SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ලොව ප්‍රථම සහ එකම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ

නිර්මිත බවට පසුගිය දිනෙක ලද ආරංචියට අනුව එහි ගිය මගේ සිත් වඩාත් පැහැර ගත් දෙයක් පිළිබඳ අද මා සටහන් කරන්නෙමි.

 

 

එම මධ්‍යස්ථානයෙහි තෙවන මහලෙහි තැන්පත් කර තිබුණේ වචනයෙන් කියා විස්තර කළ නොහැකි තරම් අගනා, අලංකාර කාන්තා ප්‍රතිමාවකි. එහි සේයාරුවක් ද මා මේ සමඟ ඔබට දක්වමි. එම රුව දෙස මද වේලාවක් බලා සිටියදී ඇතිවන ආධ්‍යාත්මික සැනසීම ඔබ ද විඳිය යුතු බව මම කියමි.

 

 608971555 867564406244012 4910682108484696096 n

gzI1Nzt2kqCUBp7k 9

 

පද්මයක් මත හිඳ සිටින, ලංකාවේ කොතනකදීවත් මින් පෙර නුදුටු මෙම විශ්මිත රුව කවුරුන්දැයි මම විමසුවේ එම මධ්‍යස්ථානයෙහි නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ ගෙන් විමසා දැන ගත් අතර, තවදුරටත් එතුමිය පිළිබඳ තතු විමසා ඔබව ද දැනුවත් කරන්නට සිතා ගතිමි.

 

ලොව විවිධ බෞද්ධ සම්ප්‍රදායන්හි බොහෝ විට දක්නට ලැබෙනුයේ පුරුෂ ආධිපත්‍යයයි. උතුරු ආසියාතික කලාපයන්හි, මෙන්ම මධ්‍යම ආසියාවේත් බුද්ධත්වය, දේවත්වය ආරෝපණය කරන්නේ පුරුෂයන්ට ය.

 

ථෙරවාද සම්ප්‍රදාය තුළ ශාක්‍යමුණි බුදුන් වහන්සේ ද, හිමාලයේ තාන්ත්‍රික සම්ප්‍රදාය තුළ ද සිටින බුදුවරුන් පස්දෙනාම ද පුරුෂයන් ය.

 

එමෙන්ම එම සම්ප්‍රදායන්හි අරහත් පදවිය උසුලන්නන්, දෙවිවරුන්, රජවරුන් ආදී සියල්ලන්ම බොහෝ විට පුරුෂයන් ය. ස්වාධීන කාන්තා ආධිපත්‍ය පිළිබඳ ඒවායෙහි සටහන් වනවා අල්ප ය.

 

නමුත් වජ්‍රයාන සහ මහායාන බුදුදහමෙහි ගෞරවයට පාත්‍ර වන එක් දේවතාවියක සිටින අතර, ඇය බුදුවරියක, බෝධිසත්වවරියක ලෙස ද හැඳින්වේ.

 images 2

එතුමිය නමින් "තාරා දෙවඟන" ලෙස හැඳින්වෙන අතර, සංස්කෘත භාෂාවට අනුව එම නමෙහි අර්ථය "තාරකාවයි." එතුමියගේ අනුගාමිකයන්ට ආධ්‍යාත්මික මාවතට පිවිසීමට පාර කියන තාරුකාවක් මෙන් මඟපෙන්වන හෙයින් මේ නාමයෙන් එතුමියව හඳුන්වයි.

 

සමහර බෞද්ධ පුරාවෘත අනුව එතුමිය අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ භාර්යාව වශයෙන් හඳුන්වන අතර, අවලෝකිතේශ්වර බෝධිසත්වයන් දයානුකම්පිත මොහොතක වැගිරූ කඳුළුවලින් එතුමිය උපන් බව සඳහන් ය.

 

තවත් පුරාවෘතයන්ට අනුව එතුමිය මීට වසර මිලියන ගණනකට පෙර උපන් භක්තිමත් බෞද්ධ කුමාරිකාවක් බවත්, වසර මිලියන 10 ක් ධ්‍යානයකට සමවැදී හිඳ, පසුව බෝධිසත්වවරියක් බවට පත්ව, සත්වයන්ට උපකාර කිරීම පිණිස කාන්තා බුදුවරියක් ලෙස ඉපදීමට තමාටම පොරොන්දු වූ බවත් සඳහන් ය.

 

හිමාලයානු කලාපයෙහි, විශේෂයෙන්ම ටිබෙටයේ සහ නේපාලයේ තාරා දෙවඟනගේ තත්වය බෝධිසත්වවරයෙකුට වඩා උසස් කාන්තා බුදුවරියක ලෙස හඳුන්වයි.

