ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදි වූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ
පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka (COD SL) පසුගියදා අභිමානවත් ලෙස විවෘත විය. සුඛෝපභෝගීත්වය සහ දේශීය නිර්මාණකරණය එක් තැන් කළ සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් වන මෙම නවතම හෝටල් සංකීර්ණය, ශ්‍රී ලංකාවේ අභිලාෂය, නිර්මාණශීලීත්වය සහ ගෝලීය දැක්ම මනාව විදහා දක්වයි.
ජෝන් කීල්ස් සහ මෙල්කෝ අතර ප්‍රබල හවුල්කාරිත්වයක්
City of Dreams Sri Lanka යනු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keells Holdings - JKH) සහ මෙල්කෝ රිසෝට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (Melco Resorts and Entertainment - MRE) හි ශක්තිමත් සහයෝගීතාවයේ අති සාර්ථක ප්‍රතිඵලයකි. මෙම ව්‍යාපෘතිය නවෝත්පාදනය, ජාතික අභිමානය සහ ගෝලීය පිළිගැනීම සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකේ.
මෙම අභිමානවත් සමාරම්භය සමඟ එක් වෙමින් ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර අදහස් දැක්වීය.
"මෙය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවක්. City of Dreams යනු අපේ රටේ මෙතෙක් සිදු කරන ලද විශාලතම පුද්ගලික ආයෝජනයයි. මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට මෙන්ම ලෝකය තුළ ශ්‍රී ලාංකේය නාමය තවදුරටත් විශිෂ්ටත්වයට පත් කිරීමට හේතු වනවා. ඒ වගේම අනාගත පරම්පරාවන්ට ප්‍රයෝජනවත් වන දිගුකාලීන ධනාත්මක වෙනසක් නිර්මාණය කරමින්, නවීන හා ඉදිරි දැක්මක් සහිත ගමනාන්තයක් ලෙසද City of Dreams පෙන්වා දිය හැකියි."
මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ Melco Resorts & Entertainment හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ (Lawrence Ho) සඳහන් කළේ,
"මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා ජෝන් කීල්ස් සමූහය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වනවා. මෙල්කෝ හි ගෝලීය අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා ආගන්තුක සත්කාරය එකට එක් කරන වැදගත් අවස්ථාවක් ලෙස City of Dreams Sri Lanka සඳහන් කළ හැකියි. අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණය මෙන්ම විනෝදාස්වාද සහ කැසිනෝ පවත්වාගෙන යාමෙන් අප කලාපයේ ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ව්‍යාපාරය සඳහා නව මිණුම් සලකුණු සකසන අතරම ශ්‍රී ලංකාවේ අද්විතීය අනන්‍යතාවය පිළිබිඹු කරමින් සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් නිර්මාණය කිරීමට ද සහාය වනවා" යනුවෙනි.
දේශීය හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කිරීම
පසුගිය වසරක කාලය පුරා දේශීය ශිල්පීන්, හෝටල් වෘත්තිකයින් සහ නිර්මාණකරුවන් 500කට අධික පිරිසක් ජාත්‍යන්තර නිර්මාණ ශිල්පීන් සහ මෙල්කෝ හි ගෝලීය විශේෂඥයින් සමඟ එක් වෙමින් City of Dreams Sri Lanka ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සුවිසල් දායකත්වයක් ලබා දී තිබේ. මෙහිදී, විශේෂයෙන් බිත්ති මත අතින් නිමවන ලද සිතුවම් මෙන්ම තෝරාගත් කලා නිර්මාණ රැසක් තුළින් ශ්‍රී ලාංකේය හැකියාවන් ලොවට ප්‍රදර්ශනය කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබුවේ City of Dreams හි අනන්‍යතාව ද ලොවට විවර කරමිනි.
කොළඹ නගරයට නව අරුතක්
සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියකට එහා ගිය ශ්‍රී ලාංකේය හැකියාවන් හා නව්‍යකරණ සංකේතයන් මනාව විදහා දක්වන City of Dreams Sri Lanka, කොළඹ නගරයේ ආකර්ෂණීයම සංචාරක ගමනාන්තය බවට පත්වනු ඇත. සුවිශේෂී උත්සව අවස්ථා සඳහා සුඛෝපභෝගී පහසුකම්වලින් සපිරි City of Dreams, ඉහළ ආදායම් ලබන සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගනිමින් දේශීය ව්‍යාපාර දියුණුව වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට සූදානමින් සිටියි.
දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන මේ තුළින් සියලු සේවාවන් එකම වහලක් යටදී සිදු කර ගැනීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇත්තේ ඔවුන් වෙත ඉමහත් පහසුවක් අත්කර දෙමිනි.
කාමර 687කින් සමන්විත Cinnamon Life සහ අති සුඛෝපභෝගී කාමර 113කින් සමන්විත NUWA හෝටල් සමඟින් ජාත්‍යන්තර තත්ත්ව හා පාලන ක්‍රමවේදයන්ට අනුකූලව මෙල්කෝ විසින් මෙහෙයවනු ලබන අති නවීන කැසිනෝ හා විනෝදාස්වාද කලාපයක් තුළින් දෙස් විදෙස් සංචාරකයින් වෙත අසමසම සේවාවක් ලබා දීමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත.
සුප්‍රසිද්ධ සූපවේදීන්ගේ දායකත්වයෙන් සකසනු ලබන ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර උරුමයන් සමඟින් පාරිභෝගිකයින් වෙත නවතම ප්‍රණීත ආහාර හා පාන වර්ග රැසක් හඳුන්වා දීමට City of Dreams කටයුතු කර ඇත්තේ සුවිශේෂී අවන්හල් හා බාර් 17ක් සමඟිනි.
එමෙන්ම පිළිගත් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ නාම සහිත සාප්පු සංකීර්ණයක් තුළින් තමන්ට අවශ්‍ය හොඳම නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාවද මෙහි පැමිණෙන අමුත්තන් වෙත උදා කර දෙන City of Dreams, විශේෂ උත්සව, රැස්වීම්, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශනයන් පැවැත්වීම සඳහා වන සියලු පහසුකම්වලින්ද සමන්විත වේ. එසේම City of Dreams හි නිවාස හා කාර්යාල සංකීර්ණය තුළින් පරිපූර්ණ නිවසක් හෝ කාර්යාලයක් වෙන් කර ගැනීමට දෙස්, විදෙස් පාරිභෝගිකයින්ට අවස්ථාව උදා කර දී තිබීම විශේෂත්වයකි.
පාරිසරික බලපෑම් සහ තිරසාරභාවය
City of Dreams Sri Lanka වැනි විශාල පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති ශ්‍රී ලංකාව වැනි රටක පරිසරයට විවිධාකාරයෙන් බලපෑම් ඇති කළ හැක.
- ජල කළමනාකරණය: මෙවැනි විශාල හෝටල් සංකීර්ණ සඳහා සැලකිය යුතු ජල ප්‍රමාණයක් අවශ්‍ය වේ. පානීය ජලය, සනීපාරක්ෂක කටයුතු, උද්‍යාන නඩත්තුව සහ පිහිනුම් තටාක සඳහා ජලය විශාල ප්‍රමාණයක් වැය වීම දේශීය ජල සම්පත් මත පීඩනයක් ඇති කළ හැක. එබැවින්, ව්‍යාපෘතිය තුළ ඵලදායී ජල ප්‍රතිචක්‍රීකරණ පද්ධති සහ ජලය කාර්යක්ෂමව භාවිතා කිරීමේ ක්‍රමවේද අත්‍යවශ්‍ය වේ.
- අපද්‍රව්‍ය කළමනාකරණය: විශාල හෝටල් සංකීර්ණයකින් දිනපතා සැලකිය යුතු ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයක් ජනනය වේ. මෙම අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය නොකළහොත් අවට පරිසරයට සහ නාගරික අපද්‍රව්‍ය පද්ධතිවලට අහිතකර බලපෑම් ඇති විය හැක. අපද්‍රව්‍ය අඩු කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ නිසි ලෙස බැහැර කිරීම සඳහා වන නවීන තාක්ෂණයන් මෙහිදී ක්‍රියාත්මක කිරීම වැදගත් වේ.
- බලශක්ති පරිභෝජනය: හෝටල් සංකීර්ණයේ වායු සමීකරණය, විදුලි ආලෝකකරණය, විදුලි උපකරණ සහ අනෙකුත් මෙහෙයුම් සඳහා විශාල බලශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වේ. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් (සූර්ය බලය වැනි) උපරිමයෙන් භාවිතා කිරීම, බලශක්ති කාර්යක්ෂම උපකරණ සවි කිරීම සහ බලශක්ති පරිභෝජනය අවම කිරීමේ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමෙන් පරිසරයට වන බලපෑම අවම කර ගත හැක.
