අද (30) සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර
තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියේ අවසන් තරගය අද රාත්‍රී 7.00ට තිරුවානන්තපුරම්හිදී පැවැත්වේ.
මේ වන විට සත්කාරක ඉන්දීය පිල 4-0ක් ලෙස තරගාවලිය ජය ගෙන සිටින බැවින් ශ්‍රී ලංකා පිලට අද 5-0ක අවමන් සහගත පරාජයකින් ගැලවීමේ සටනක නිරත වීමට සිදුව තිබේ.
සත්කාරක ඉන්දීය කණ්ඩායම හමුවේ පසුගියදා (28) පැවති 4වන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද පරාජයවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය. කෙසේ නමුත් පෙර තරගවලදී දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂාවල සැලකිය යුතු වෙනසක් මෙම තරගයේදී දැකගැනීමට හැකිවිය.
මේ දෙපිල අතර තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියක් පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර, මින් පෙර දෙපිල අතර 2018 වසරේ තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියක් පවත්වා තිබේ. එහිදී ඉන්දියාව 4-0ක ජයක් වාර්තා කර තිබුණේ එක් තරගයක් විසඳුමකින් තොරව නිමා වීම හේතුවෙනි. එබැවින් පූර්ණ පරාජයකින් වැළකීමට ශ්‍රී ලංකා පිලට අද තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ.
මේ අතර පිතිකාරිනියන්ගේ සටනක් බවට පත් වූ දෙපිල අතර සිවුවැනි විස්සයි20 තරගයෙන් ඉන්දීය පිලට ලකුණු 30ක ජයක් අත් විය. මේ තරග සංචාරයේදී පළමු වරට ප්රතිවාදීන්ට සටනක් දීමට ශ්‍රී ලංකා ක්රීඩිකාවෝ සමත් වූ මේ තරගයේදී දෙපිලම සිය විස්සයි20 තරග බිමේ ඉහළම ලකුණු වාර්තා කිරීමට කැපී පෙනිණි.