 

සංසාරයේ දුක් විඳින සත්වයන්ගේ අඳෝනාව අසා, ඔවුන් ගිලී සිටින ලෞකික වේදනාවන්ගෙන්, එම අනතුරෙන් සත්වයන් මුදවා ගන්නා ගැලවුම්කාරියක් ලෙස ඔවුන් තාරා දෙවඟනව හඳුන්වන අතර, තාරා තන්ත්‍රවල සටහන් වන පරිදි එතුමිය "ත්‍රිකාලයේම බුදුවරුන් බිහිකරන මවකි." තවද වජ්‍රයාන මූලාශ්‍රවල සටහන් වන පරිදි එතුමිය "සියලු තථාගතයන් වහන්සේලාගේ මවයි." එමෙන්ම එතුමිය ප්‍රඥාවේ ප්‍රතිමූර්තිය වශයෙන්ම හඳුන්වයි.

 

එතුමියගේ සිතුවම් සහ මූර්තිවල පද්මාකාර සිංහාසනයක එතුමිය හිඳගෙන සිටින අයුරු නිරූපිත අතර එමඟින් එක්වර රාජකීය බවක් ද ආචාරශීලී බවක් ද නිරූපණය කෙරේ.

 

හිමාලයානු සම්ප්‍රදාය තුළ තාරා දෙවඟන ආකාර 21 කින් නිරූපිත අතර වර්ණ පහකින් යුක්ත ය. ඉන් ප්‍රධාන වර්ණ වන්නේ කොළ සහ සුදු පැහැයන් ය. එක් එක් වර්ණයෙන් ප්‍රකාශිත වන සංකල්පයන් වෙනස් ය.

 

කොළ පැහැ තාරා දෙවඟන මඟින් ආධ්‍යාත්මික ක්‍රියාකාරකම්, දයානුකම්පාව, බුද්ධිය, සශ්‍රීකත්වය නිරූපිත අතට සුදු පැහැ තාරා දෙවඟන තුළින් මාතෘ දයාව සහ සුවපත් බව ද නිරූපිත ය.

 

ිනජ

 

එමෙන්ම බොහෝ විට එතුමියගේ දෑත්, දෙපා සහ නළල මධ්‍යයෙහි ඇසක් දක්නට ලැබෙන අතර ඉන් දුක් විඳින සත්වයා දැකීමටත්, ඔවුන්ට සහය වීමටත් එතුමියට ඇති බලය නිරූපණය කරයි. එමෙන්ම දකුණු අත්ල පිටතට යොමා සිටීමෙන් සිය අනුගාමිකයන්ට එතුමිය දක්වන නිරන්තර ආශිර්වාදය නිරූපිත ය. එමෙන්ම ආධ්‍යාත්මික මාවතෙහි ඉදිරියට යන්නෙකුගේ ආයුෂ දීර්ඝ කිරීමට ද එතුමියට බලය ඇති බව සඳහන් ය.

 

මේ සියලු සාධක තුළින් තාරා දෙවඟන බෞද්ධ සම්ප්‍රදායට තිළිණ කරන සංකල්පයක් ඇත. බොහෝ විට බෞද්ධ සම්ප්‍රදායන්හි උගන්වන්නේ බුද්ධත්වයට පත්වීමට නම් පුරුෂ ආත්මයක් ප්‍රාර්ථනා කළ යුතු බවයි. පූර්ණ ආධ්‍යාත්මික විමුක්තිය උදා කරගත හැක්කේ එවිට ය. නමුත් කාන්තා ආධ්‍යාත්මික ලෝකයේ බලවත් සහ උත්කෘෂ්ට නිරූපණයක් කරමින් තාරා දෙවඟන ලෝකයට විදහා පාන්නේ කාන්තාවකට වුව පරම විමුක්ති මාර්ගයේ පූර්ණත්වයට ළඟා විය හැකි බවයි.

 

ඔබ ද ජීවිතයේ වරක් හෝ තාරා දෙවඟන පිළිබඳ දැන, වන්දනා කරන්නේ නම්, ඉන් ඔබගේ ආධ්‍යාත්මයට ලැබෙන සවිය මහත් බව අවසාන වශයෙන් සනිටුහන් කරන්නේ, එහි ඵල සැබවින්ම භුක්ති වින්දෙක් ලෙස ය.

 

-විද්‍යාසරී

Pali and Sanskrit Cultural Exchange Centre

නවතම ලිපි