- ජෛව විවිධත්වයට බලපෑම: ඉදිකිරීම් කටයුතු සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක් භාවිත කිරීම සහ නාගරීකරණය වීම නිසා අවට පරිසරයේ ජෛව විවිධත්වයට බලපෑම් ඇති විය හැක. විශේෂයෙන්ම කොළඹ වැනි නාගරික ප්‍රදේශවල, වගුරු බිම් හෝ හරිත කලාප තිබේ නම්, ඒවා සංරක්ෂණය කිරීම හෝ අවම හානියක් වන පරිදි කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.
- ශබ්ද සහ වායු දූෂණය: ඉදිකිරීම් අවධියේදී මෙන්ම ක්‍රියාත්මක වන විටද (වාහන තදබදය, කැසිනෝ ක්‍රියාකාරකම් ආදිය හේතුවෙන්) ශබ්ද සහ වායු දූෂණය ඇති විය හැක. මේවා පාලනය කිරීම සඳහා ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම වැදගත්ය.
කෙසේ වෙතත්, නවීන සංවර්ධන ව්‍යාපෘති, විශේෂයෙන් Melco වැනි ගෝලීය සමාගම් සමඟ එක්ව සිදු කරන විට, තිරසාර සංවර්ධන පිළිවෙත් සහ පාරිසරික බලපෑම් අවම කිරීමේ ක්‍රමවේදයන් යොදා ගනී. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකිරීම් සහ මෙහෙයුම් සිදු කිරීමෙන් මෙම පාරිසරික අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැක. City of Dreams Sri Lanka ව්‍යාපෘතිය ද පාරිසරික තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
JKH පිළිබඳව
කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබයි. වසර 150ක ඉතිහාසයකට හිමිකම් කියන JKH ආයතනය සේවක සේවිකාවන් 16,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් සිදු කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ (UN Global Compact) සාමාජිකයෙකු වන ජෝන් කීල්ස් සමාගම, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවනු ලබයි.
Melco Resorts & Entertainment Limited පිළිබඳව
Nasdaq Global Select Market (Nasdaq: MLCO) හි ලැයිස්තුගත ඇමරිකානු තැන්පතු සහිත සමාගමක් වන Melco Resorts & Entertainment Limited, ආසියාවේ හා යුරෝපයේ ඒකාබද්ධ සංචාරක නවාතැන් සංවර්ධකයකු, හිමිකරුවකු සහ ක්‍රියාකාරිකයකු ලෙස හඳුන්වා දිය හැකිය. ඔවුන් විසින් අද වන විට Cotai, Taipa සහ Macau හි පිහිටුවා ඇති ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් වන City of Dreams (www.cityofdreamsmacau.com) සහ Altira Macau (www.altiramacau.com) පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම එහි ව්‍යාපාර අතරට Taipa, Macau සහ Mocha Clubs හි පිහිටා ඇති කැසිනෝ ව්‍යාපාරයක් වන Grand Dragon Casino අයත් වේ. එසේම Macau හි ඉලෙක්ට්‍රොනික් gaming යන්ත්‍ර පදනම් කරගත් විශාලතම කැසිනෝ නොවන ව්‍යාපාරයද ඔවුන් සතු වේ. ඊට අමතරව Macau හි Cotai කේන්ද්‍ර කරගනිමින් සිනමාත්මක තේමාවන් රැගත් ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් වන Studio City (www.studiocity-macau.com) ක්‍රියාත්මක කිරීමටද සමාගම කටයුතු කරයි. තවද පිලිපීනයේ මැනිලා නුවර Entertainment City complex හි පිහිටා ඇති හෝටල් සංකීර්ණයක් වන City of Dreams Manila (www.cityofdreamsmanila.com) ව්‍යාපාරය මෙහෙයවීම හා කළමනාකරණය කිරීමද Melco Resorts & Entertainment Limited මඟින් සිදු වේ. යුරෝපය තුළදී සයිප්‍රස් ජනරජයේ ලිමසෝල්හි පිහිටි හෝටල් සංකීර්ණයක් වන City of Dreams Mediterranean මෙහෙයවන අතර අනෙකුත් නගරවල බලපත්‍රලාභී සැටලයිට් කැසිනෝ (“Cyprus Casinos”) ක්‍රියාත්මක කරයි. සමාගම පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා www.melco-resorts.com වෙත පිවිසෙන්න.
හොංකොං ලිමිටඩ් කොටස් හුවමාරුවේ ප්‍රධාන දර්ශකයේ ලැයිස්තුගත කර ඇති සමාගමක් වන Melco International Development Limited සතු වන Melco Resorts & Entertainment Limited එහි වැඩි කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන Lawrence Ho එහි සභාපති, විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරයි.