SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මගේ හිතවත් විජිත සහෝදරයා,

වටේ පිටේ ඉන්න හැමෝම කලබල වෙලා, ඒ හැම දේටම ඔබටම දොස් පවරන වෙලාවක මේ ලිපිය ලියන්නෙ ඇයි කියලා මම දන්නවා. මේ කියන්න යන්නේ ඉන්දියාවේ පැවති සමුළුවකදී නැවක් ගිලී යාම ගැන ඉන්දියානු මාධ්‍යවේදිනියක් ඇසූ අමාරු ප්‍රශ්නවලට ඔබ දුන් 'සුපිරි' පිළිතුරු ගැනයි.

5th column cartoon1

 

ඔබ දුන් උත්තර ඇතුළත් වීඩියෝ කෑලි අන්තර්ජාලය පුරාම ලැව්ගින්නක් වගේ පැතිරුණා කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. කෝට් බාට් දාගෙන බොහොම කඩවසම් විදිහට, විශ්වාසයෙන් යුතුව වාඩිවෙලා හිටියත්, වචන ගළපාගන්න අමාරුවෙන් එකම දේ කීප සැරයක් කියපු හැටි අපි දැක්කා. ඇත්තම කිව්වොත් විජිත සහෝදරයා, ඔබට අදහස් ප්‍රකාශ කරගන්න සෑහෙන අමාරුවක් තියෙනවා වගේ පෙනුණා.

 

මාලිමාවට හිතවත් අය පවා මේක දැකලා කම්පාවට පත් වුණේ ඔබ කියපු දේ ගැන නෙවෙයි, ඒක කියපු විදිහ ගැනයි. ඔය ප්‍රශ්නෙම ඇහුවාම ඉන්දියාවේ ජයශංකර් දුන්නෙත් ඔය උත්තරේමයි. හැබැයි මිනිස්සුන්ට අවුල් ගියේ ඔබ ඒක ඉදිරිපත් කරපු විලාසයයි.

 

ඔබේ ඉරියව්වලින් පෙනුණේ ලොකු අපහසුතාවක්. හරියට ඔතනට වෙලා ඔය ප්‍රශ්නවලට උත්තර දෙනවට වඩා වෙන ඕනෙම දෙයක් කළා නම් සැපයි කියලා ඔබට හිතෙනවා වගේ. ඊටත් වඩා වැඩේ අල වුණේ, මිනිස් ජීවිත නැතිවුණු ඛේදවාචකයක් ගැන කතා කරද්දි ඔබ හිනා වෙවී, ඒ තත්ත්වයෙන් ගැලවෙන්න උත්සාහ කරපු නිසයි. ඒකෙන් පෙනුණේ ඔබ කිසිම සංවේදීකමක් නැති කෙනෙක් විදිහටයි.

 

මේ කටුක විනාඩි කිහිපයෙන් පස්සේ, මාලිමාවේ විවේචකයින්ට හොඳටම රජ මඟුල්. විදේශ ඇමතිවරයා විදිහට මෙහෙම දුර්වල විදිහට හැසිරිලා රටේ ගෞරවය හෑල්ලු කළේ කොහොමද කියලා එයාලා අහනවා.

 

විජිත සහෝදරයා, එදා ඉඳන් මේ සිදුවීම ගැන සමාජ විද්‍යාත්මක, දේශපාලනික එකී මෙකී නොකී හැම 'විශ්ලේෂණයක්ම' කෙරිලා ඉවරයි. සමහරු ඔබව මාරු කරන්න කියනවා. තවත් අය කියනවා රතු සහෝදරයන්ගේ 'පන්ති පහට' ඉංග්‍රීසි භාෂාවත් ඇතුළත් කරලා දැන් 'පන්ති හයක්' කරන්න කාලේ හරි කියලා!

 

කදිර්ගාමර්, ACS (හැම රටක්ම දැකපු - 'All Countries Seen' කියලා සමහරු කිව්වේ), මංගල වගේ ඔබේ පූර්වගාමීන් එක්ක ඔබව සන්සන්දනය කරනවා. ඒක නම් අසාධාරණයි. අනික ඒ ලැයිස්තුවේ රවි, බොගොල් වගේ අයයි, නිතරම පැති මාරු කරන ජී.එල්. සහ වසන්ත වගේ අයත් හිටියානේ!

 

ඔබ තවත් කදිර්ගාමර් කෙනෙක් නෙවෙයි කියලා අපි කොහොමත් දැනගෙන හිටියා. එතුමා ඒ කාලෙට ගැළපෙන, ආයෙත් දකින්න ලැබෙන්නේ නැති විදිහේ සුවිශේෂී චරිතයක්. ඔබත් මේ වෙනස් යුගයක නිෂ්පාදනයක්. ප්‍රශ්නෙ තියෙන්නේ ඔබ කදිර් කෙනෙක් නොවීම නෙවෙයි, මාලිමාවට තමන්ගේ ප්‍රමුඛතාවන් පටලැවිලා තියෙන එකයි.

 

හරිනිට විදේශ කටයුතු භාර නොදුන්නේ ඇයි කියලා සමහරු අහන එක සාධාරණයි. එතුමියගේ ඉංග්‍රීසි දැනුමත් එක්ක ඒ වැඩේ මීට වඩා හොඳට කරන්න තිබුණා. අනික ජේ.ආර්., ACS පත් කරනකම්ම අගමැතිවරයා තමයි ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශ තියාගත්තේ කියන එක සම්ප්‍රදායක්නේ.

