SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගය මෙක්සිකෝවට

හුදු ජයග්‍රහණයක් පමණක් ම නොවීය; එය සමස්ත ලෝක පාපන්දු ඉතිහාසයේ ම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ ඓතිහාසික මොහොතකි. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එම තරගයේදී මෙක්සිකෝ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් පිටියට පිවිසි 17 හැවිරිදි ගිල්බර්ටෝ මෝරා (Gilberto Mora) මේ වන විටත් සමස්ත ලෝක පාපන්දු ක්ෂේත්‍රයේම උණුසුම් කතාබහක් බවට පත්ව ඇත්තේ ඔහුගේ වයසට වඩා මේරූ, අතිවිශිෂ්ට ක්‍රීඩා කෞශල්‍යය හේතුවෙනි.

 

 

 

ලෝක වාර්තා පොත අලුත් කළ ලාබාලතමයා

 

දකුණු අප්‍රිකාවට එරෙහිව තරග බිමට පිවිසෙන විට මෝරාගේ වයස අවුරුදු 17ක් සහ දින 240කි. ඒ සමඟම ඔහු සමස්ත ලෝක කුසලාන පාපන්දු ඉතිහාසය තුළ ක්‍රීඩා පිටියට පිවිසි 6 වන ලාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්විය. දශක ගණනාවක ලෝක පාපන්දු වංශකතාවේ ඔහුට වඩා අඩු වයසින් ලෝක කුසලාන වරම් ලැබූ ක්‍රීඩකයින් සිටින්නේ පස්දෙනෙකු පමණි. ඔවුන් මෙසේය.

 

  • නෝමන් වයිට්සයිඩ් (උතුරු අයර්ලන්තය): වයස අවුරුදු 17 සහ දින 41යි

  • සැමුවෙල් එටෝ (කැමරූන්): වයස අවුරුදු 17 සහ දින 99යි

  • ෆෙමී ඔපාබුන්මි (නයිජීරියාව): වයස අවුරුදු 17 සහ දින 101යි

  • සලමන් ඔලෙම්බේ (කැමරූන්): වයස අවුරුදු 17 සහ දින 185යි

  • පේලේ (බ්‍රසීලය): වයස අවුරුදු 17 සහ දින 235යි (ලෝක පාපන්දු රජු ලෙස සැලකෙන පේලේට වඩා මෝරා පිටියට පිවිසෙන්නේ දින 5ක් පමණක් වැඩිමල්ව සිටියදීය)

 

 

 

කවුද මේ ගිල්බර්ටෝ මෝරා?

 

2008 වසරේ ඔක්තෝබර් 14 වැනිදා උපත ලැබූ මෝරා, මේ වන විට මෙක්සිකානු පාපන්දුවේ පමණක් නොව ගෝලීය පාපන්දු ක්ෂේත්‍රයේ ද අනාගත බලාපොරොත්තුවක් බවට පත්ව සිටී. ප්‍රහාරාත්මක මැදපෙළ ක්‍රීඩකයෙකු (Attacking Midfielder) ලෙස කටයුතු කරන ඔහු, දැනට නියෝජනය කරන්නේ මෙක්සිකෝවේ 'Club Tijuana' ක්‍රීඩා සමාජයයි.

 

ඔහුගේ වාර්තා පොත ලෝක කුසලානයෙන් පමණක් සීමා වන්නේ නැත. වයස අවුරුදු 15ක් සහ දින 320ක් වැනි ඉතා ළාබාල වියකදී, Club León කණ්ඩායමට එරෙහිව ගෝලයක් වාර්තා කරමින්, මෙක්සිකානු දේශීය ලීග් ඉතිහාසයේ (Liga MX) ගෝලයක් රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට ඔහු සමත් විය.

 

එපමණක් නොව, 2025 වසරේදී චිලී රාජ්‍යයේ පැවැති වයස අවුරුදු 20න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම, මෙක්සිකෝවට 'Gold Cup' කුසලානය දිනාදීමේදී ද ඔහු දැක්වූ සුවිශේෂී දස්කම් ජාත්‍යන්තර විචාරකයින්ගේ දැඩි අවධානයට ලක්විය. ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක් ජයග්‍රහණය කළ ලොව ළාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වන්නේ ද මෝරා ය.

 

 

යුරෝපයේ දැවැන්තයින්ගේ ඇස ගැටුණු මෙක්සිකානු මැණික

 

මෝරා සතු ප්‍රධානතම ශක්තිය වන්නේ ප්‍රතිවාදී පසුපෙළ ආරක්ෂකයින් අතරින් ඉතා සූක්ෂ්ම ලෙස පන්දුව ඉදිරියට රැගෙන යාමේ හැකියාව (Dribbling skills) සහ ක්ෂණික තීරණ ගැනීමේ තියුණු බුද්ධියයි. ඉදිරිපෙළ ක්‍රීඩකයින් වෙත නිවැරදිව පන්දු යොමු කිරීමේ (Passing accuracy) ඉහළ හැකියාව සහ ක්‍රීඩා පිටිය කියවීමේ සහජ දක්ෂතාවය හේතුවෙන් ඔහුව මෙක්සිකානු පාපන්දුවේ අනාගතය ලෙස විචාරකයින් හඳුන්වයි.

 

මේ වන විටත් ජාත්‍යන්තර මට්ටමේ ඔහුගේ වටිනාකම යුරෝ මිලියන 10ක් පමණ ලෙස ගණනය කර ඇති අතර, ලෝකයේ ප්‍රමුඛ පෙළේ පාපන්දු සමාජ ඔහු පසුපස හඹා යමින් සිටී. විශේෂයෙන්ම, ලොව සුප්‍රසිද්ධ ක්‍රීඩකයින් රැසක් බිහිකළ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා (FC Barcelona) කණ්ඩායමේ යොවුන් ඇකඩමිය වන ‘ලා මාසියා (La Masia)’ වෙතින් ඔහුට දැනටමත් පුහුණුවීම් සඳහා ආරාධනා ලැබී ඇත. ඊට අමතරව රියාල් මැඩ්රිඩ් (Real Madrid) සහ ආර්සෙනල් (Arsenal) වැනි දැවැන්තයින් ද සුප්‍රකට පාපන්දු නියෝජිතාවරියක වන රෆායෙලා පිමෙන්ටා (Rafaela Pimenta) හරහා මෙම යොවුන් ක්‍රීඩකයා තම කඳවුරට එක්කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

අනාගතය කුමක් වෙයිද?

 

සාම්ප්‍රදායික මෙක්සිකානු පාපන්දු රටාවට නව ජවයක් එක් කර ඇති ගිල්බර්ටෝ මෝරා, හුදු යොවුන් ක්‍රීඩකයෙකු පමණක් නොව, ඉදිරි දශකය තුළ ලෝක පාපන්දු පිටියේ ගමන් මඟ වෙනස් කරන සාධකයක් වනු ඇති බවට ක්‍රීඩා විචාරකයෝ විශ්වාස කරති. මෙවර 2026 FIFA තරගාවලිය ඔහුට සිය නාමය ලෝක පාපන්දු ඉතිහාසයේ ස්වර්ණමය අකුරින් ලියා තැබීමට කදිම වේදිකාවක් නිර්මාණය කර දී තිබේ. පෙරළිකාර තරුණ දස්කම් සමඟින්, පාපන්දු ලෝකයේ මීළඟ සුපිරි තරුව බිහිවන අයුරු බලා සිටීමට දැන් පාපන්දු ලෝලීන්ට අවස්ථාව උදා වී ඇත.

 

 

#නිරෝමී

නවතම ලිපි