කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි එක්දින තරගයේ තණතීරුව සම්බන්ධයෙන්
එංගලන්ත නායක හැරී බෘක් සිදුකළ විවේචනය ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ප්‍රශ්න කර තිබේ.
දෙවැනි එක්දින තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ හැරී බෘක් ප්‍රකාශ කළේ තමන් මෙතෙක් ක්‍රීඩා කළ "නරකම තණතීරුව" (worst pitch) මෙය බවයි. එංගලන්තයේ ජ්‍යෙෂ්ඨ පිතිකරු ජෝ රූට් ද ප්‍රකාශ කළේ මෙය එක්දින තරගයකට උචිත තණතීරුවක් නොවන බවයි.
අසලංකගේ තර්කය
මෙම විවේචන පිළිබඳව අදහස් දක්වමින් චරිත් අසලංක පෙන්වා දුන්නේ දෙපිලම එකතු වී එම තරගයේදී ලකුණු 440ක් රැස් කර ඇති බවයි.
"එය ඔහුගේ මතයයි, මගේ මතය ඊට වඩා වෙනස් විය හැකියි. මෙය ඔහු දුටු නරකම තණතීරුව බව ඔහුට හැඟෙන්න පුළුවන්. නමුත් කණ්ඩායම් දෙකම එකතු වෙලා මේ තරගයේදී ලකුණු 440ක් ලබාගෙන තිබෙනවා,"
යනුවෙන් අසලංක පැවසීය.
එමෙන්ම 2023 ලෝක කුසලානයේදී බැංගලෝර්හිදී පැවති තරගයක් සිහිපත් කළ අසලංක, එහිදී එංගලන්තය ලකුණු 156කට දැවී ගිය අවස්ථාවේ කිසිවෙකු තණතීරුව ගැන දොස් නොකී බවද සඳහන් කළේය.
තණතීරුව ගැන ඇත්ත තත්ත්වය
අසලංක තණතීරුව ආරක්ෂා කිරීමට උත්සාහ කළද, එය පිතිකරුවන්ට ඉතා පහසු එකක් නොවූ බව ඔහු පිළිගත්තේය. පළමු තරගයේදී මෙන් ලකුණු 270-280ක් ලබාගත හැකි මට්ටමේ තණතීරුවක් තමන් අපේක්ෂා කළ නමුත්, දෙවැනි තරගයේදී එය වෙනස් වී තිබූ බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, එය ලකුණු 220ක තණතීරුවක් නොවන බවත්, අවම වශයෙන් ලකුණු 250-260ක් වත් ලබාගත හැකිව තිබූ බවත් නායකයාගේ අදහසයි.
කණ්ඩායම් ආරංචි
තීරණාත්මක තෙවැනි එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වනිඳු හසරංග නැවත කැඳවීමට නියමිත අතර, එංගලන්ත කණ්ඩායමේ සැක් ක්‍රව්ලි දණහිසේ ආබාධය හේතුවෙන් තවදුරටත් විවේක ගැන්වීමට ඉඩ ඇත.

