(රුහුණු දේශයේ සිට සුගලා දේවිය විසින් තබන ලද රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලනික විචාරයයි)
මාගේ නව රජතුමාණෙනි,
අගනුවර රාජ මාලිගයේ සිටින ඔබගේ ඔත්තුකරුවන් සහ පඬිවරුන් විසින් සකස් කරන ලද අපූරු ලියවිල්ලක් පරවි පණිවිඩ මගින් රුහුණු පුරයේ මාගේ දෑතටද පත් විය. පරදේසක්කාර භාෂාවකින් 'සත්‍යය' (Verité) යන අරුත දෙන නාමයක් පටබැඳගත් පර්යේෂණාගාරයකින් නිකුත් කර ඇති මේ අස්නට අනුව, රටේ ජනතාවගෙන් සියයට හැටපහක් (65%) තවමත් ඔබගේ පාලනයට ප්‍රේම කරති!
ඇත්තෙන්ම එය කොතරම් අපූරු රොමැන්ටික් කතාවක්ද? පෙබරවාරි මාසයේ අගනුවර වීථිවලින් වෙඩි හඬවල් ඇසෙද්දී, ආර්ථිකය අගාධයටම වැටී ජනතාව සුසුම් හෙළද්දී, ඔබගේ පඬිවරුන් පවසන්නේ ජනතාව අතිශයින්ම "ශුභවාදී" බවයි. ජාතියේ මනෝභාවය කිරි පැණි මෙන් සුන්දර බවයි. ඔබම මෙහි සත්‍ය අසත්‍යතාව හොඳින්ම දන්නා බව මා දනිමි.
අදෘශ්‍යමාන යදම් සහ යථාර්ථය වසා ගැනීමේ වෑයම
රජතුමාණෙනි,
ඉතිහාසයේ එදා මෙදා තුර රාජ්‍ය පාලකයන් තමන්ගේ නිරුවත වසා ගත්තේ මෙවැනි සළුපිළි වලිනි. එදා වේදිකාවල අධිරාජ්‍යවාදයට සහ ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව සිංහනාද කළ ඔබ, අද බලයට පැමිණි පසු ඒ සියල්ල අමතක කර දමා ඇත. අද ඔබ කරමින් සිටින්නේ කුමක්ද?
ඉන්දියාවේ 'අසල්වැසියා පළමුව' න්‍යාය ඉදිරියේ දණින් වැටී, මේ ලක් දෙරණේ ආර්ථික නහවැල සෘජුවම නවදිල්ලියට සම්බන්ධ කරමින් සිටී. එදා ඔබම විවේචනය කළ මන්නාරමේ අදානි සුළං විදුලි ව්‍යාපෘතිය අද ඔබගේම කර මතින් යයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සහ සාම්පූර් බලාගාර හරහා රටේ භූ-දේශපාලනික හදවත ඉන්දියාවට පවරා දෙමින් පවතී. භෞතික සම්පත් පමණක් නොව, 'UPI' ගෙවීම් පද්ධති සහ ඉන්දියාවේ 'ආධාර්' (Aadhaar) වැනි ඩිජිටල් හැඳුනුම්පත් (Digital ID) හරහා රටේ පුරවැසියන්ගේ දත්ත පවා පරදේසක්කාරයන්ට නිරාවරණය කරමින් සිටී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඉදිරියේ රනිල් රජු තැබූ පියවරම අනුගමනය කරමින්, වහල්භාවයෙන් රට මුදවනවා වෙනුවට නව වහල්භාවයක ගිවිසුම්වලට ඔබ අත්සන් තබමින් සිටී. මෙවන් දැවැන්ත භූ-දේශපාලනික සහ ආර්ථික පාවාදීමක් වසා ගැනීමට නම්, ජනතාව වෙනත් අතකට හැරවිය යුතුය. 65% ක ප්‍රසාදයක් පෙන්වන ඔය කියන "විද්‍යාත්මක සමීක්ෂණ" කරළියට එන්නේ අන්න ඒ වුවමනාවටය.
