනවා කියාය.

 

ඒ, පොඩි එකෙක් මෙන් හුරතල් වීමක් නොවේය. පොඩි එකෙක් වාගේ අපරිණතව වැඩ කිරීමය. හැමෝගෙන්ම අවදානය අපේක්ෂා කිරීමය. ඒ වෙනුවෙන් දැඟලීමය. මුරණ්ඩු වීමය. මම හරි යැයි තමාම හිතාගෙන කටයුතු කිරීමය.

 

මේ ජනපති සටනේ බොහෝ ප්‍රමාද ව සටනට පිවිසියේ නාමල් රාජපක්ෂ තරුණයාය. ඔහු පැමිණෙන්නේම අභියෝගයක් බාරගෙනය. තම පක්ෂයේ බහුතරයක් කර ඇර පලා යද්දි ඔහු පක්ෂයේ වගකීම තරුණයෙකුට එහා ගිය පරිණත වැඩිහිටියෙකුගේ භූමිකාව දරමින් තම උරහිසට ගත්තේය. පක්ෂ විපක්ෂ  හැමෝම ඔහුට  ඒ වනවිටත් කියමින් සිටියේ ‘නාමල් බබා’ කියාය. එහෙත් ඔහු බබෙකු නොවන බව පළමු මංගල රැළියෙන්ම ඔප්පු කළේය. ඔහු කතා කළේ ඉතා ඉවසීමෙන්ය. සංයමයකිනි. කරුණු කාරණා අවබෝධයකිනි. කිසිවෙකුට මඩ ගැසීමක් නොකරය. හැම කෙනාටම අවශ්‍ය ගෞරවය ලබාදෙමිනි. කොටින්ම නායකයෙකු ලෙසිනි.

 

සියල්ලටත් වඩා තමා කතාකරන්නේ කුමක්ද යන්න මූලිකව තමාම වටහාගෙනය. වෙනකෙක් ලියාදුන් දෙයක කොලයක් කටපාඩමින් කියවා නොවේය. කුල්ල කුජීතව සිටින රාජපක්ෂ සනුහරයෙන් එපිටට ඇවිද ගිය තරුණයෙකු ලෙසය.

 

ඔහු තම පාක්ෂිකයාට වගකියන වගකීම් සහගත භූමිකාවක නිරත වෙද්දී වත්මන් ජනාධිපතිවරයා තම පාක්ෂිකයාව නැවතත් අතරමං කරන  සුපුරුදු රංගනයේම නිරත විය.

 

පක්ෂය තුළ මෙන්ම ඡන්ද ව්‍යාපාරය තුළත් ඔහු සුපුරුදු පරිදි  කල්ලි කණ්ඩායම් හැදුවේය. වැඩ වෙන වෙනම බෙදුවේය. කල්ලි කණ්ඩායම් අතර භේද බින්නතා හැදුවේය. භේද බින්න වීම තුළ වැඩ කරවාගන්නට බැලුවේය. ප්‍රචාරණ මුදල කිහිප දෙනෙකු අතින් පාලනය වන්නට ඉඩ හැරියේය. පක්ෂ විනයකුත් මූල්‍ය විනයකුත් නැති ආකෘතියක් සකස් කළේය. අවසානයේ හිතූ මතේ මුදල් භාවිතාවන්ට මේ කල්ලි සහ පුද්ගලයින් යොමු උනේය. ඒවා දුරදිග යනවිට තනතුරු වලින් ඉවත් කිරීමේ ලිපි දුන්නේය.

 

නාමල් තම මැතිවරණ ව්‍යාපාරය මුදල් අඩුවෙන්ම වැය කරමින් සාමූහික වගකීමකින් සාර්ථකව ඉදිරියට යද්දී වික්‍රමසිංහයන්හට සමහර රැස්වීම් කල් දාන්නට සිදුවිය. පුටුටික ගන්නට සල්ලි ලැබෙනතුරු අදාළ ඉවෙන්ට් කෝඩිනේටර්ස්ලා බලා සිටියේය. තවකෙක් බස් රථයට ගෙවන්නට හැටියක් නැතිව සිටියේය. එහෙත් ප්‍රචාරණ ව්‍යාපාරයේ මෙහෙයවීම ඇරඹුවේ මාස හයකටත් එහා තියාය. දෙස් විදෙස්වලින් ලැබුණු අතිවිශාල මුදල් සංචිතයක් තබාගෙනය.  ඒ වෙද්දී ඔහු  තම අපේක්ෂකත්වයවත් ප්‍රකාශ නොකළ වකවානුවකදීය.

 

අප බලන්නේ මේ යාන්ත්‍රණය දෙසය. යමක් ක්‍රියාත්මක කරන විධිමත් ක්‍රමවේදය දෙසය. රටක් කරන්නට පෙර තම දෙපය රඳවා ගෙන ඇති ස්ථානයේ තම වැඩ කොටස විනය සහගතව සිදු කරන ආකාරය දෙසය.

 

එක දෙයක් පැහැදිලිය.

එජාප නායකත්වය බදාගෙන සිටින රනිල් මේ රනිල්මය. ඒ එදා රනිල්මය.

ඔහු හැදෙන්නේ නැත.

ජනාධීපතිකම ගත්තා යැයි ඔහු වෙනස්ව නැත.

රනිල් රනිල්මය. එජාපය මීට වඩා අඩියක් හෝ ඉදිරියට යන්නේ නැත. ඒ බලාපොරොත්තුව මත සිටින සුළුතර එජාපවරුන්ට අබ සරණමය.

 

නාමල් එසේ නොවේය.

අරගලයෙන් පසු බිහිවූයේ වෙනමම නාමල් කෙනෙකි.

කොටින්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ම හැඳින්වූ නාමල් බබා නොවේය.

ඔහු අරගලයෙන් පාඩම් උගෙන ගත්තේය. මෙවර අපේක්ෂකත්වය ඔහුගේ අනාගත දේශපාලන ජීවිතයට ආයෝජනයකි. මෙවර ඇත්තවශයෙන්ම  අස්වැන්න නෙලා ගන්නේ  ඔහුය. ඒ අනාගත එළැඹුමකටය.

 

රනිල් අරගලයෙන් චූන් වෙද්දී  නාමල් අරගලය නිසා පරිණතභාවයට පත් වුනේය.

ඒ නිසාම ඔහු ගේ මෙවර ගමන හැමෝටම ‘පට්ට’ වැඩකි. ‘පට්ට’ කතාවකි.

රනිල් තවමත් ‘මමාස් බෝයි’ ය.

ඒකෙන් ගැලවෙන්නට දැන් අවස්ථාවක් ඇත්තේම නැතිය.

 

ඡන්ද සටන තුළ රනිල්ගේ ස්ථානය තුනද හතරද යන්න දැන් ගැටළුවකි.

නාමල් ඉදිරියට එනු ඇතැයි සමහරු කැට තියති.

 

ඒ අනුව මෙවර තරඟය ඇත්තේ අපරිණත රනිල් සහ

පරිණත නාමල් අතරය.

ආමෙන්!

@ලාල්ගේ කොලම

2024/09/04

නවතම ලිපි