“....මම රටට ආදරේ නැතුව නෙමෙයි... අපේ රට ලෝකයෙ දියුණුයි කියන බොහෝ රටවලට වඩා ලස්සනයි..හොඳයි කියන කතාව මම දන්න රට ඉන්න ගොඩාක් යාළුවන්ගෙන් අහලා තියෙනවා...නෑයොත් කියලා තියෙනවා...
ඒත් මම දැන් ඩිග්‍රරිය කරලා අවුරුදු 3 ක් වෙනවා... තාම හරි හමන් රක්ෂාවක් ලැබුණේ නැහැ...ආණ්ඩුවේ රක්සාවල් දැන් කොහොමත් නෑ...ප්‍රයිවෙට් සෙක්ටර් එකේ හොඳ රක්ෂාවක් හොයා ගන්න අවුරුදු පහකවත් එක්ස්පීරියන්ස් ඉල්ලනවා... ලැබෙන රක්ෂාවෙන් ජීවත් වෙන්න බැහැ... ගෙදරින් සල්ලි ඉල්ලන්න හිතෙන්නේ නැහැ.. මට තේරෙනවා ගෙදර තියෙන අමාරුව... යාළුවෝ නම් කියනවා පොඩි ඩීල් එකක් දාලා ගතමනාවක් හොයා ගමු කියලා...ඒත් පොලු කාරයෝ වැඩියි...මට බොරුකාරයෙක්, අපරාධකාරයෙක් වෙන්න බැහැ... බැරිම තැන තමයි රට යනවා කියලා තීරණය කළේ... සවුදියේ ජොබ් එකක් බැලුවා...ට්‍රයි එකක් දෙනවා අම්මගේ රත්තරන් බඩුවක්වත් උගස් කරලා ගේම ගහ ගන්න...”
- අවුරුදු 24 ක තරුණයෙකු හමුවූ අවස්ථාවක ඇති වූ දෙබසක කොටසක්
මේ ඔහුගේ සිතුවිල්ල පමණක් නොවේ. අද මෙරට බොහෝ තරුණ තරුණියන්ගේ සිතුවිල්ල ද එයමය. ඔහු කිසිවෙකුට දොස් කීවේ නැත. විවේචනය ද කළේ නැත. එහෙත්, ඔහු මුහුණ දෙන දුෂ්කර ජීවන තත්තවය ගැන ඉතා කෙටියෙන් කීවා පමණක් නොව එම තත්ත්වයෙන් මිදීමට ඔහුට ඇති යහකල්පනාව ද හෙළිදරව් කළේය. එනමුත්, රට පිළිබඳ ඇති ඔහුගේ බලාපොරොත්තු බිඳ වැටී තිබුණි. තව දුරටත් මේ රට ඉන්න හිතෙන තැනක් නොවන බව නොසඟවා ප්‍රකාශ කළේය.
රට වැටී ඇති ආර්ථික බංකොළොත්භාවය නිසා තාරුණ්‍යයේ බලාපොරොත්තු බිඳ වැටී ඇත. ඔවුන් තුළ බලාපොරොත්තුවත්, විශ්වාසයත් යළි ජනිත කළ හැකි ආණ්ඩුකරණයක්, වැඩපිළිවෙලක් රට ඉල්ලා සිටින බැව් ප්‍රත්‍යක්ෂ ය. වර්තමානයේ සිට අනාගතය දක්වා, අවම වශයෙන් ඉදිරි වසර 10 ට වත් එවැනි වැඩපිළිවෙලක් කවරා ආකාර විය යුතු ද? යන්න සංවාදයට ගත යුතුය. එවැනි, දේශපාලන ආර්ථිකයක්, ආණ්ඩුකරණයක් පිළිබඳ විවෘත ව කතා කළ යුතුය. සංවාදය පෝෂණය කළ යුතුය.
දැන් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වාධිපත්‍යය බිඳ වැටී අවසානය. රටේ මුල්‍ය විනය රැකගැනීමට, සර්ව ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට අපට අන් අයගේ උදව් උපකාර අවශ්‍ය වී තිබේ. ඒ සඳහා වත්මන් ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයට එළඹ, එම ආයතනයේ අධීක්ෂණය යටතේ ක්‍රියාකරමින් සිටී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ චීනය
මුල්‍ය අරමුදල ගැන විවිධ අර්ථකථන ඇත. එය ගෝලීය ඩොලර් ආර්ථිකයේ ස්ථාවරත්වය ගැන අවධානයෙන් යුතුව, අපගේ ආර්ථික ස්ථාවරත්වය උදෙසා අපට තිත්ත කසාය වට්ටෝරුවක් ලබාදී ඇත. ඊට එරෙහිව, රටේ විරෝධයක් හා විචේචනයක් ද තිබේ.
