SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"අපේ පක්ෂය දේශපාලන සිතියම වෙනස් කරපු දේශපාලන බලවේගයක්.  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ මාතෘ භූමියේ මායිම් ගම්මාන කියන වචනය ශබ්දකෝෂයෙන් අයින් කළා. 

මේ රටේ ආර්ථිකය ශක්තිමත් කළා. ගමේ අම්මා තාත්තාගේ දරුවන්ට හොඳ ආර්ථිකයක් ලබා දෙන්න කටයුතු කළා. 2015 දී අපි පරාජය වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට භාරගන්න සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ භාර දීපු රට නෙවෙයි. ආර්ථික වශයෙන් වැටුණු රටක්. කෝවිඩ් 19 වසංගතය ආවා, අපි ඒකට මුහුණ දුන්නා. එදා එන්නත් ගෙනත් දෙන්න කිව්වම අපි එන්නත් ගෙනත් දුන්නා. විශේෂඥයන්ගේ උපදෙස් අරගෙන ගෝඨාභය මහත්තයා ජීවිත බේරලා දුන්නා".

 

පසුගියදා තම මංගල ජන රැළිය අනුරාධපුරයෙන් ඇරඹී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජනතාව ඇමතීම පිළිබඳව බොහෝ දෙනාගේ අවදානයට හා කතාබහට ලක්ව තිබුණි. ඒ, අරගලයට පෙර සිටි සීනි බෝල නාමල් නොව අරගලයෙන් පසුව ඉන්නා නාමල් දේශපාලනයෙන් පරිණතභාවයට පත්වූවෙකු බව කියමිනි.

මේ ඔහු එදින සිදුකළ සම්පූර්ණ කතාවයි..

 

 NAMAL SPEECH 2

 

ආර්ථිකය ද? ජීවිතය ද?

 

අපිට තිබ්බේ ආර්ථිකයද ජීවිතයද කියන කාරණාව පිළිබඳව අපේ අවධානය යොමු කරන්න. එදා ගෝඨාභය මහත්තයත් මහින්ද ජනාධිපතිතුමත් තීරණය කරා අපි ජීවිත බේරගන්න ඕනේ කියන කාරණය. ඔබට මතක ඇති එදා තරුණයෝ එකතුවෙලා ඇඳන් දහදාහක් අපේ රටේ හැදුවා. නිරෝධායන මධ්‍යස්ථානවලට අපේ රටේ තරුණ පරම්පරාව උදව් කෙරුවා.

 

වැඩිහිටියන්ට පන්දාහේ ඒවා තුන් වතාවක් ගාණෙ පහළොස්දාහක් අපි මේ රටට දුන්නා. අපි මිනිස්සු බඩගින්නෙ මැරෙන්න ඉඩ දුන්නේ නෑ. අපි විශ්වාස කරනවා යම් කුමන්ත්‍රණකාරී තත්ත්වයක් නිසා ආණ්ඩුව වැට්ටුවා කියා. හැබැයි අපි රාජ්‍ය වැටෙන්න දුන්නේ නෑ. ඒ ආණ්ඩුව වැටුණත් රාජ්‍ය රැකගන්න තියෙන අවශ්‍යතාවය නිසා.

 

අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ආණ්ඩුව භාර දුන්නා. පොහොට්ටුවට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙන්න බැරි කාරණා තිබුණත් මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම,  අවිහිංසාවාදය පරමාර්ථය කරගත් දේශපාලන බලවේගයක් විදිහට අපි උපරිම සහයෝගය දුන්නා.

 

බණ්ඩාරනායකගෙන් පස්සෙ ජාතිකත්වය නියෝජනය කළේ පොදුජන පෙරමුණයි

 

මිත්‍රවරුනි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගෙනකොට බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් එළියට ආවේ පංච මහා බලවේගය නියෝජනය කරන්න. අපේ හාමුදුරුවනේ, අපේ රටේ රෙද්ද බැනියම ඇඳපු අම්මා තාත්තා නියෝජනය කරන්න, දේශපාලන හඬක් අවශ්‍ය වෙච්ච නිසා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදෙන්නේ කොහොමද? .2015 න් පස්සේ ඒ බණ්ඩාරනායක හදපු පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක බද්ධ වීම නිසා. මේ රටේ අහිංසක අම්මා තාත්ත නියෝජනය කිරීමේ ජාතිකත්ව කඳවුර නියෝජනය කිරීමේ අවශ්‍යතාවය නිසා. ඒ නිසා එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගුණා.

