SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ, කරු පරණවිතාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අද (03) දින

කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

 

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී තලතා අතුකෝරල ගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ  මන්ත්‍රී පුරප්පාඩුව පිරවීම සඳහා මැතිවරණ කොමිසම විසින් ඔහුගේ  නම නිර්දේශ කර පසුගිය දා ඊට අදාළ ගැසට් පත්‍රය ද නිකුත් කෙරිනි.

 

2019 මහමැතිවරණයේ මනාප ලැයිස්තුවේ ඊළගට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා කරු පරණවිතානය.

 

කරූ පරණවිතාන පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2015 පැවැති මහමැතිවරණයෙනි.

ඔහු 2015 යහපාලන රජයේ ජනමාධ්‍ය, නිපුනතා සංවර්ධන, හා පලාත් පාලන යන අමාත්‍යංශ වල නියෝජ්‍ය අමාත්‍ය ධුර දරන ලදී.

 karu 2

(2015 යහපාලන රජයේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙමින්...)

 

එවකට තොරතුරු දැනගැනීමේ පනත කෙටුම්පත් කර සම්මත කරගැනීම සඳහා කරූ පරණවිතාන විසින් පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ලදී. වෘත්තීය අධ්‍යාපනය පුලුල් කිරීම උදෙසා නව දියුනූ වෘත්තීය අධ්‍යාපන ආයතන කිහිපයක්ම අධ්‍යාපන පද්ධතියට එකතුකිරීමෙහිලාද ඔහු විශේෂ මැදිහත්වීමකින් කටයුතු කළේය.

 

karu 000

(NSBM හරිත විශ්වවිද්‍යාල නගරයේ පැවති UGC අනුමත උපාධි වැඩසටහන්වල උපාධි ප්‍රදානෝත්සවයේ පළමු සැසියේ ප්‍රධාන ආරාධිතයා ලෙස නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන)

 

 

ජාත්‍යන්තර කටයුතු පිළිබඳවද ප්‍රාමාණික විද්වතෙකු වන ඔහු 2017 වසරේ ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් එක්සත් ජාතින්ගේ මුලස්ථානයේ පැවැති සමුළුවේදී විශේෂ දේශනයක්ද  පැවැත්වීය. එසේම 2018 වසරේ අභ්‍යවකාශතාක්ෂණය පිළිබද ආසියානු අමාත්‍ය සමුළුවේ උප සභාපති වරයා ලෙසද කටයුතු කරන ලදී.

 

 

karu 3

(මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ දණ්ඩමුක්තිය මැඩපැවැත්වීම’ මැයෙන් අමතමින්…

"අපට මුලින්ම අවශ්‍ය වූයේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හා සාරධර්මවලට ගරු කරන රජයක් වන අතර එය ශ්‍රී ලංකාව තුළ අප සාක්ෂාත් කර ගෙන ඇත. එම අරමුණ සාක්ෂාත් කර ගැනීමත් සමඟ අපි මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ප්‍රධාන අංගයක් වන මාධ්‍ය නිදහස තහවුරු කිරීමට පියවර ගනිමින් සිටිමු."

 

 

දේශපාලනයට පැමිණීමට පෙර රාජ්‍ය සේවයේ තනතුරු ගණනාවක්ම හෙබවූ ඔහු, ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, ජාතික රූපවාහිනියේ ප්‍රධාන විධායක නිලධාරී සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත. විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවයේද කටයුතු කළ ඔහු කැනඩාවේ ටොරොන්ටෝහි කොන්සල් ජනරාල්වරයා ලෙස කැපී පෙනෙන මෙහෙවරක් රට වෙනුවෙන් ඉටු කළේය.

 

karu 4

(යෝජිත තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත (RTI) පිළිබඳව ජනමාධ්‍ය ලේකම් ලෙස අදහස් දක්වමින්...)

 

 

රත්නපුර ලෙල්ලෝපිටිය දිප්පිටිගල මහා විද්‍යාලයෙන් සහ රත්නපුර  ශාන්ත  ඇලෝසියස් විදුහලෙන් මුලික අධ්‍යාපනය ලැබු කරූ පරණවිතාන කොළඹ සරසවියෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධියද එංගලන්තයේ බ්‍රැඩිෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර දේශපාලනය පිළිබද ශාස්ත්‍රපති උපාධියද ලබා ඇති අතර, මේ වනවිට කොළඹ සරසවියේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ දේශපාලන සමාජ විද්‍යා ක්ෂේත්‍රයට අදාලව තම ආචාර්ය උපාධිය පර්යේෂණ කටයුතු වල නියැලෙමින් සිටී. ඊට අමතරව ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකුද වේ.

 

karu 00

(පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ස්වාධීන මාධ්‍ය මණ්ඩලයක් පිහිටුවීම සඳහා එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා සමග නව නීති කෙටුම්පත් කිරීමේ කටයුතුවල නිරතව…)

 

 

ශිෂ්‍ය අවධියේදීම දේශපාලනයට පිවිසි කරූ පරණවිතාන වසර හතරක් අඛණ්ඩව කොළඹ සරසවියේ ශිෂ්‍ය සංගමයට ශිෂ්‍ය ඡන්දයෙන් තේරී පත් වූ ජනප්‍රිය ශිෂ්‍ය නායකයකු වු අතර, 1994 වසරේදී ඔහු කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වරයා ලෙස තේරී පත් විය. ශිෂ්‍ය අවධියේදී  තීරණාත්මක ශිෂ්‍ය සටන් ගණනාවකටම නායකත්වය දුන් ඔහු, එකළ පැවති මහජන අරගල ගණනාවකටම ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සහභාගී වී ඇත.

 

ශිෂ්‍ය දේශපාලන කටයුතු වලින් පසු ජනතා මිතුරෝ ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයකු වූ ඔහු ජනාධිපතිනි  චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නායකත්වය දුන් සමයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විධායක සභා සාමාජිකයකු ලෙස කටයුතු කළේය. සමගි ජන බලවේගය නියෝජනය කරමින් 2019 මහ මැතිවරණයට තරග කළ කරූ පරණවිතාන මේ වන විට පාඨලී චම්පික රණවක නායකත්වය දෙන එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

 

karu patali

(ජාතික හෙළ උරුමයේ මාධ්‍ය සාකච්ඡාවක - පාඨලී චම්පික රණවක සමග)

 

කරූ පරණවිතාන විශ්වවිද්‍යාල පාඨ ග්‍රන්ථයක් ලෙසද භාවිතයට ගැනෙන ‘සිවුවෙනි ආණ්ඩුවේ දේශපාලනය‘ කෘතිය මෙන්ම ‘දේශපාලන සංහිතාව‘ වැනි කෘති රචනා කළ ලේඛකයකු, ගත්කතුවරයකු, ජනමාධ්‍ය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සම්පත්දායකයකු ලෙසද කැපී පෙනෙන මාධ්‍ය භුමිකාවක් නියෝජනය කරන්නෙකි.

 

 

නවතම ලිපි