පෘතුගාලයට අතිශය තියුණු ජයක්
2026 ෆීෆා ලෝක කුසලාන තරගාවලියේ 16 දෙනාගේ වටයේ (Round of 16) අතිශය තියුණු තරගයකින්
ක්‍රොඒෂියාව ගෝල 2-1 ක් ලෙස පරාජය කරමින් ඉදිරි වටයට සුදුසුකම් ලබාගැනීමට පෘතුගාලය සමත් විය. ටොරොන්ටෝ නුවර දැඩි උණුසුම් කාලගුණයක් මධ්‍යයේ පැවති මෙම තරගයේ ආරම්භයේ සිටම වැඩි ගෞරව දිනාගත්තේ ක්‍රොඒෂියානු කණ්ඩායමයි.
තරගයේ 53 වන මිනිත්තුවේදී පෘතුගාල දැල රකින්නා වූ ඩියෝගෝ කොස්ටා (Diogo Costa) පසුකරමින් අලංකාර ගෝලයක් වාර්තා කළ ක්‍රොඒෂියාවේ ඉවාන් පෙරිසික් (Ivan Perisic), පෘතුගාල කණ්ඩායම දැඩි කම්පනයකට පත් කළේය. ඉන් මිනිත්තු කිහිපයකට පසු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පන්දුව දැල තුළට යැවුවද, එය 'ඕෆ්සයිඩ්' (offside) එකක් ලෙස විනිසුරුවරයා විසින් නම් කිරීමත් සමඟ ඔවුන්ගේ බලාපොරොත්තු කල් ගියේය.
කෙසේ වෙතත්, ක්‍රොඒෂියාවේ නිකොලා ව්ලැසික් (Nikola Vlasic) විසින් පෘතුගාලයේ රෙනාටෝ වීගා (Renato Veiga) දඬුවම් කලාපයේදී අල්ලාගැනීම හේතුවෙන් තරගයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් විය. VAR තාක්ෂණයේ පරීක්ෂාවකින් පසු පෘතුගාලයට දඬුවම් පහරක් (Penalty) හිමිවිය. රොනාල්ඩෝ එය කිසිදු අපහසුවකින් තොරව දැලේ මැදටම යොමු කරමින් තරගය 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ආවේය. මෙය ඔහුගේ දීර්ඝ පාපන්දු දිවියේ ලෝක කුසලාන තරගාවලියක පිළිමළුන් පිටුදැකීමේ වටයකදී (knockout phase) වාර්තා කළ ප්‍රථම ගෝලය වීමද විශේෂත්වයකි.
තරගයේ වේගය තවත් වැඩිවෙමින්, මැන්චෙස්ටර් සිටි ක්‍රීඩක මැටියෝ කොවාසික් (Mateo Kovacic) එල්ල කළ ප්‍රබල පහරක් පෘතුගාල දැල් රකින්නාගේ ඇඟිලි තුඩු වල වැදී ගෝල කණුවේ ගැටී ගියේය. ඉන්පසු ක්‍රොඒෂියාවේ පීටර් සුසික් (Petar Sucic) ගෝලයක් වාර්තා කළද එය පැහැදිලි 'ඕෆ්සයිඩ්' අවස්ථාවක් ලෙස සහකාර විනිසුරු විසින් නම් කෙරිණි.

81 වන මිනිත්තුවේදී රොනාල්ඩෝ වෙනුවට රූබන් නෙවෙස් (Ruben Neves) ක්‍රීඩා පිටියට කැඳවූ අතර, ක්‍රොඒෂියාවේ මාරියෝ පැසලික්ගේ (Mario Pasalic) හිසෙන් එල්ල කළ පහරක් ගෝල කණුව අසලින්ම ඇදී ගියේ පෘතුගාල ප්‍රේක්ෂකයින්ගේ හද ගැස්ම තවදුරටත් වැඩි කරමිනි.
තරගයේ නියමිත කාලය අවසන් වී අතිරේක කාලයේ (stoppage time) 4 වන මිනිත්තුවේදී රෆායෙල් ලියෝ (Rafael Leao) විසින් ලබාදුන් විශිෂ්ට පන්දුවක් හිසෙන් දැල වෙත යොමු කරමින් අතිරේක ක්‍රීඩක ගොන්කාලෝ රමෝස් (Goncalo Ramos) පෘතුගාලයේ ජයග්‍රහණය තහවුරු කළේය.

තරගයේ අවසන් තත්පර කිහිපයේදී ක්‍රොඒෂියාවේ ජොස්කෝ ග්වාඩියෝල් (Josko Gvardiol) ගෝලයක් ලබාගනිමින් තරගය සම කළ බව සිතුවද, තීරණාත්මක VAR පරීක්ෂාවකින් පසු එය ද 'ඕෆ්සයිඩ්' එකක් ලෙස නිශ්ප්‍රභ වීමත් සමඟ ක්‍රොඒෂියානු ක්‍රීඩකයින් දැඩි කම්පනයට පත් වූහ. මෙම ත්‍රාසජනක ජයග්‍රහණයත් සමඟ පෘතුගාලය එළඹෙන සඳුදා ඩලස් (Dallas) නුවරදී ප්‍රබල ස්පාඤ්ඤයට එරෙහිව තරග වැදීමට නියමිතය.