 

ඒ ගොඩනැගුණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි මේ රටේ දැවැන්තම මැතිවරණ ජයග්‍රහණය කරපු අපේ පක්ෂය.

 

අපි ගත් තීන්දුව

 

වර්තමානයේත් අපිට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. අපි කෙටි කාලීන අරමුණු සඳහා අපේ සංස්කෘතිය, ආගම දහම, අපි ගොඩනැගිච්ච ඓතිහාසික බලවේගය අපි අත හරිනවද? නැත්නම් නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදිහට ඒ ඓතිහාසික වගකීම ඉටු කරමින් අපි විශ්වාස කරන දේශීය චින්තනය රැකගනිමින්,  මේ මාතෘ භූමියේ ජීවිත පූජා කරපු, ලේ හලපු, රණවිරුවන්ගේ ජීවිතවලට ගෞරවයක් ලබාදෙමින්, අපි විශ්වාස කරන ප්‍රතිපත්තිවලට අපි සටන් කරනවද? කියන තීරණය.

 

ඒ නිසා තමයි මිත්‍රවරුනි,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දු කරේ " නෑ අපිට අවස්ථාවාදී දේශපාලනය අවශ්‍ය නෑ" කියලා.  අපිට කෙටි කාලීන වරදාන වරප්‍රසාද අවශ්‍ය නෑ.

 

දේශීය චින්තනය පදනම් කරගත් වැඩපිළිවෙල

 

අපි ගොඩනැගිච්ච දේශීය චින්තනය පදනම් කරගත් වැඩපිළිවෙලක් අපිට තියෙනවා. ගමේ අම්මා තාත්තාගේ ආර්ථිකය කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් තියෙනවා. ගමේ අම්මා තාත්තගේ දරුවට රැකියා උත්පාදනය කරන, අපිට ආවේණික වුණු වැඩපිළිවෙළක් තියෙනවා.

 

ඒ වැඩපිළිවෙළ අපි තීන්දු කරේ ආණ්ඩුවක් විදියට  මේ රටේ අම්මා තාත්තා වගේම මේ රටේ ආදරණීය දරුවන්ගේ  අනාගතය සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළක් ගොඩනැගීමේ බලාපොරොත්තුවෙන් බව මම කිව යුතුයි.

 

ඒ පිළිබඳ මතක් කරන්න ඕන. මිත්‍රවරුනි අපි අභියෝගවලට බය නෑ මම අභියෝගවලට ආදරය කරනවා. ඒක තමයි මම මගේ තාත්තාගෙන් ඉගෙන ගත්තු දේ.

 

අපි වෛර කරන්නේ නෑ. අපිට මඩ ගහලා ඵලක් නෑ. අපි ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරනවා.  ප්‍රතිපත්තිය ආරක්ෂා කරන බල කඳවුරක්. එහෙම නම් අපි වැඩපිළිවෙළක් එක්ක ඉදිරියට යමු. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, මේ රජරට මගේ ආදරණීය අම්මා තාත්තා, ඔබට අසීමිත ආදරයක් දක්වන මේ මගේ දෙමව්පියෝ තරුණයන් ඉදිරියේ මං පොරොන්දු වෙනවා ඔබ  2005- 2015 කාල සීමාව තුළ අනුගමනය කළ කෘෂි ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් නවීකරණය කරා රැගෙන යන්න, මම කටයුතු කරනවා කියලා.

 

අපි විශ්වාස කරනවා අපේ රටේ වවන්න පුළුවන් හැම දෙයක්ම අපි වවන්න ඕනේ. පිටින් ගෙනල්ලා කන්න දෙන යුගයක් නෙවෙයි. අපි අපේ රටේ වවන්න පුළුවන් හැම බෝගයක්ම වවන්න ඕනේ.  ගොවියාට පොහොර සහනාධාර අපි දෙන්න ඕනෙ. අපි ගොඩ ගොවියට මඩ ගොවියට වගේම තේ ගොවියටත් දෙනවා. ඒ තුළ අපි විශ්වාස කරනවා මේ රටේ ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අපිට ක්‍රියාත්මක කරවන්න පුළුවන් කියන කාරණය. 

