ලෝක පාපන්දු ඉතිහාසයේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ,
2026 FIFA ලෝක කුසලානය සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගාවලිය වනු ඇති බවට තහවුරු කර තිබේ. දැනට අල් නස්ර් (Al Nassr) වෙනුවෙන් ක්‍රීඩා කරන 40 හැවිරිදි පෘතුගාල ප්‍රහාරකයා, කැනඩාව, මෙක්සිකෝව සහ එක්සත් ජනපදය යන රටවල් තුනේදී පැවැත්වෙන මෙම තරගාවලිය, ලෝක වේදිකාවේ තමාගේ "අවසන් නර්තනය" වනු ඇති බවට නිවේදනය කර ඇත.
සෞදි අරාබියේ පැවති ගෝලීය සමුළුවක් අමතමින් වීඩියෝ සම්බන්ධතාවක් ඔස්සේ අදහස් දැක්වූ රොනාල්ඩෝ, විශ්‍රාම ගැනීම පිළිබඳව විමසූ විට අවංකව අදහස් දක්වා තිබේ.
"ළඟදීම කියන්නේ අවුරුදු 10කින් නෙවෙයි, මම විහිළුවක් කළේ. මට 41ක් වෙයි. ඒක තමයි මොහොත වෙන්නේ"
යනුවෙන් ඔහු පැවසීය.
2026 ලෝක කුසලානයට සහභාගී වීම "නිසැකවම, ඔව්, මගේ අවසන් වරට" වනු ඇති බව ඔහු තහවුරු කළ අතර, එය ඔහුගේ වාර්තාගත හයවන ලෝක කුසලාන තරගාවලිය වනු ඇත.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වෘත්තීය දිවිය අවසන් කිරීමට තවත් "සමහර විට වසරක් හෝ දෙකක්" ඉතිරිව ඇති බවයි.
වයස අවුරුදු 40 දී පවා තමා විශිෂ්ට ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බව රොනාල්ඩෝ මෙසේ පැහැදිලි කළේය.
"මම මේ මොහොතේ හොඳින් ඉන්නවා.
මම ගෝල ලබා ගන්නවා;
මට තවමත් වේගවත් බව සහ තියුණු බව දැනෙනවා."
ඔහු පෘතුගාල ජාතික කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ගෝල 143ක් ලබා ගනිමින් පිරිමි ලෝක වාර්තාව තවදුරටත් ශක්තිමත් කර ඇති අතර, සමස්ත වෘත්තීය දිවියේදී සමාජ සහ ජාතික කණ්ඩායම් වෙනුවෙන් ගෝල 950කට අධික සංඛ්‍යාවක් ලබාගෙන ඇත. දැනට සෞදි අරාබියේ අල් නස්ර් සමාජය සමග 2027 දක්වා දිගු කළ ගිවිසුමක් යටතේ ක්‍රීඩා කරන ඔහුගේ අවධානය යොමු වී ඇත්තේ ඔහුට හිමි නොවන එකම ප්‍රධාන කුසලානය වන ලෝක කුසලානය දිනා ගැනීම කෙරෙහිය.
රොනාල්ඩෝ තම ක්‍රීඩා දිවිය අවසන් කිරීමේ සැලසුම් පිළිබඳව මෙසේ අදහස් පළ කළේය.
"මම අවුරුදු 25ක් තිස්සේ මේ ක්‍රීඩාවේ ඉන්නවා. මම හැමදේම කළා. මට වාර්තා ගණනාවක් තියෙනවා. මම ඇත්තටම ආඩම්බරයි. ඉතින් අපි මේ මොහොත භුක්ති විඳිමු, මේ මොහොතේ ජීවත් වෙමු."
මේ අතර, ඔහු සිය පෙම්වතිය වන ජෝර්ජිනා රොඩ්‍රිගස් සමග විවාහ සැලසුම් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර ඇති බවටද වාර්තා පළ වේ.