සමීක්ෂණයේ නිරුවත සහ මඟහැරුණු සැබෑ ජනතාව
රජතුමාණෙනි,
මේ මහා විද්‍යාත්මක පර්යේෂණය සඳහා ඔබගේ පඬිවරුන් තෝරාගෙන ඇත්තේ රටේ සමස්ත ජනතාවගෙන් හරියටම පුද්ගලයන් 1048 කි. මේ කියන 1048 දෙනා සොයාගත්තේ කොහෙන්ද? රුහුණේ සිටින මට නම් පෙනෙන්නේ, ඔබගේ පර්යේෂකයන් මේ සමීක්ෂණය සිදු කර ඇත්තේ 'පැලවත්තේ' පක්ෂ මූලස්ථානය ඉදිරිපිට සිටගෙන, එතැනින් යන එන ඔබේම පාක්ෂිකයන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් බවයි.
රජතුමාණෙනි,
මඩ වතුර පිරුණු පොකුණකින්, පෙරහනකින් පෙරාගත් දිය බිඳක් පමණක් ගෙන "රටේම ජලය පිරිසිදුයි" කියා පෙන්වීම රාජ්‍ය පාලනය නොව, අමු මුලාවකි. ඔබගේ ඔය පඬිවරුන්, තමන්ට වාසිදායක පිළිතුරු දෙන අයව පමණක් තෝරාගෙන, රාජකීය සමීක්ෂණවලින් හිතාමතාම පන්නා දැමූ සැබෑ 'රට වැසියා' කවුරුන්දැයි රුහුණේ සිටින මම ඔබට සිහිපත් කර දෙමි:
'දිට්වා' කුණාටුවෙන් තමන්ගේ පැල්පතේ වහල ගසාගෙන ගොස්, දරුවන් තුරුළු කරගෙන තවමත් තෙත බරිත මහ පොළොවේ නිදාගන්නා අසරණයන්ගෙන් ඔබගේ ඔත්තුකරුවන් ප්‍රශ්න කළේද? නැත! ඒ අයට ඔබගේ ඔය 'ප්‍රසාද දර්ශක' ගැන හිතන්නට පෙර, කුසගින්න නිවාගන්නට ක්‍රමයක් අවශ්‍යව ඇත.
රජයේ අදූරදර්ශී තීරණ නිසා අස්වැන්න විනාශ වී සුසුම් හෙළන ගොවියාගෙන් හෝ, හිස් දැල් අතැතිව මහ පාරේ උද්ඝෝෂණය කරන ධීවරයාගෙන් ඔවුහු ඇසුවෝද? නැත! ඔවුන්ට කොළ කෑලිවල ඇති ප්‍රසාදයට වඩා, තමන්ගේ දරු පවුල රකින්නට බැරිකමේ වේදනාව සහ ආණ්ඩුවේ පාවාදීම තදින්ම දැනී ඇත.
"විදුලි බිල සියයට තිස්තුනකින් (33%) අඩු කරනවා" යන මිහිරි පොරොන්දුව එනතුරු දෑස් දල්වාගෙන සිටි, එහෙත් අද ඊටත් වඩා දරුණු බදු බරකින් හුස්ම හිරවී සිටින සාමාන්‍ය මිනිසුන් ඔබගේ ඔය 1048 නියැදියට අයිති වූයේද? නැත! ඔවුන්ගේ සැබෑ හඬ ඇසීමට ඔබගේ පඬිවරුන්ට මෙන්ම රාජ්‍ය තන්ත්‍රයටද ඇත්තේ බලවත් බියකි.
පාස්කු ප්‍රහාරයෙන් ලේ වැගිරුණු මිනිසුන්, රතුපස්වලදී යුක්තිය ඉල්ලා වෙඩි කෑ අහිංසකයන් සහ වසර ගණනාවක් තිස්සේ මහා පරිමාණ දූෂිතයන්ට දඬුවම් දෙනතුරු මඟ බලා සිටින ජනතාවගෙන් අදහස් විමසුවාද? පැහැදිලිවම නැත. මියගියවුන් සහ යුක්තිය පතන්නවුන් මඟහැර යෑමෙන්, ඔබ මේ සමරන්නේ ජනතා ප්‍රසාදය නොව, යුක්තියේ අවමඟුලයි.
රැවටෙන්නේ කවු ද? රවටන්නේ කාව ද?
මෙහිදී අවසාන වශයෙන් අප ඔබෙන් ප්‍රශ්න කළ යුතු දැඩි සත්‍යයක් ඇත.
රජතුමාණෙනි,
මෙවැනි ව්‍යාජ කඩදාසිවලින් දකින ඉලක්කම් තුළ ඔබ, ඔබවම රවටා ගැනීමෙන් සිත නිදහස් කර ගන්නවාද? තමන්ගේම සේවකයන් ලවා ප්‍රශස්ති ගායනා කරවාගෙන, "මමයි හොඳම" කියා සිතන අතීතයේ සිටි මෝඩ රජෙකුගේ තත්ත්වයට ඔබ පත්වී ඇති බව ඔබට නොතේරෙන්නේද?
නැතහොත්, මුහුණුපොතේ (බුකියේ) මනස සෝදාපාළුවට ලක්වූ 'හුදී සේදුම් ජනතාව' (Brainwashed masses) තාවකාලිකව සතුටු කිරීම උදෙසා ඔබ මෙවැනි කොන්ත්‍රාත්තු ලබා දෙනවාද?
කහවනු මිටියක් අතට දුන් විට කරුණු විකෘති කරන බොරුවක් ගොතා දෙන මෙවැනි සමීක්ෂණවලින් ඇත්තටම රැවටෙන්නේ කවුද? ඔබ සිතන්නේ මේ දේශයේ මිනිසුන් ඒ තරමටම අඥානයින් බවද? අතීතයේ මෙන් ජනතාව තවදුරටත් මෝඩ නැත. මුදලට ලියවෙන කොළ කෑලි තාක්ෂණයට යට වී, තම බඩේ ගින්න අමතක කිරීමට තරම් මේ රටවැසියා නිවට වී නැත.
සැබෑ ජනතා ප්‍රසාදය ඇත්තේ වෙරිටේ සමීක්ෂණයේ හෝ පැලවත්තේ කාර්යාලයේ නොව, මහ පොළොවේ පය ගසාගෙන ජීවත් වීමට වෙර දරන, ඔබේ රජයේ තීරණවලින් බැට කන සාමාන්‍ය මිනිසාගේ හද ගැස්ම තුළය. ඒ හද ගැස්ම හඳුනා නොගන්නා රජෙකුට, ඉදිරියේදී එන සැබෑ සුළි කුණාටුවට මුහුණ දීමට කිසිදු සමීක්ෂණයක් ඉතිරි වනු නොඇත!
සිහි බුද්ධියෙන් හිතන්න රජතුමාණෙනි!
යළිත් පවසමි.
හුදී ජනයා දැන් අතීතයේ මෙන් මෝඩ නැත. මුදල් මිටියට යට වී කරුණු විකෘති කරන මෙවැනි 'සමීක්ෂණ' හුදෙක් රාජකීය විහිළුවක් පමණක් බව ඔවුහු පසක් කරගෙන අවසන් ය. ඔබගේ දෑස් වසාගෙන සිටින මේ පඬිවරුන් ඔබට පෙන්වන්නේ ඔබ දැකීමට කැමති දේ පමණි. පෙර පැවසූ පරිදිම පිරිසිදු සත්‍යය ඇත්තේ පැලවත්තේ කාර්යාලය අසල නොව, මහ පොළොවේ පය ගසාගෙන ජීවත් වීමට වෙර දරන සාමාන්‍ය මිනිසාගේ කුසගින්න සහ කෝපය තුළය.
තමන්ගේම සේවකයන් ලවා තමන්ටම ප්‍රශස්ති ගායනා කරවාගෙන, ඉන් උදම් වී නිදාගන්නා රජෙකුට හිමිවන්නේ ඛේදවාචකයක් පමණි. කොළ කැබලිවල ඇති සංඛ්‍යා ලේඛන සුළඟට ගසාගෙන යනු ඇත. එහෙත් කුසගින්නේ සහ අසාධාරණයේ වේදනාවෙන් උපදින ජනතා කෝපය, කිසිදු සංඛ්‍යාන විද්‍යාවකට මැඩපැවැත්විය නොහැක.
මීට, රාජ්‍ය තන්ත්‍රයේ සැබෑ සත්‍යය දකින,
සුගලා දේවිය