 

ඒවගේම තරුණ පරම්පරාවට අපි තාක්ෂණය දෙනවා. ඒ අනුව අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගන්න පුළුවන් ගොවි පරම්පරාවක් අපි නිර්මාණය කරනවා.

 

තාක්ෂණය කෘෂිකර්මයත් එක්ක බද්ධ කරනවා. ඒ තාක්ෂණය බද්ධ කිරීමත් එක්ක නූතන පරම්පරාවේ මේ අපේ අම්මා තාත්තාගේ දරුවෝ බලාපොරොත්තු වෙන හෙට දවස, හොඳ ආර්ථිකයක්, පෝසත් රටක් පොහොසත් පුරවැසියෙක්, බිහිකිරීමේ වගකීම අපි භාරගන්නවයි කියන එක මම මතක් කරනවා.

 

මහින්ද යුගයේ ගොඩනැගූ සමාද්ධිය සහ දිවිනැගුම

 

සමෘද්ධි ව්‍යාපාරය ගැන බොහෝ දෙනාගේ වැරදි අර්ථකථනයක් තියෙනවා. බොහෝ අය කියනවා මේ සමෘද්ධිය තියෙන්නේ නිකං බෙදන්න කියලා. එදා මහින්ද රාජපක්ෂ යුගයේ සමෘද්ධියත් දිවිනැගුමත් ගොඩනගලා මේ රටේ ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරුවා. වර්තමානයේ අපි දකිනවා ගෘහස්ථ ආර්ථිකය සහ ග්‍රාමීය ආර්ථිකය වෙනුවට පිටින් ගේන් නිෂ්පාදන අපේ රටට ගෙන්වලා විකුණන සංස්කෘතියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරය කප්පාදු කරලා තියෙනව. සමෘද්ධි ව්‍යාපාරය තුළ රුපියල් 5,000 හෝ 7,500 දීමනාවට එහාට ගියපු වැඩපිළිවෙළක් අපට තියෙනවා. එක පැත්තකින් ව්‍යවසායකයෝ බිහිකරනවා. අනිත් පැත්තෙන් දරුවන්ගේ ගෙදර ආර්ථිකය දුප්පත්කමින් මුදවා ගන්නවා. සමෘද්ධි බැංකු හරහා මූල්‍ය ප්‍රතිපාදන ටික ලබා දෙනවා. පැහැදිලිවම අපි හදන ආණ්ඩුවක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කේන්ද්‍ර ගත් ආණ්ඩුවක් තුළ, මගේ ආදරණීය අම්මේ තාත්තේ අපි සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරනවා විතරක් නෙවෙයි මේ රටේ අහිංසක අම්මා තාත්තගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.

 

මේ ගම්වල අම්මලා තාත්තලාගේ දරුවෝ සටන් කෙරුවේ මේ රටේ ඒකීයත්වය ආරක්ෂා කරන්න.එදා අනුරාධපුර මායිම් ගම්මානයක්.අපි දේශපාලනේ ඉන්නකම් නැවත වතාවක් මේ රට තුළ, මායිම් ගම්මාන ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන එක අපි ඔබ තමුන්නාන්සේලාට මතක් කරනවා.

 

මේ බෞද්ධ රට තුළ සියලු ආගම්වලට ගරුත්වය දෙන්න අපි සූදානම්. අපි ඒක කරනවා. මේ ගමේ අම්මා තාත්තාත් එහෙමයි. ඒ වගේම තමයි පළාත් සභා තුළ ඉඩම් පොලිස් බලතල අපි දෙන්නේ නෑ කියන එකත් අපි මතක් කරන්න ඕනේ.

 

බැරි දේ බැහැ..

බොරු පොරොන්දු නෑ..

 

අපිට උතුරේ දමිළ දෙමව්පියන්ව තරුණයන්ව ඡන්ද කාලලෙට රවට්ටල වැඩක් වෙන්නේ නෑ. රවට්ටල ඵලක් වෙන්නෙ නෑ. අපිට පුළුවන් දේ අපි පුළුවන් කියන්න ඕන, අපි බැහැයි කියන දේ අපි බැහැයි කියන්න ඕනේ. අපි දමිළ සංස්කෘතිය රකින්නම්. අපි භාෂාව රැකලා දෙන්නම්. නමුත් පොලිස් හා ඉඩම් බලතල ලබාදීමත්, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමත් අපි කරන්නේ නැහැයි කියන එකත් මතක තියාගන්න ඕනි.