 

කනගාටුවට කරුණ තමයි, රජමාලිගාවේ හෝ පැලවත්තේ ඉන්න තීරණ ගන්න බලධාරීන් ටිකක් බුද්ධිමත් වුණා නම් මේ ඔක්කොම වළක්වාගන්න තිබුණා. එහෙනම් රටක් විදිහට මෙහෙම විහිලුවකට ලක් වෙන්නේ නැහැ. මේක හරියට අතීතය නැවතත් අපේ ඇස් ඉදිරිපිට මැවෙනවා වගේ වැඩක් (déjà vu). හඳුන් සහෝදරයා අර ආර්ථික සමුළුවේදී කරපු දේ කාටද අමතක?

 

මේ අවුරුද්දේ කිසිම සද්ද බද්දයක් නැතුව හරිනි සහෝදරියව ඒ ආර්ථික සමුළුවට යැව්වම කිසිම නාඩගමක් වුණේ නැහැනේ. මේකටත් ඒ දේම කරන්න තිබුණා. නැත්නම් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් යවන්න තිබුණා. ලේසිම සහ පැහැදිලිම විසඳුම තමයි, ඔබ සහභාගී වුණත් භාෂා පරිවර්තකයෙක්ගේ සහාය ලබාගන්න එක.

 

අනුර සහෝදරයා කරන්නේ ඒක නේද? ඒකේ කිසිම ලැජ්ජාවක් නැහැ. එතකොට ප්‍රශ්නෙට උත්තර දෙනවාට වඩා වචන ගළපන්නේ කොහොමද කියලා හිත හිත වද වෙන්න ඕනෙ නැහැ. ඔබට පුළුවන් ඔබේ අදහස බොහොම චතුරව, බලපෑමක් ඇතිවෙන විදිහට ඉදිරිපත් කරන්න.

 

භාෂාව චතුරව කතා කරන්න පුළුවන් වුණා කියලත් මේ වගේ සාකච්ඡාවලින් දිනලා එන්න පුළුවන් කියලා සහතිකයක් නැහැ. අල් ජසීරාකාරයෝ වට කරගෙන යුද්ධයේ අවසානය ගැන අහලා රනිල් මාමව ලන්ඩන්වලදි අමාරුවේ දාන්න හැදුව හැටි මතකද? එයාලා බැලුවේ එයා ලවා මහින්ද මාමාව පටලවන්නනේ.

 

ඒ වගේම අපිට හිතුණේ ජාතිකවාදී අදහස් ඇති මේ මාධ්‍යවේදිනිය, සෑම් මාමා (ඇමරිකාව) ඉන්දියාවේදි නැවක් ගිලපු එකේ ලැජ්ජාවෙන් තමන්ගේ රට බේරගන්න උත්සාහ කළා කියලයි. මෝදිව ලැජ්ජාවෙන් බේරන්න, ඔබව අමාරුවේ දාන්න ඇය උත්සාහ කළා වගේ පෙනුණා.

 

ඒ අතරේ අපේ මේ පාරාදීසයේ ඉන්න මිනිස්සු, අනුර සහෝදරයා කරපු මහන්සියෙන් පස්සේ රටේ මනුෂ්‍යත්වයේ සහ මධ්‍යස්ථ ස්ථාවරය ලෝකෙට පෙන්නන්න තිබුණු රන් අවස්ථාවක් ඔබ විනාශ කළා කියලා ඔබට දොස් පවරනවා. ඒ නිසා මිනිස්සු ඉන්නේ තරහින්. "අනුර සහෝදරයා එකතු කළ දෑ, විජිත විසින් වෙන් නොකෙරේවා!" කියලා ඔවුන් කියනවා.

 

මිනිස්සු මාලිමාවට ඡන්දෙ දුන්නේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව බලලා නෙවෙයි කියන එක ඇත්ත. ඒත් මිනිස්සු මේ කියන්න හදන්නේ, ඔබේ වගේ සමහර තනතුරු සඳහා ඉංග්‍රීසි භාෂාව චතුරව හැසිරවීම අත්‍යවශ්‍යයි කියන එකයි. එහෙම බැරිනම්, දෙයියන්ගෙ නාමෙට භාෂා පරිවර්තකයෙක් පාවිච්චි කරන්න!

 

මීට විශ්වාසී, පුංචි පුතා

 

ප.ලි: විජිත සහෝදරයා, ඔබ සජිත්ට ලොකු ණයගැතිකමක් තියෙනවා. ඔයාගේ මේ 'සුපිරි වැඩකිඩ' පෙන්නපු වෙලාවේම තමයි එයා සබ්මැරීන් ගැන තියෙන දැනුම පෙන්නලා ප්‍රශ්න ටිකක් ඇහුවේ. ඊටපස්සේ සමාජ මාධ්‍යවල ඔයාටත් වඩා ලොකු ඉලක්කයක් වුණේ සජිත්. එයා හිටියේ නැත්නම් ඔබට වෙන්නේ අබ සරණයි!

Sundaytimes 5th column හි පරිවර්තනයකි.

නවතම ලිපි