එනමුත්, අප තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇති ව මෙම ගමන් මගේම යනවා ද නැද්ද ? යන්න දැන් විවාද කිරීමෙන් පලක් නොමැත. සම්මත ගෝලීය මුල්‍ය ආර්ථිකයට විකල්පව චීනය, රුසියාව ප්‍රධාන බලවත් රටවල් කිහිපයක් පෙරට ඇවිත් තමන්ගේම වූ සහ පොදු මූල්‍යකරණයක් වෙනුවෙන් ක්‍රියාකරන බැව් සත්‍යයකි. එහෙත්, අප රටට පවා සැලකිය යුතු ද්විපාර්ශවික ණය ආධාර සපයා ඇති චීනය, පළමු වරට, අප විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතාවය ඉදිරියට ගෙන යාමට ලිඛිතව ම සහයෝගය ලබා දී ඊට ආශිර්වාදය කර තිබීම සැලකිල්ලට ගත යුතුව ඇත. එය, වත්මන් ගෝලීය තත්ත්වයන් යටතේ, ශ්‍රී ලංකාව අරඹයා වඩා ප්‍රායෝගික මෙන්ම යථාර්ථවාදී පියවරක් බැව් චීනය වුව සිතනවා නොවිය හැකිද? අර්බුදය උග්‍ර වූ අවස්ථාවේ දී ඉන්දියාව අපගේ සහයෝගයට පැමිණියත්, දිගින් දිගටම එසේ නොවෙනු ඇත. ඉන්දියාව උපක්‍රමිකව තම ආර්ථික හා වෙළඳ ග්‍රහණයට සෙසු රටවල් හසුකර ගැනීම අප තේරුම් ගත යුතුය. අපගේ ආණ්ඩුව සබුද්ධිකව ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ලබා දී ඇති මූල්‍ය විනය පිළිබද දැඩි කොන්දේසි රාමුව තුළ සුදුසු තීරණ ගෙන කටයුතු කිරීමට ලංකා රජයට නිදහසක් ඇත. ඒ අනුව, රටේ ආර්ථිකයට බරක් වූ දේශීය ණය ප්‍රතිව්‍යහගත කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ බැව් පෙණේ. එහෙත්, ආණ්ඩුව ගත් ඇතැම් ක්‍රියාමාර්ග රටේ ආර්ථික යුක්තියට පටහැනිය. බංකොළොත්භාවයට සෘජුව වගකිව නොයුතු බහුතරයක් ජනතාවට පීඩනයක් එල්ල කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග හේතූ විය. එහෙත්, මූල්‍ය ආර්ථිකයෙන් අවස්ථාවාදීව ප්‍රතිලාභ ලැබූ සහ වංචනික ලෙස රාජ්‍ය ආදායමට දායක නොවූ බොහෝ පුද්ගලික අංශයේ ව්‍යාපාරික ප්‍රජාව හා ජාවාරම්කරුවන්ට එවැනි පීඩනයක් එල්ල නොවීය. ආණ්ඩුව තම සහචර ව්‍යාපාරිකයෝ ආරක්ෂා කළේය. එබැවින්, තරුණ ප්‍රජාවගේ රට පිළිබඳ විශ්වාසය තවදුරටත් පිරිහෙනු ඇත.
කුටුම්භ ආර්ථිකය
රටේ පරිභෝජනය, රාජ්‍ය වියදම අනිවාර්යෙන්ම පිරිවැසුම්කරණයකට භාජනය විය යුතුය. මෙවැනි ආර්ථික බංකොළොත්භාවයකට පත් වූ රටවල් බොහෝමයක් අනුගමනය කළ ක්‍රියාදාමය එවැනි පිරිවැසුම්කරණයකි. ඉන් සාර්ථක ප්‍රතිපල ලැබූ බවට අත්දැකීම් රැසකි. එහෙත්, එය සමාජ සාධාරණත්වයට සහ විනිවිදභාවයට වගවිය යුතු ක්‍රියාමාර්ගයක් විය යුතුය. රටේ සර්ව ආර්ථික මිණුම් දඬු සාධනීය මට්ටමකට රැගෙන ඒමේ දී තාවකාලිකව හෝ දරුණු බිඳ වැටීමකට පත්වෙන කුටුම්භ ආර්ථිකය ගැන ආණ්ඩුවකට සහකම්පනයක් තිබිය යුතුය. පවුලේ අත්‍යවශ්‍ය ආහාර, බලශක්තිය, අධ්‍යාපනය, සෞඛ්‍යය පහසුකම් පිළිබඳ එම සහකම්පනය හුදු සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලකින් ඔබ්බට ගිය ආර්ථික යුක්ත යුක්ති බවක් තුළ ක්‍රියාවට නැංවිය යුතුය. එසේ නොමැති නම්, බලාපොරොත්තුවට වඩා ලියලා වැඩනුයේ සමාජ අසහනය හා වෛරය මූලික කරගත් සමාජ විරෝධයක් පමණි. අද රට පුරා ඇතිවෙමින් ඇත්තේ එවැන්නකි.
රටේ ප්‍රතිරූපය සහ විනිවිදභාවය
ශ්‍රී ලංකාව, පසුගිය දශක දෙක තුළ දරුණු දේශපාලන සහ ව්‍යාපාරික සහචරවාදයකට ගොදුරු වී ඇති බැව් අප පිළිගතව යුතු ඇත. එබැවින්, රටේ ප්‍රතිරූපය ගෝලීය වශයෙන් ඉහළ නැංවීමට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ, අධිකරණ ක්‍රියාමාර්ග සහ සියළු ගනු-දෙනුවල පාරදෘශ්‍ය බව රැකිය හැකි නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ආර්ථික මර්මස්ථාන වෙත හඳුන්වාදීම නොපමාව සිදුකළ යුතු වන්නේ ඒ නිසාය. ඒ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ම සාකච්ඡාවට බඳුන් කොට ඇති යහපාලන උපදේශයන් පදනම් කරගත හැකිය. එහෙත්, ආණ්ඩුව තවමත් ඊට සාධනීය ප්‍රතිචාරයක් වේගවත් ව දක්වා නොමැත.
ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණය, විනිවිද බවින් යුතු පරිපාලනය සහ නියාමනය,ජනතාවට නිවැරිදි තොරතුරු සැපයීම හා තීරණ ගැනීමේදී සියළු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය තුළින් මෙම අභියෝග ජය ගත හැකිය. කල් මරමින් පවතින විදේශීය ණය ප්‍රතිව්‍යහගත කරගැනීමට ද එය උත්තේජනයක් සපයනු ඇති අතරම, ඉන් කලබලයට පත්වෙන දූෂ්ඨ බලවේග ද හෙළිදරව් වෙනු ඇත. ඉන්න හිතෙන රටක් ප්‍රාර්ථනා කරන තාරුණ්‍යයේ බලාපොරොත්තු නැංවීමට නම් ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමත්, වෙළඳ පොළ පිළිබඳ විශ්වාසය තහවුරු වීමත් අත්‍යවශ්‍ය ය. අනුක්‍රමයෙන් ණය බරින් මිදී, වර්තමාන ගෝලීය ප්‍රවණතාවන්ට අනුරූපව ගෝලීය සැපයුම් ජාලය හා බද්ධ වී අපගේ නිශ්පාදන සහ සේවා ආර්ථිකයට, නවෝත්පාදනයට අවස්ථාවක් බිහි කරගත හැක්කේ එවිටය. ධනෝත්පාදන ආර්ථිකයකට අවශ්‍ය තිරසාර ආයෝජන අවස්ථා උකහා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය දේශපාලනිකව මෙන්ම ආර්ථිකව පරිවර්තනය කිරීම ඉන් ආරම්භ වෙනු ඇත. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට නම් අවම වශයෙන් ඉදිරි වසර පහ තුළ ආර්ථික වර්ධන වේගය 5% ක අගයකයට ළඟා කරගත යුතුමය.
රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සහ වියදම පාලනය කරගැනීම අනිවාර්ය කොන්දේසියකි. දූෂණ හා වංචාවන්ට තිත තැබීම විය යුත්තකි. බදු බර සමාජ සාධාරණත්වයට අනුවත්, රාජ්‍ය ව්‍යවසායන් හා ආයතන පද්ධතිය විද්‍යානුකූල ප්‍රතිව්‍යුහගත කිරීමටත්, ඒවායේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හා සඵලතාවය වර්ධනය කිරීමටත් මනා විවෘත සංවාදයක් අවශ්‍යය. රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය, වෘත්තීයවේදී සංවිධාන සහ බහුජන සංවිධාන සමඟ දේශපාලන පක්ෂ සංවාදයකට පිවිසීමට පමණක් සීමා නොවී නව තත්ත්වයන්ට අනුරූපවන ලෙස නව සමාජ සම්මුතියකට එළඹීම ද පැහැර නොහැරිය හැකි ඉදිරි පියවරකි. මෙම කාර්යය තවමත් වත්මන් ආණ්ඩුවෙන් ගිලිහී තිබීම, මෙරට අතහැර රට යන්න සිතන මානව සම්පතට හේතූ සාධකය. ශ්‍රී ලංකාව ආර්ථික බංකොළොත් බවින් නිදහස් වීම පමණක් නොව මානව කාන්තාරයක් වීම ද වලක්වා ගත යුතු ප්‍රබල අභියෝගයකි.
@බන්දුල චන්ද්‍රසේකර
ප්‍රධාන ලේකම් - එක්සත් ජනරජ පෙරමුණ