 

ඒ නිසා අපි පුළුවන් දේ පුළුවන් කියන බැරි දේ බැහැයි කියන සෘජු දේශපාලන බලවේගයක්.

 

අපි නූතනත්වය කරා ගමන් කරමු. තව ආයෝජන අපේ රටට ගේමු. අසීමිත බදු බරින් මේ රටේ ජනතාව මුදවගමු. රාජ්‍ය ආදායම කප්පාදු වෙන්නැති විදියට රාජ්‍ය දේපළ සංවර්ධනය කරමින් රාජ්‍ය දේපළ කුණු කොල්ලෙට විකුණන්නෙ නැතුව, අසීමිත බදු බරෙන් ජනතාව මුදවගෙන රාජ්‍ය ආදායම වැඩි කරන ගමන්, ගමේ අම්මා තාත්තා මුහුණ දෙන අසාධාරණ බද්දෙන් අපි මුදවා ගන්නවා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණයත් එක්ක විප්ලවකාරී වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා. එකම පුද්ගලයෙක්ගෙන් බදු ගහනවා වෙනුවට බදු ගෙවන ප්‍රමාණය අපි වැඩි කරමු. වක්‍ර බදු වෙනුවට අපි සෘජු බදු වලට යමු. දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ගමේ කුඩා ව්‍යාපාරිකයා ව්‍යවසායකයා ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ, අපි විශ්වාස කරනවා මේක තමයි මේ රටේ ආර්ථිකයට අවශ්‍ය.

 

මහා පරිමාණ ව්‍යාපාර ලාභ උපයනවා වගේම කුඩා පරිමාණ ව්‍යාපාර ටික ලාභ උපයන්න ඕනෙ. ගමේ අම්මා තාත්තාගේ කුඩා පරිමාණ ව්‍යාපාර ටික ලාභ ඉපයෙව්වම තමයි ගමේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. එනිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ මහා බලවේගයක් වගේම නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය බව මා ඔබට කියන්න ඕනේ.

 

පහුගිය කාලේ ජනාධිපතිතුමනි, මේ හැටනම ලක්ෂය ගැන කතා කෙරුවා. ඒ අයගේ ගෞරවය ගැන කතා කෙරුවා. ඒ අයගේ බලාපොරොත්තු ගැන කතා කෙරුවා. වගකීමකින් මගේ ආදරණීය අම්මේ තාත්තේ මම කියනවා හැටනම ලක්ෂයේ ගෞරවය ආරක්ෂා කරන්න අපි ඇපකැපවී කටයුතු කරන බව. අවසාන වශයෙන් මගේ ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, අපි මේ රටට ආදරේ කරනවා. අපි මේ රටට ද්‍රෝහීකම් කරන්නේ නෑ.

 

අපේ මහජනතාවටත් රටටත් හානියක් වන කිසිම දෙයක් අපි කරන්නේ නෑ. ඒ වගේම තාක්ෂණයත් එක්ක බද්ධ කරමින් නූතන පරම්පරාවේ දරුවන් බිහිකරන්න නූතන පරම්පරාවේ තරුණ පරම්පරාවක් ගොඩනගන්න අපි සූදානම්. මම සූදානම්. මම ඔබට ආරාධනා කරනවා, අපි සූදානම් මේ රටේ ඊළඟ පියවරට රැගෙට යන්න. මම සූදානම් මේ රටේ අම්මා තාත්තා අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ භාරගන්න. ඒ සඳහා අපි අත්වැල් බැඳගමු. එකතු වෙමු. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අද ඔප්පු කරලා පෙන්නුවා මේ රටේ මහපොළොවේ බලාපොරොත්තුව මහින්ද චින්තනයත් එක්ක බැඳුණු දේශීය ප්‍රතිපත්තිය කියන එක ඔබ තමුන්නාන්සේලා ඔප්පු කරලා පෙන්නුවා කියන එකත් මතක් කරමින්, ඔබ තමුන්නාන්සේලාට  ජයවේවා කියමින්,  සුභ අනාගතයක් පතමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි