SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මගේ ආදරණීය ගෝඨා මාමා වෙත,

 

මම අද ඔබට මේ ලියුම ලියන්න හිතුවේ, සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් හැමෝම ඔබ ගැන

කතා කරන්න පටන් අරන් තියෙන නිසයි. හැබැයි ඒ කතාබහ එච්චර හොඳ දේකට නම් නෙවෙයි. මීට අවුරුදු හතරකට විතර කලින්, අරගලකරුවන් දොරකඩටම එද්දී ජනාධිපති මන්දිරයේ පසුපස දොරෙන් පැනලා ගිහින් දේශපාලනයෙන් විශ්‍රාම ගත්තට පස්සේ, ඔබ ගැන මේ වගේ කතාවක් ඇදුණමයි.

 

 

 

ඇත්තටම කිව්වොත්, ජ්‍යෝතිෂ්‍යයේ කියන විදිහට මේ දවස්වල ඔබට විතරක් නෙවෙයි, ඔබ වටා සිටි හැමෝටම අපල කාලයක් වගෙයි. Navy එකට ඇතුළු වුණු හැටි සහ ශිෂ්‍යත්ව ගත්ත හැටි ගැන ප්‍රශ්න කරලා ‘යෝ බේබි’ව (යෝෂිත) අත්අඩංගුවට ගෙන ඇප පිට නිදහස් කළා. ඔබගේ පෞද්ගලික ලේකම් සුගී (සුගීශ්වර) දැනටමත් ඉන්නේ හිරගෙදර; ඒ වැටුප් දෙකක් ගත්තා කියන චෝදනාවට.

 

 

මහින්ද මාමාට තවදුරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි වුණු වෙලාවේ, පොහොට්ටුව අපිට හඳුන්වා දුන් ‘හොඳම විකල්පය’ ඔබයි. සහෝදරයා සහ මිලිටරිය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරලා යුද්ධය දිනන්න ඔබ ලොකු වැඩක් කළා කියන එක එදා කවුරුත් සැක කළේ නැහැ.

 

 

හැබැයි මීට අවුරුදු හතකට කලින්, හරියටම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිද්ධ වෙලා දවස් කිහිපයකින් ඔබ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළා. එදා ඒක සාමාන්‍ය දෙයක් වගේ පෙනුණත්, අද ඒ තීරණය ඔබව හොල්මන් කරන්න පටන් අරන්. එදා ඔබේ ප්‍රතිවාදියා වුණු සජිත්ව පරද්දන එක ඔබට මහ කජ්ජක් වුණේ නැහැ, මොකද රනිල් මාමා පවා සජිත්ට පූර්ණ සහයෝගය දුන්නේ නැති නිසා.

 

 

ඊට පස්සේ කොවිඩ් වසංගතය ආපු වෙලාවෙත් ඔබ හිතුවේ මේ වැඩේට ඉන්න සුපිරිම වැඩ්ඩා ඔබ කියලා වෙන්න ඇති. ඒකනේ ඔබ එදා අමරණීය වදන් පෙළක් සමාජගත කළේ, “අපි තමයි හොඳටම කෙරුවේ” කියලා. හැබැයි මාස කිහිපයක් යද්දී හැමතැනම පෝලිම් හැදුණා, රටම අගාධයකට වැටුණා. අන්තිමේදී මහින්ද මාමාටත් අගමැති කමෙන් අස්වෙන්න කියලා බල කරන්න ඔබට සිද්ධ වුණා.

 

 

ඉන්පස්සේ සිද්ධ වුණු දේ දැන් ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. ලංකා ඉතිහාසයේ ධූරයෙන් ඉල්ලා අස්වුණු පළමු ජනාධිපතිවරයා විදිහට ඔබේ නම ඉතිහාසගත වුණා. ලංකාව කවදාවත් දැකලා නැති, විප්ලවයකට ආසන්නම ආපු ‘අරගලය’ මගින් පෙන්නුවේ එදා ‘ආර්’ (Rajapaksa) පවුල කෙරෙහි ජනතාව තුළ තිබුණු අප්‍රසාදයයි. ඇතැමුන් කියන්නේ ඔබව ‘එළවා දැමූ’ බවයි. මොකද කෝටි ගණනක මුදල් මන්දිරය ඇතුළේ දාලා ඔබට එකපාරටම පැනලා යන්න සිද්ධ වුණා. මාලදිවයින, සිංගප්පූරුව, තායිලන්තය වටේ ගිහින් අන්තිමට ලංකාවට එද්දී රනිල් මාමා බලයේ ඉඳලා ඔබේ ආරක්ෂාව තහවුරු කළා.

 

 

 

ඔබ සමහරවිට තර්ක කරයි ඔබ පැනලා ගියේ නැහැ, අස්වුණා විතරයි කියලා. හැබැයි එක දෙයකට අපි ඔබට ගරු කරනවා. ජනතාව ගේට්ටුව ළඟටම එද්දී, බලයේ රැඳී සිටීම සඳහා ලේ වැගිරීමක් නොකර, මර්දනය මුදා නොහැර ඔබ නිශ්ශබ්දව පිටව යාමට තීරණය කිරීම ගැන.

 

 

නමුත් ගෝඨා මාමා, දැන් අපිට තියෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්, භයානක ප්‍රශ්නයක්. ඒ තමයි, “ඔබව බලයට ගේන්න පාර කපන්න, කවුරු හරි හිතාමතාම පාස්කු ප්‍රහාරය නමැති ලේ වැගිරීම සැලසුම් කළාද?” කියන එක. සුරේෂ් සලෙයි ඇතුළු පිරිසක් රඳවාගෙන ප්‍රශ්න කරද්දී අද මුළු රටම අහන්නේ ඒ ප්‍රශ්නයයි.

 

 

පුදුමෙ කියන්නේ මාමා, සලෙයිව අත්අඩංගුවට ගෙන මාස තුනක් යනකම් කිසිම කෙනෙක් කෑගැසුවේවත්, උපවාස කළේවත්, බෝධි පූජා තිබ්බේවත් නැහැ. හැබැයි අධිකරණයෙන් ඔබට විදේශගමන් තහනමක් පැනවූවා විතරයි, ඔන්න හැමෝම එකපාරටම ‘ඇක්ටිව්’ වුණා. දැන් ඔබත් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්න කියලා උසාවියෙන් නියෝග ඉල්ලන තත්ත්වයට පත්වෙලා.

 

 

මේ අස්සේ පොහොට්ටුවේ ඉන්න විමල්ලා, උදයලා වගේ කට්ටිය කියන්නේ මේක දේශපාලන දඩයමක් කියලා. හැබැයි ඒ ගමන්ම කියනවා උසාවියට ගරු කරනවා කියලත්. ඉතින් මාමා, මේ නියෝග ඔක්කොම දෙන්නේ උසාවියෙන් නේද?

 

 

ඔබේ පොතේ හැටියට නම් පාස්කු ප්‍රහාරය කියන්නේ අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ වැඩක්. හැබැයි දැන් පෙනෙන විදිහට ඒක සම්පූර්ණ සත්‍යය නෙවෙයි වගෙයි. පරීක්ෂණ දිගටම යන්නේ ඒකයි. ප්‍රහාරයෙන් මියගිය 270කට අධික අහිංසක මිනිසුන්ගේ පවුල්වලට ඒ සැබෑ සත්‍යය දැනගන්න අයිතියක් නැද්ද?

 

 

ධූරයෙන් ගියාට පස්සෙත් ඔබට නිශ්ශබ්දව ඉන්න බැරි වුණ නිසා ඔබ (නැත්නම් වෙන කවුරුහරි ලවා) පොතක් ලිව්වා, “මාව ජනාධිපති ධූරයෙන් පලවා හැරීමේ කුමන්ත්‍රණය” කියලා. ඉස්සරහට “ගෝඨාව ජනාධිපති පුටුවේ වාඩි කරවීමේ කුමන්ත්‍රණය” කියලා පොතකුත් ලියවෙයිද දන්නේ නැහැ.

 

 

දැන් ඔබට ටිකක් අමාරු කාලයක්. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයත් අත්හැරපු නිසා එහේ යන්නත් බැහැ. නාමල් බේබි පරිණත වනතුරු ‘කෙයාටේකර්’ (Caretaker) කෙනෙක් විදිහට විතරක් අවුරුදු දෙකහමාරක් පුටුවේ ඉන්න වෙච්ච එක ගැන දැන් දුක හිතෙනවා ඇති.

 

 

මම ඔබ නම්, මේ වෙලාවේ රනිල් මාමාගෙන් පොඩි ‘ටිප්ස්’ ටිකක් ගන්නවා. මතකයිනේ, ඔබ ජනාධිපති වෙන්නත් කලින් හෘද සැත්කමකට සිංගප්පූරු ගියා. හැබැයි තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය උසාවියට පෙන්වලා රිමාන්ඩ් යන එකෙන් බේරෙන්නේ කොහොමද කියලා දැන් ලංකාවේ ඉන්න ලොකුම එක්ස්පර්ට් (Expert) රනිල් මාමා තමයි!

 

 

යුද්ධය දිනපු අලුත, ඒ ජයග්‍රහණයේ මහිමයෙන් කවුරුහරි පොතක් ලියලා ඒකට නම තිබ්බා “ගෝඨාගේ යුද්ධය” (Gota's War) කියලා. හැබැයි මාමා, ඒක නෙවෙයි ඔබේ සැබෑ යුද්ධය. ඔබේ සැබෑ යුද්ධය පටන් ගන්නේ මෙන්න දැන් ඉඳලයි!

 

මෙයට, පුංචි පුතා

 

 

පසුසටහන: මාමා අර කියපු “අපි තමයි හොඳටම කෙරුවේ” කතාවට නම් මම එකඟ නැහැ. ඒ ගෞරවය අනිවාර්යයෙන්ම හිමිවෙන්න ඕනේ බැසිල් මාමාට. මොකද එයාට නඩු දස දහස් ගණනක් තිබුණත් උසාවි ගැන වද වෙන්නේ නැහැ. ලංකාවේ ‘රැල්ල පාලනය කරන්න බැරි’ මට්ටමට රත් වුණු ගමන්, එයා කෙළින්ම යන්නේ අව්ව තියෙන කැලිෆෝනියාවටයි!

 

 

(උපුටාගැනීම - Sunday Times, 5th Column, Coming back to haunt)

නවතම ලිපි