සතිපට්ඨාන පුවත් සේවය, හේයියන්තුඩුව, ශ්‍රී ලංකාව —
ථේරවාද සහ ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායන් අතර පවතින සහෝදරත්වය සහ බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන
‘මෙත්තා’ ගුණය ලොවටම විදහා දක්වමින්, ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව සංගමය විසින් 2025 දෙසැම්බර් 24 වන දින සුවිශේෂී පින්කම් මාලාවක් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන ශුද්ධෝත්තම 14 වන දලයි ලාමා හිමිපාණන්ගේ 90 වන ජන්ම දිනය සැමරීම වෙනුවෙන් සහ බෞද්ධ සහෝදරත්වයේ දස වසරක (2015–2025) සේවා කාලය සනිටුහන් කරමින් පවත්වනු ලැබීය.

සෙම්කේ ලිං මධ්‍යස්ථානයේදී පැවැති පින්ඩපාත දානමය පුණ්‍යකර්මය
අද දිනයේ වැඩසටහන් හේයියන්තුඩුව සෙම්කේ ලිං (Semkay Ling) මධ්‍යස්ථානයේදී අති උත්කර්ෂවත් පින්ඩපාත දානමය පින්කමකින් ආරම්භ විය. අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වැඩම කළ මහා සංඝරත්නය 51 නමකගේ පින්ඩපාත චාරිත්‍රය සැදැහැවතුන්ගේ මහත් වූ ගෞරවයට පාත්‍ර විය. දලයි ලාමා හිමිපාණන්ගේ අධ්‍යාත්මික නායකත්වය කෙරෙහි ශ්‍රී ලාංකේය මහා සංඝරත්නය දක්වන ඉමහත් ගෞරවය මෙම වැඩසටහන මගින් මනාව පිළිබිඹු විය.


මෙම පින්ඩපාත පින්කමට අමතරව, තවත් ස්වාමීන් වහන්සේලා 70 නමකට අධික පිරිසක් සඳහා එම විහාරස්ථාන වෙතම ගොස් දානමය පිරිකර පූජා කිරීමට සංගමය කටයුතු කළ අතර, ඒ අනුව මුළුමනින්ම මහා සංඝරත්නය 120 නමකට අධික පිරිසක් විෂයෙහි මෙම දානමය පින්කම සිදු කරන ලදී.
‘කරුණා ධාරා’: විපතට පත් ජනයා වෙනුවෙන් දිගු කළ කරුණාවේ දෑත්
බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන දානය සහ කරුණාව ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින්, මෙම පුණ්‍යකර්මය විහාරස්ථානයට පමණක් සීමා නොවීය. සංගමයේ ‘කරුණා ධාරා’ සමාජ සුබසාධන ව්‍යාපෘතිය යටතේ, මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශයේ පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු කෙරිණි.

ශුද්ධෝත්තම හිමිපාණන් ලොවට ලබා දෙන මූලික පණිවිඩය වන “ආගම යනු මනුෂ්‍යත්වය සහ අසරණයන් කෙරෙහි දක්වන කරුණාවයි” යන්න මෙමගින් මනාව සනාථ විය.
අභියෝග මධ්‍යයේ ආ දස වසරක ගමන් මග (2015–2025)
මෙම අවස්ථාව බෞද්ධ සහෝදරත්ව සංගමයට විශේෂ සන්ධිස්ථානයක් විය. 2015 වසරේ ආරම්භයේ සිටම විවිධ පුද්ගලයන්ගෙන් සහ කණ්ඩායම්වලින් එල්ල වූ අභියෝග සහ බාධක මධ්‍යයේ වුවද, පසුගිය වසර 10 පුරා හිමිපාණන්ගේ සිව්වනක් ප්‍රතිපත්තිමය අරමුණු වෙනුවෙන් සංගමය කැපවී ක්‍රියා කළේය.
2025 වසර තුළ පමණක් සංගමය ලැබූ ජයග්‍රහණ කිහිපයකි:
- ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ධර්මශාලාවේ පැවති මධ්‍යම ටිබෙට් පරිපාලන (CTA) නිල උත්සවයකට සහභාගී කරවීම.
- ශ්‍රී ලාංකේය සංස්කෘතික කණ්ඩායමක් ධර්මශාලාවේදී ප්‍රසංගයක් පැවැත්වීම.
- “කුන්දුන් සතුටේ මධ්‍යස්ථානය” (Kundun Happiness Retreat Centre) සහ “බුදුවරුන් දහසකගේ කුටිය” විවෘත කිරීම.
පුණ්‍යානුමෝදනාව
පින්කම අවසානයේ ශුද්ධෝත්තම දලයි ලාමා හිමිපාණන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා පවත්වන ලදී. එමෙන්ම හිමිපාණන්ගේ පෞද්ගලික කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙතත්, පසුගිය දස වසර පුරා සංගමය ශක්තිමත් කළ සියලු දෙනා වෙතත් මෙම පින් අනුමෝදන් කරන ලදී.
සෙම්කේ ලිං මධ්‍යස්ථානයේදී පැවැති මෙම වැඩසටහන මගින් ලොවට කියා පෑවේ සම්ප්‍රදායන් වෙනස් වුවද බුදුදහමේ හරය වන කරුණාව, සේවය සහ කෘතවේදීත්වය සැමට පොදු වූ විශ්වීය භාෂාවක් බවයි.


@බෞද්ධ සහෝදරත්ව පදනම

